×

ආලයේ ගාථා

ශීතල මද සුළඟ විසින් අපේ ජනේලය ඉදිරිපිට නොසන්සුන් හිම පියළි චකිතයෙන් විසුරුවා හරින විට අප දෙදෙනො දිළිසෙන ගිනි මැළයක් ඉදිරියේ ඇපල් සිඩාර් රස බලමින්, එකිනෙකා වෙත නැඹුරුව ප්‍රේමයේ ගැඹුර ගැන ආදර කූජන තෙපලූ බව මට කිව හැක.


මට එසේ කිව හැක. නමුත් එය සත්‍යය නොවේ.

නොවැම්බරය මුල භාගය වන විට හිම කුණාටු වියැකී ගියේය. අළු පැහැ ගසින් සැදුණු තෙරක් නොපෙනෙන භූමි දර්ශනයක් සහ ගොහොරුමය පොළොවක් ශේෂ විය. එය අපේ මනෝභාවය සමග හොඳින් ගැළපුණේය.

මගේ සැමියා සහ මා සිටියේ අපේ විවාහ ජීවිතයේ අත්‍යන්ත සන්තුෂ්ටිය අතර දෙපැත්තකට දෝලනය වෙමිනි. අප දෙදෙනා අතර අපේ දෙමස් වියැති බිළිඳා විය. නින්ද අඩුකම නිසා හටගත් අධික වෙහෙස සහ එකිනෙකා වෙනුවෙන් කැපකිරීමට කාලය මදිවීම විසින් අපට දැනුණේ අප අපේම නිවස තුළ ආගන්තුකයන් වී සිටිනා බවයි. අපේ සංවාදය, විශේෂයෙන්ම ගතවූ සති දෙක තුළ අපේ සංවාදය හා සහසම්බන්ධතාවය අතිශයින්ම පිරිහී ගොස් තිබුණේය. එය ආදර කුරුල්ලන්ගේ කූජනයක්ට වඩා සමාන වූයේ පිට් බුල් වර්ගයේ නුරුස්නා බලු පැටවුන් දෙදෙනෙකුගේ කෑ කොස්සන් දී ගැනීම් වලට ය.

සති හයක නිවාඩුවකින් සහ කාර්යාලයේ ගොඩගැසුණු වැඩ කන්දක් සහිතව මා නැවතත් රැකියාවට යාමට සූදානම් වූවා පමණි. මා තරබාරු වී තිබිණ. පෙර සිටි කාර්යක්ෂම තරුණිය මා කෙරෙන් පළාගොස් ඇත්තා සේ ය. මගේ සැමියාගේ මුහුණේ වරදකාරී සහ පිටස්තර බැල්මක් විය. සෑම උදෑසනකම වදන් කිහිපයක් හුවමාරු කර ගැනීම, යන්තම් වැළඳගැනීම සහ සන්ධ්‍යාවේ කරන සිපගැනීම් පමණක් අප තවමත් ආදරයෙන් සිටින බවට හඟවන ලකුණු විය.

එක දෙයක් එක හෙළා කිව හැක. එය නම්, එම වෙහෙසකර සාමාන්‍ය දිනය මගේ දිවියට අති විශේෂ දිනයක් වන බව මා කල්තබා දැන නොසිටි බවයි.

මම අපේ මහනර්ඝ කිරිකැටියා සයනයේ තබාගෙන ඔහුගේ කම්මුල් සහ ගෙළෙහි සේදමය ස්පර්ශය හඟිමින් සිටින අතර, ඔව්… එය කුමන වේලාවක සිදුවීදැයි මම නොදනිමි… මම ගැඹුරු නින්දකට වැටුණේය. අධිකතර වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙසින් සිහින රහිත ගැඹුරුතම නින්දකට ස්වයංක්‍රීය ව එළඹුණෙමි. මගේ සැමියා, අප මීට දෙදිනකට පෙර ආරම්භ කළ සංවාදය අවසන් කිරීම සඳහා අපේ කාමරයේ දොරකඩ වෙත පැමිණෙන ආකාරය ද මට යන්තමින් දැනුණා මතක ය. එහෙත් ඒ වන විටත් මා ගැඹුරුතම නින්දේ නිමග්නව සිටින්නට ඇත. ඒ නිසා මට ඔහු මා අසලට පැමිණෙනු දැනුණේ හැබැහින්ද නැතිනම් සිහිනයෙන්දැයි මම අදටත් නොදන්නෙමි.

පැය කිහිපයකට පසු මා අවදි වූයේ අපේ පුතු හඬනා හඬට ය. පැය දෙකෙන් දෙකට කුසගිනිවන මේ පුංචි ප්‍රාණියා මගේ අනපේක්ෂිත නින්ද නිසා මහත් අපහසුතාවට පත්වූ කලෙක මෙන් හඬමින් සිටියේය. නැගිට බලන විට මට අත පොවන දුරින් මගේ සැමියා ද සෝපානය මත තද නින්දකට වැටී සිටියේය. කුස පුරවාගත් පුතු ප්‍රමෝදයෙන් යුතුව නැවත නිදාගන්නා විට මම ජලය වීදුරුවක් පානය කිරීම ට සිතීමි. ඒ සඳ හා ශීතකරණය අසල විදුලි බල්බය දල්වන විට මට ඔහුගේ පළමු සටහන ඇස ගැටිණි. එය අපේ පවුලේ ඡායාරූප තබා තිබූ කුඩා කනප්පුව මත විය. “මම ඔබට හරිම ආදරෙයි. හේතුව, ඔබ නිසා මට දැන් පවුලක්ම ඉන්නවා” යැයි එහි ලියැවී තිබිණි.

මගේ හුස්ම මොහොතකට සිර වූවා සේ විය. මම වතුර වීදුරුව ද අමතක කර අපේ කුඩා සාලය වෙත නිතැතින් මෙන් ඇදී ගියෙමි. ඉන්පසු… සාලයේ ද එබඳුම තවත් සටහනක් විය. “මම ඔබට හරිම ආදරෙයි. හේතුව, ඔබ හරිම කරුණාවන්තයි..” යැයි එහි සටහන් විය.

ඊළඟ පැය භාගයක කාලය තුළ මම අපේ නිවස පුරා සැරිසැරුවේ මගේ සැමියා විසින් මට ඉතිරි කළ ප්‍රේමයේ දයාබර සටහන් එකතු කරමිනි. නාන කාමරයේ කැඩපත මත පවා එවැනි සටහනක් විය. එහි සටහන් ව තිබුණේ, “මම ඔබට හරිම ආදරෙයි. මොකද ඔබ හරිම ලස්සනයි” යනුවෙනි. මා මුලින් නුදුටුවද ශීතකරණය මත ද තවත් සටහනක් විය. රූපවාහිනිය මත ද විය. පොත් රාක්කය මත, අල්මාරිය මත..

එපමණ් නොව අපේ ඉදිරිපස දොර මත ද අවසාන වශයෙන් අපේ නිදන කාමරය මත ද එවැනි සටහනක් බැගින්, සෙලෝටේප් පටිවලින් රඳවා තබා තිබුණේය. “මම ඔබට හරිම ආදරෙයි. හේතුව, ඔබ හරිම මිහිරියි” යනුවෙන් එහි සටහන් ව තිබිණ.

මා නින්දට වැටී සිටින අතර අවදියෙන් සිටි මගේ සැමියා කොපමණ වේලා මේ සඳහා වැය කරන්නට ඇත්දැයි මම නොදනිමි. එහෙත් අවසානයේ, නිදි වර්ජිත රාත්‍රීන් ගණනාවකට පසු, මම හදවතින් නැළවෙමින් සිටියෙමි. අත්‍යන්ත වෙහෙසින් පසුවද හදවතින්ම සුවපත් වී සිටියෙමි. මා වෙහෙසට පත් කළ ජීවන දුහුවිල්ල කොහේ ගියාදැයි මම නොදනිමි. එයින් විනාඩි කිහිපකට පසුව මා සිටියේ මට සිදුවූ පරිණාමනය නොදැන සිත් සේ නිදන මගේ දයාබර සැමියාගේ තුරුල සොයමිනි.

වේන් රොමිරෝ ගේ අත්දැකීමකි.
චිකන් සුප් ඇසුරෙන්.

Cover Photo: Wallpaper Safari



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි