×

බ්‍රසීලයේ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්‘ ජනාධිපතිවරණයෙන් ජයගනියි!

‘බ්‍රසීලයේ ඩොනල්ඩ් ට්‍රම්ප්‘ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජනපති අපේක්ෂක ජයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) 56%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය වාර්තා කර තිබේ.


මෙම ප්‍රතිශතය වාර්තා වන්නේ 94%ක් ඡන්ද ගණන් කිරීමෙන් පසුව ය. Jair Bolsonaro

බොල්සොනාරෝ අන්ත දක්ශිණාංශිකයෙක් ලෙස සැලකේ.

එසේම ඔහු හිටපු යුධ හමුදා කපිතාන්වරයෙකි.

ඔහුට ‘බ්‍රසීලයේ ඩොනල්ඩ් ට්‍රම්ප්‘ යන නාමය යෙදෙන්නේ අන්ත දක්ෂිණාංශිකයෙකු නිසා පමණක් නොව, ට්‍රම්ප් මෙන්ම ගිනි අවි සඳහා ලිහිල් නීති අනුගමනය කළ යුතු බව යනාදී සමානකම් රැසක් ප්‍රකට කරන නිසාවෙනි.

ට්‍රම්ප් ‘ඇමරිකාව වෙනස් කරමු‘ යන තේමාව යටතේ කටයුතු කරන විට බොල්සොනාරෝගේ මැතිවරණ තේමාව බවට පත්ව තිබුණේ ‘බ්‍රසීලයේ දෛවය එකතු වී වෙනස් කරමු‘‘ (“change Brazil’s destiny together”) යන්නයි. ‘බයිබලය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරමු‘‘ යන්න ඔහුගේ තවත් ප්‍රතිඥාවකි.

ජනාධිපතිවරණයෙන් ඔහුට මෙතරම් කැපී පෙනෙන ජයග්‍රහණයක් ලැබීමට හේතුව වූයේ සැප්තැම්බර් මාසයේ ඔහු පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්වීමෙන් පසු ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නව ජවයකින් ඉදිරියට යාම බව විචාරකයන්ගේ මතයයි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් අතරතුරදී ඔහුගේ උදරයට පිහියෙන් අනිනු ලැබීම නිසා, ඔහුගේ ඡන්ද සංඛ්‍යාව සහ ඔහුගේ ජනප්‍රියත්වය පිමි ගණනකින් ඉදිරියට පැන්න බව විදෙස් වාර්තා සඳහන් කරයි. අපරාධ මැඬලීම සඳහා තමන් කැප වී ක්‍රියාකරන බව දැඩි සේ කියා සිටීමට ඔහු මෙම අත්දැකීම ද භාවිතයට ගත්තේය.

බොල්සොනාරෝ මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී තමන්ව මූර්තිමත් කර ගත්තේ ‘දේශපාලන පිටස්තරයෙක්‘ ලෙස ය. ඔහු තමන්ව හඳුන්වා දුන්නේ ද ඒ අයුරිනි. ආවේගශීලී කතාවලින් ඔහුගේ මැතිවරණ වේදිකා දෙදරුම් කෑවේය. ඔහු 1964-1985 කාලයේ බ්‍රසීලයේ පැවති හමුදා ආඥාදායකත්වය වර්ණනා කළේය. වධහිංසාව හෙළා දැකීම වෙනුවට එය හොඳ දෙයක් සේ සලකන ඔහු, වර්ගවාදයට උල්පන්දම් දෙන්නෙක් ලෙස ද ප්‍රකට ය. LGBT අයිතිවාසිකම් වලට එරෙහිව බොල්සොනාරෝ දැඩි හඬක් නගයි. එනිසා ඔහු හෝමෝෆෝබියාවෙන් පෙළෙන්නෙක් ලෙස ද ප්‍රකට ය. එපමණක් නොව මිසජෙනි (misogyny) හෙවත් කාන්තාවන් කෙරෙහි ද්වේශයෙන් යුතුව කටයුතු කරන ‘නාරි ද්වේශයෙන් පෙළෙන්නෙකු‘ ලෙස ද ඔහු අවිවාදයෙන් සැලකේ.

වරක් ඔහු පැවසුවේ තමන්ගේ පුතුන් ‘ගේ‘ හෙවත් සමරිසි වනවාට වඩා ඔවුන් මැරෙනවා නම් හොඳ බව ය. එසේම දේශපාලනයේ නිරත කාන්තාවක් සම්බන්ධයෙන් ඔහු වරක් කියා තිබුණේ ‘‘නුඹව දූෂණය කරන්න තරම්වත් වටින්නෙ නෑ‘ යනුවෙනි!

skynews-bolsonaro-brazil_4468666

skynews

රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කරන බව, විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණය කරන බව සහ ආදිවාසීන්ගේ ස්වදේශික භූමිවල සිදුකරන සංවර්ධන ක්‍රියාවන් සීමා කරන බව ඔහුගේ තවත් එක් පොරොන්දුවකි. රාජ්‍ය අමාත්‍යාංශ ගණන සීමා කරන බව ද ඔහු කියා තිබේ. පොලිසියට වැඩිමනත් බලය ලබාදෙන බව ඔහුගේ තවත් එක් මැතිවරණ පොරොන්දුවකි.

මෙයට වසර 2කට පෙර ඔහු හමුදා ආඥාදායකත්වය පිළිබඳ අදහස් දක්වා සිටියේ එම කාලය තුළදී වාමාංශික විසම්මුතිකයන් ට ‘වධහිංසා පැමිණවීම මිස මරා නොදැමීම‘ අත්වැරදීමක් බව කියමිනි. මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී විරුද්ධවාදීන්ව එක්කෝ පිටුවහලට යවන බව, එසේත් නැතිනම් සිරගෙට යවන බව‘‘ ට ප්‍රතිඥා දුන්නේය.

මේ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ ජයග්‍රහණයට දුරකථනයෙන් අමතා සුබ පතා ඇති බව ස්කයි නිව්ස් වාර්තා කරයි. එකතු වී වැඩ කරන බවට ද ට්‍රම්ප් එහිදී ඔහුට ප්‍රතිඥා දී තිබේ.

රටේ සිවිල් අයිතිවාසිකම්වලට සහ සිවිල් ජනතාවගේ නිදහසට ඔහුගේ තේරී පත්වීම මරුපහරක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි