×

බ්‍රසීල ජනාධිපති ලූලා, බොල්සනාරෝගේ පාක්ෂිකයන් හමුදාවෙන් එළවා දමයි

මෙලෙස හමුදාවට සම්බන්ධ බොල්සනාරෝගේ පාක්ෂිකයන් විශාල ප්‍රමානයක් සේවයෙන් ඉවත් කර ඇති බවද වාර්තා වේ.


බ්‍රසීලයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ජුලියෝ සීසාර් ද අරූඩා සේවයෙන් පහ කිරීමට ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා කටයුතු කර ඇති බව බ්‍රසීල සන්නද්ධ හමුදාවේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

මෙම පියවර ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ බොල්සොනාරෝගේ ආධාරකරුවන් ජනවාරි 8 වන දින බ්‍රසීලියාවේ ජාතික කොන්ග්‍රසයට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදීමෙන් සිදු කරන ලද ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට අපොහොසත් වීමයි.

හමුදා ප්‍රධානියා ඉවත් කිරීමෙන් අනතුරුව හිස් වූ තනතුරු පුරප්පාඩුව වෙනුවෙන් අග්නිදිග හමුදා විධානයේ ප්‍රධානියා වූ ජෙනරාල් ටොමස් මිගෙල් රිබෙයිරෝ පයිවා පත් කර තිබේ. කැරලිවලට සම්බන්ධ පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර නොසන්සුන්තාව ඇතිකිරීම සම්බන්ධයෙන් බොල්සනාරෝ චෝදනා ලබා තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ බොල්සොනාරෝ, ඔහුගේ ජනාධිපති ධුර කාලය පුරාවටම සන්නද්ධ හමුදාවන්ට සමීප සබඳතා පැවැත්වීය. ඒ අනුව හිටපු හමුදාපතිවරයා බොල්සනාරෝගේ පාක්ෂිකයෙකු ලෙස සැලකේ. මෙලෙස හමුදාවට සම්බන්ධ බොල්සනාරෝගේ පාක්ෂිකයන් විශාල ප්‍රමානයක් සේවයෙන් ඉවත් කර ඇති බවද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි