×

යුරෝපයේ පළමු චීන විශ්ව විද්‍යාලය හංගේරියාවේ ඉදි වෙද්දී දහස් ගණන් වැසියන් මහ පාරට

හංගේරියාවේ බුඩාපේස්‌ට් අගනුවර යුරෝපයේ පළමු චීන විශ්ව විද්‍යාලය වසර 2024 දී  විවෘත කිරීමට සැලසුම් කරමින් තිබේ.


මෙයට විරෝධය පාමින් සිය ගණන් හංගේරියානු වැසියන් බුඩාපේස්ට් අගනුවර උද්ඝෝෂණයක යෙදී සිටින ආකාරය පසුගියදා දැකගත හැකි විය.

සිය රටේ අධ්‍යාපනය ඇතුළු විවිධ අංශවලට චීනයේ අතපෙවීම සහ බලපෑම කෙමෙන් වැඩි වෙමින් තිබෙන බවට හංගේරියානුවෝ චෝදනා කරති.

හංගේරියාවේ අගමැති ධුරය දරන වික්තර් ඔර්බාන්, චීනයේ කොමියුනිස්ට් බලධාරීන් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යන බව ප්‍රකට කාරණයකි. චීනයේ හොඳ හිත පවත්වාගත යුතු නිසා හංගේරියාව, ජූනි මස මුලදී යුරෝපා සංගමය විසින් චීනය විසින් හොංකොං රාජ්‍යය වෙත කරන බලපෑම් හෙළා දකිමින් නිකුත් කළ ප්‍රකාශයක් ද රට තුළ සංසරණය වීම අවහිර කර දැමුවේය.

හංගේරියානු අගමැති ඔර්බාන් ගේ පාලක දක්ෂිණාංශික පක්ෂය, ෆිඩෙස් යනුවෙන් හැඳින්වේ. ෆිඩෙස් පක්ෂය රට තුළ තමන්ව නිතරම හඳුන්වා ගන්නේ කොමියුනිස්ට් විරෝධීන් වශයෙනි. නමුත් ඔවුන් සැබෑ වශයෙන්ම කොමියුනිස්ට් හිතකාමීන් බව බහුතරයේ අදහසයි.

චීනයේ තිබෙන ‘ෆුඩාන් යුනිවසිටි කැම්පස්’ නමැති උසස් අධ්‍යාපන ආයතනයේ හංගේරියානු ශාඛාවක් විවෘත කිරීමට සැලසුම් කිරීම මේ වන විට හංගේරියානු ශිෂ්‍ය සංගම් අතර ද දැඩි විරෝධයක් සහ කෝපයක් ඇති කිරීමට සමත් වී තිබේ. මෙය යුරෝපයේ පළමු චීන විශ්ව විද්‍යාලයයි.

යූරෝ බිලියන 1.5 ක් යොදවා බුඩාපේස්ට් නුවර ඉදිකෙරුණු චීන ෆුඩාන් සරසවිය

ෆුඩාන් සරසවිය චීනයේ වඩාත්ම කීර්තිමත් විශ්ව විද්‍යාලය ලෙස සලකයි. එහි බුඩාපේස්ට් පීඨය ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ වසර 2024 දී ය. එය යුරෝපයේ ඉදිවන පළමු චීන විශ්ව විද්‍යාලය බවට පත් වනු ඇති.

යූරෝ බිලියන 1.5 ක් මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීම වෙනුවෙන් චීනය ආයෝජනය කර තිබේ.

ෆ්‍රී හොං‌කොං මාවත සහ දලයි ලාමා වීදිය

කෙසේ නමුත් මෙම විරෝධතාවයට ශිෂ්‍ය සංගම් සහ සරසවි ප්‍රජාවට අමතරව පුරවැසියන් ද දහස් ගණනක් ඒක්ව සිටියහ. බුඩාපේස්ට් විරෝධතාවය අවසන් වූයේ හංගේරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ දැවැන්ත ජන හමුවකිනි. ඒම ජන හමුවේ එක් කථිකයෙකු වූයේ බුඩාපේස්ට් නගරාධිපති ජර්ජ්ලි කරක්සොනි ය. පසුගිය සතියේ ඔහු ප්‍රකාශ කළේ බුඩාපේස්ට් හි වීදි කිහිපයක් චීන‌යේ මානව හිමිකම් උල්ලංඝනයන්ගේ වින්දිතයන් බවට පත් වූ අය වෙනුවෙන් නම් කිරීමට තමන් සූදානම් බවයි.

Activists hold a Tibetan flag next to a sign in a street renamed ‘Dalai Lama’, near the planned site of Chinese Fudan University campus, in Budapest, Hungary, June 2, 2021. REUTERS/Bernadett Szabo

ඒ අනුව ෆ්‍රී හොංකොං මාවත, දලයි ලාමා වීදිය සහ උයිගුර් රණවිරු මාවත යනුවෙන් බුඩාපේස්ට් හි චීන විරෝධී මාවත් සහ වීදි කිහිපයක් මේ වන විට දැකගත හැක. ඒවා පිහිටා තිබෙන්නේ ද සරසවිය අවට ම ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි