×

ජෝර්ජ් ෆ්ලොයිඩ් දෙවන ජවනිකාව – මිනසෝටා හිදී පොලීසිය කළු ජාතික ඩොන්ටේ රයිට් වෙඩි තබා ඝාතනය කරයි!

ටේසරය කෙසේවෙතත් ක්ෂණිකව තම ගිනිඅවිය අතට ගත් කිම් පොටර් නම් පොලිස් නිලධාරිනිය ඩොන්ටේ හට වෙඩි තබා ඇති අතර, ඒ සමඟින්ම හෝලි ෂිට්, අයි ජස්ට් ෂොට් හිම් යනුවෙන් කෑ මොර දෙන අයුරු නිකුත් කළ වීඩියෝ පටයේ දැක්වේ.


ඉකුත් ඉරු (11) දින එක්සත් ජනපදයේ මිනසෝටා හිදී විසි හැවිරිදි ඩොන්ටේ රයිට් නම් කළු ජාතික තරුණයා මාර්ග බාධකයක් අසලදී අත්අඩංගුවට ගැනීමට කළ තැත්කිරීමකදී පොලිස් වෙඩි තැබීමෙන් මරණයට පත් වී ඇත.

මෙසේ ඩොන්ටේ හට වෙඩි තබා ඇත්තේ කිම් පොටර් නැමති පොලිස් නිලධාරිනියක විසින් බවයි මිනසෝටා බියුරෝ ඔෆ් ක්‍රිමිනල් ඇප්‍රිෙහන්ෂන් (BCA) හෙවත් මිනසෝටා හි අපරාධ මත අත්අඩංගුවට ගැනීමේ කාර්යාංශය පවසන්නේ.

අදාළ පොලිස් නිලධාරිනිය බෘක්ලින් සෙන්ටර් පොලිස් ස්ථානයේ වසර 26 ක් පුරා සේවයේ යෙදී සිට ඇත.

මෙම වෙඩි තැබීමට අදාළව වීඩියෝ පටයක් මුදා හැර ඇති අතර, මෙම වීඩියෝ පටයට අනුව මෙම වෙඩිතැබීම හදිසි අනතුරක් බවට උපකල්පනය කළ හැකි බවයි පොලීසිය පවසන්නේ.

එම වීඩියෝ පටය තුළ අදාළ නිලධාරිනිය විදුලි සැර වද්දන ටේසර් උපකරණය භාවිත කිරීමට සූදානම් බවක් පෙන්නන මුත් ඒ වෙනුවට ක්ෂණිකව තම ගිනි අවිය ගෙන ඩොන්ටේ තරුණයාට වෙඩි තබන අයුරු දැක්වේ.

අදාළ නිලධාරිනිය මේ වන විට පරිපාලන නිවාඩු යවා ඇති බව පොලීසිය පවසයි.

ඩොන්ටේ ගේ පවුල වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥ බෙන් ක්‍රම්ප් පවසා සිටියේ මෙම වෙඩි තැබීම පැහැදිලිවම සිදුනොකර සිටීමේ හැකියාව එම මොහොතේ තිබූ බවත්, ඉතා අමානුෂික අන්දමින් සිදුකරන ලද ක්‍රියාවක් බවත් ය.

Protesters clash with police after a man was shot and killed by local law enforcement on Sunday April 11, 2021, in Brooklyn Center, Minn. (AP Photo/Christian Monterrosa)

ඩොන්ටේ ට වෙඩි තැබුවේ ඇයි?

ඉකුත් ඉරු දින දහවල් ඩොන්ටේ සිය පෙම්වතිය සමඟ ඔහුගේ වැඩිමහල් සොයුරා ගේ නිවසට පැමිණෙමින් තිබිණි. මිනියාපොලිස් නගරාසන්නයේ දී කල් ඉකුත් වූ ටැගයක් සඳහා පොලිසිය ඩොන්ටේ ගේ වාහනය නතර කරවා තිබෙන බවයි පොලිස් වාර්තාවේ සඳහන් වන්නේ.  ඔහු සතුව වරෙන්තුවක් ඇති බව දැනගත් නිලධාරීන් ඩොන්ටේ ගේ මෝටර් රථයෙන් පිටතට බසින ලෙස පවසා මාංචු දැමීමට උත්සාහ කර තිබේ.

මරණයට පත් ඩොන්ටේ ගේ පවුලේ සාමාජිකයින් සීඑන්එන් පුවත් සේවය වෙත පවසා තිබුණේ, එම මොහොතේදී ඔහුගේ රක්ෂණ සහතික පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවත්, අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්ද යැයි පොලීසිය පැහැදිලිව සඳහන් නොකළ බවත් ය.

මෙහිදී ඩොන්ටේ සිය පවුලේ සාමාජිකයන් හට දුරකතනයෙන් කතා කිරීමට උත්සාහ දරා ඇති අතර, පොලීසිය එය වළක්වමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කළ තැත් කිරීමක්දී ඩොන්ටේ යළි වාහනය වෙත ඇතුල් වීමට උත්සාහ දරා තිබේ.

අත්වැරදීමෙන් මිනී මැරීම – හෝලි ෂිට්! අයි ජස්ට් ෂොට් හිම්!

මෙම අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරිනිය තම ටේසර් උපකරණය භාවිතා කරන බවට ඩොන්ටේ ට අනතුරු අඟවා ඇති අතර, ටේසර් ටේසර් ටේසර් යනුවෙන් තෙවරක් අනෙක් පොලිස් නිලධාරීන්ට ද ඇසෙන පරිදි හඬ නඟා තිබේ. (මෙය ටේසරය භාවිතා කරන විටදී සිදුකරන ක්‍රියාවක් බව පොලීසිය පවසයි).

ටේසරය කෙසේවෙතත් ක්ෂණිකව තම ගිනිඅවිය අතට ගත් කිම් පොටර් නම් පොලිස් නිලධාරිනිය ඩොන්ටේ හට වෙඩි තබා ඇති අතර, ඒ සමඟින්ම හෝලි ෂිට්, අයි ජස්ට් ෂොට් හිම් යනුවෙන් කෑ මොර දෙන අයුරු නිකුත් කළ වීඩියෝ පටයේ දැක්වේ.

මෙම පදනම මත ඩොන්ටේ ගේ මරණය අත්වැරදීමකින් සිදුවූ බවට පොලීසිය තම නිවේදනයේ සාධාරිනීකරණයක් ඉදිරිපත් කරන්නට ඇත.

ජෝර්ජ් ෆ්ලොයිඩ් දෙවන ජවනිකාව – මිනසෝටාව කැළඹෙයි!

මෙම මරණය පැහැදිලි මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණයට පත්වූයේ කළු ජාතික තරුණයකු වීම මතත්, මිනසෝටා හි ජනතාව කැළඹීමට හා උරණ වීමට පටන් ගෙන තිබිණි. ඒ අනුව සියස් සංඛ්‍යාත ජනයා මෙම සිදුවීමට විරෝධය පෑමට වීදි බැස තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ ඉකුත් වසරේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් තරුණයකු ගෙල සිර කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු මිනියාපොලිස් පොලිස් නිලධාරියකු ගේ නඩුකරය පැවැත්වෙන ස්ථානයට සැතපුම් 10ක් පමණ දුරින් වීමද විශේෂත්වයක්.

කළු ජාතික ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙසේ වෙනස්කොට සැලකීම් සිදුකිරීම පිළිබඳ එක්සත් ජනපදයේ බරපතල කතිකාවක් නිර්මාණය වී තිබෙන අතර, මීට පැවති දේශපාලන ධාරාවේ යම් බලපෑමක් ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉකුත් සඳු (12) දින මෙම විරෝධතා තවදුරටත් උත්සන්න වී ඇත. විරෝධතාකරුවන් බෝතල්, ගිනිකෙළි, ගඩොල් කැට ආදී ද්‍රව්‍ය විසිකරමින් තම විරෝධය පා ඇති අතර, විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම මත පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ එල්ල කිරීම ආරම්භ කර තිබේ.

අදාළ කලාපය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සහ ඇඳිරි නීතිය පැනවීමට මිනියාපොලිස් සහ සෙන්ට් පෝල් බලධාරීන් කටයුතු කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි