BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ජීවිතය ගලා යයි

මගේ හොඳ ම මිතුරා ජේම්ස් ඔයායෝ ප්‍රාන්තයේ අපේ කුඩා නගරයට එපිටින් වූ ගොවිපොළක ජීවත් විය. ඔහුගේ පියා පැළකරන ඕනෑම දෙයක් වැවීමට සමත් ගොවියෙකි.

මගේ පියා ගවයන් හා අශ්වයන් කිහිපදෙනෙක් ඇති කළේය. අප වගා කළ එකම දෙය අපේ සතුන් ට අවශ්‍ය තණකොළ පිදුරු පමණි. ඒ නිසා ජිම් ට පියාගේ ගොවිපොළේ වෙහෙස වී වැඩකිරීම ට සිදුව තිබෙන අතර මට පැය දෙකක් ඇතුළත මගේ වැඩකොටස නිම කිරීම ට පුළුවන්කම තිබුණේය.

පාසල ඇරුණු පසු සැතපුම් දෙකකට අධික දුර ප්‍රමාණයක් ගෙවා අපි නිතරම ඔහුගේ නිවස වෙත පාගමනින් යන්නෙමු. එම ගම්බද මාවතේ දොළොස්වැනි සැතපුම පුළුල් කළ පාලමක් විය. මාවත පිහිටියේ ජල මට්ටමට අඩි පහළොවක් පමණ ඉහළිනි. වසන්තයේදී ජලය ඇති පදම් ගැඹුරු වූ විට ගෙදර යන ගමන් වරක් හෝ දෙවරක් අපි ඇඳුම් උනා දමා පාලමෙන් ගඟට පනින්නෙමු.
එය තරමක් බිය ජනක සහ අප සිතූ ආකාරයට නිර්භීත දෙයක් ද විය. පාලම අසල කිමිදීම තහනම්බව දැක්වෙන පුවරුවක් ඒ අසල තිබුණද දියට පැනීම පිළිබඳ කිසිදු සඳහනක් එහි නොවූයෙන් නීතිය කඩනොවේ යැයි අපි උදක් ම විශ්වාස කළෙමු. එසේ නොකරන කොල්ලෝ ඕනෑ තරම් අපේ පාසලේ සිටිති. එනිසා අපට අප වීරයන් යැයි හැඟීමක් ඇති විය.

දියට පැනීමෙන් අනතුරු ව හිරුඑළියේ නැහැවෙමින් තෙත ඇඳුම් වියැළෙන තෙක් අපට ගලක් මත වාඩි වී සිටිය හැකි විය. අප දොඩමලු වූයේ ඒ වේලාවන් හිදී ය. පියා හා සීයා වැනි අති දක්ෂ ගොවියන් වීම ට කෙවින් ට අවැසි විය. ඔහු ඒ සඳහා ජන්ම හැකියාව ලද්දෙක් වූයෙන් අනිවාර්යයෙන්ම එය ඉටු කරගනු ඇත. මේ අතර මට අවශ්‍ය වූයේ උපන් ගමෙන් ඈතට යන්නට ය. ලොව පුරා මිනිසුන් කෙසේ ජීවත්වන්නේ ද යන්නත් ඔවුන් කරන දේ සහ ඔවුන් සිතන පතන ආකාරයත් දැන ගැනීමටත් මා හට අවශ්‍ය විය.

පවුල හා සබැඳි ජීවිත ඉලක්ක ඇති අය බොහෝවිට කරන ආකාරයට ජිම් සිය අනාගත අපේක්ෂාවන් පිළිබඳ කථා කළේ දුර්මුඛ ව නොවේ. සාමාන්‍යයෙන් දෙමාපියන් ට ගොවිපොළක් තිබේ නම් ඔවුන් සිතන්නේ පුත්‍රයා ද ගොවියෙකු විය යුතු බවයි. ඔවුන් ව්‍යාපාරිකයන් නම් පුතු ද හොඳ ව්‍යාපාරිකයෙකු වනු ඇතැයි හැඟීමක් තිබේ. නමුත් ජිම් මේ මැසිවිලි කිසිවක් නොකීවේය.
ජීවිතය අප දෙදෙනාම වෙන් කිරීම ට සැරසෙන බව ද අප දෙදෙනා දිනපතා එකිනෙකා ව නොදකින වැඩුණු මිනිසුන් බවට පත්වීම ට යන බව ද ජිම් සරල ලෙස පිළිගත්තේය. නමුත් මට නම් මගේ අනාගතය පිළිබඳ නොවිය යුතු දෙය වූයේ එයයි. නගරයෙන් නික්ම යාමට තීරණය කරගෙන සිටියද මිතුරා හැරනොයාමට මම තීරණය කරගෙන සිටින්නෙමි. එය අප නිතර දෙවේලේ කතා බහ කළ උනන්දුසහගත උභතෝකෝටිකයක් විය.

“හොඳයි කොල්ලෝ… ” ඔහු දිනක් කීය “මේක තමයි ජීවිතේ හැටි… දෙවිදිහකින්ම ඔබට යමක් ලබන්න බෑ.. ඒක තමයි හැටි.”

මා ඒ බව දන්නවා යැයි මම ඔහුට කීවෙමි. “ඒක ස්වභාවය වුණු පළියට මට ඒක ඕනෙ නැතිවෙන්නෙ නෑ නේද..?”

එවිට ඔහු කොක්සන් දෙමින් සිනාසුණේය. කුඩා කොල්ලෙකු වුවද ඔහුට තිබුණේ විසල් සිනහවකි. මා ඔහුට වඩා අඟල් හයක් උස වූ අතර ඔහු මට වඩා අඟල් හයක් බුහුටි විය. එසේ කියනවාට ඔහු ඉතා කැමැති ය.

“හොඳයි.. ගුඞ් ලක්…” ඔහු ඉන්පසු මෙසේ ද කියයි. “අපි තව එකසැරයක් පනිමු.. එක සැරයක්..”

ඉතින් අපි ගල මතින් නැගිට පාලම වෙත දිවගොස් පාලමේ ඇන්ද මත ට නැග මොහොතක් සිරුර සමතුලිත කර ගන්නෙමු. හිරු ඔහු මත වැදී ඔහු ව රත්පැහැ කරවයි. ඊළඟ නිමේෂයේ පනිනවා වෙනුවට ඔහු කිමිදෙයි.

පාලම් ඇන්දෙන් බිමට නැමී පිට කොන්ද දුන්නක් සේ වකුටු කර දෑත් විදහා මා දැක තිබෙන දර්ශනීය ම හංස කිමිදුමක ඔහු යෙදෙයි. හිස ජලය තුළ නිමග්න වන්නට පෙර ඔහු වාතලය තුළ කැරකැවෙන්නාක් මෙන් පෙනේ. ඉන්පසුව ශරීරය සෘජු කරගන්නා ඔහු ජලය කපාගෙන ඒ තුළ ට වදියි.

අප ඔහුගේ නිවස ට යන්නේ ඉන් පසුව ය. මට අනුව නම් මෙලොව සිටිනා දක්ෂතම ආහාරපිසින්නිය ඔහුගේ මවයි. ඈ දිනපතාම පාන් පිළිස්සූයේ මුළුතැන්ගෙය නිරන්තර ව මා ඉතා ආශා කළ යීස්ට් සුවඳකින් පුරවා දමමිනි. වසන්ත සෘතුවලදී ඈ නට් මෙග් කුකීස් තනයි. ලොකු රවුම් හා කිරි රසැති ඔබට සිතින් මවා ගන්නට හැකි රසවත් ම කුකීස් වලටත් වඩා ඒ කුකීස් රසවත් ය. එවැනි දිනවල අප රසබැලුවේ ඒවා ය. ඈ මුළුතැන්ගෙයි වැඩ කරන අතර අපි ඇය සමග කතා කරමින් කුකීස් රස බැලුවෙමු. මට ඈ පෙනුණේ සියලු දෙය ම – පැරගුවේ හි අගනුවර ගැන පවා සියල්ල දත් තැනැත්තියක ලෙසිනි. ජිම් ඇයට මේ සා ආදරය කිරීම පුදුමයක් නොවේ.

ඊළඟ දිනයේ ජිම් පාසලට නොආ විට මා සිතුවේ වසන්ත සෘතුව ගොවිපොළ පවුලකට අතිශය කාර්යබහුල හෙයින් ජිම් ගේ පියා ඔහුව ගෙදර නවතා ගන්නට ඇතැයි කියාය. නමුත් ඊළඟ දිනයේද ඔහු නොආ විට මම සිත් කරදරයට පත්වීමි. මගේ පියා නිවසේ සිට මා අමතා පාසලින් මා වේලාසන රැගෙන යාමට එන බව කියන විට මා සිටියේ ඔහුට ඇමතුමක් දිය යුතු යැයි සිතමිනි. බියපත් බවක් මසිතට දැනුණි.

ඉඳහිට මා පාසල ඇරී ඔහු සමග ගියද මෙවර මගේ සිතට අමුත්තක් දැනිණි.

නිවස ට මද දුරක් තිබියදී ඔහු මට කීවේ ජිම් අසනීප වී සිටින බවයි. ජිම් ට වෛරස් නිව්මෝනියාව වැළඳී තිබූ අතර බලාහිඳීමත් යාඥා කිරීමත් හැර වෙනත් කළ හැකි දෙයක් නොවීය.
අප ගොවිපොළ නිවස ට ගියෙමු. ජිම්ගේ පියා පැමිණ දොර විවෘත කළේය. අපි ඔහු පසුපස දෙවැනි මහල ට ගියෙමු. කාමරයේ වූයේ එක් තනි ආලෝකයකි. එයට පසෙකින් වූ ඇඳෙහි ඇඳ ඇතිරිලි පොරවා ගෙන ජිම් ආයාසයෙන් හුස්ම ගනිමින් වැතිර සිටියේය. ඔහුගේ මව ඒ අසල සිටියාය. අප කාමරයට ඇතුළු වන විට ඇය යාඥා කරමින් සිටියා විය යුතු ය.

ජීවිතයේ අන් කවදාටත් වඩා මම බියවී සිටියෙමි. මගේ පියා ජිම් ව පරීක්ෂාකර බලා ඔහු ට ඉහළින් නැමී කෘතිම ශ්වසනය ලබාදීම ට උත්සාහ කළේය. ඔහු එය දීර්ඝ වේලාවක් කළේය. ජිම්ගේ පෙණහලුවලින් හදිසියේ ම ගොරහැඬි ශබ්දයක් නිකුත් වන තෙක්. ඊළඟට නිශ්ශබ්දතාවයකි. නමුත් ජිම්ගේ මව පියා වෙතට පැමිණ ඔහුගේ උර මත අතක් තබා මෙසේ කියන තෙක් ම පියා තවදුරටත් ජිම් ට කෘතිම ශ්වසනය ලබාදුන්නේය.

“මගේ පුතා ගිහින් ඩොක්ට..” එසේ කී ඇය පුතු ට පසෙකින් සයනයේ වාඩි වූවාය. ජිම්ගේ පියා කාමරයෙන් පිටතට අප ව කැඳවා ගෙන ආ අතර අපි බියකරු සහ දීර්ඝ නිශ්ශබ්දතාවයක ගැලී නිවස වෙත පැමිණියෙමු.

කළ යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. හැඟීම් කෙසේ උහුළාගෙන සිටින්නදැයි නොදත්තෙමි. මා දවසින් වැඩි කාලයක් ගත කළේ හඬමිනි. ඉතිරි කාලය ගතකළේ නොහඬා සිටින්නට උත්සාහ කරමිනි. මේ කුඩා නගරයේ බොහෝ අය මෙන්ම ජිම් ගේ දෙමාපියෝද ඔහු වෙනුවෙන් කුඩා අවමංගල්‍ය උත්සවයක් පැවැත්වූහ. සියල්ලෝම සුසාන භූමිය ට ආහ. සියල්ලෝම දුකින් තැවුණහ.

සති කිහිපයකට පසුව මම නැවතත් ජීවිතයට මුහුණ දෙමින් සිටියෙමි. මගේ මව සහ පියා මට උදව්කිරීම ට උත්සාහ කළහ. නමුත් මට ඒ කිසිවක් ඇසුණේ නැත. මා පාසලට ගියද ඉගෙනීමේ වැඩවල උනන්දුවෙන් යෙදුණේ හෝ කිසිවෙකු සමග වැඩිපුර වැඩිපුර කථාකළේ හෝ නැත. මම හැමකෙනෙකුව ම පිටමං කර සිටියෙමි.

ගිම්හානය ළඟාවෙමින් තිබුණේය. එක් සිකුරාදා දිනයක බොරලු ඇතිරූ පාර දිගේ මා පියමං කරමින් සිටියේ මගේ මිතුරා අවසන් වශයෙන් සජීවී ව සිටිනු මා දුටු පාලම වෙතට ය. වඩ වඩා එය සමීපයට යත්ම අප වාඩි වන ගල මත වාඩි වී සිටින යමෙකු දැක මම මහත් විමතිය ට පත්වීමි. සැර හිරු කිරණින් දෑස් මුවාකරගෙන සිටින විට ඒ සිටින්නේ ජිම්ගේ මව බව මට සැණින් හඳුනාගත හැකි විය.

මා එනු දැක මට පසෙකින් හිඳගන්නැයි ඇය මට කීවාය. එසේ කිරීම ට අවැසි නොවූවද එසේ කිරීමට සිදු ව තිබෙන බව මම වටහාගතිමි. අප කිසිවක් ම කතා නොකර එසේ බොහෝ වේලා හිඳගෙන සිටියෙමු. මා හදවතින් බිඳීගොස් තිබෙන බව ද කතා කර ගත නොහැකි තරම් දුක්බරිත වී සිටින බව ද මම දැන සිටියෙමි. අවසානයේ මම ඇගේ උරහිස මත ට හිස වාරුකර ගතිමි. ඈ සිය අතක් මගේ හිස මත තැබුවාය. මට මහ හඬින් හැඬිණි.

අවසන් කඳුළ ද මා හෙළන තෙක් ඈ කිසිවක් නොකීවාය. සුපුරුදු පරිදි ඇගේ ඒප්‍රනයෙන් හමා ආවේ පාන් සුවඳකි. එය මට ඒ මොහොතේ මද අස්වැසිල්ලක් විය. අවසානයේ කතා කර ගතහැකි වූ විට මම මෙසේ කීවෙමි. “මට ඒක දරාගන්න බෑ.. දරාගන්න බෑ..”

“ඇයි ඔයා ට එහෙම කරන්න ඕනෙ..?”

එවිට ඇය මුදු මිහිරි හඬකින් විමසුවාය.

“ඔයාටත් කරන්න තියෙන්නෙ ඒක තමයි.” මම කීවෙමි. “ඒක දරාගන්න. ඒ දුකින් ගොඩ එන්න. මිනිස්සු කියන්නෙ එහෙමයි”

’‘පුතේ ඔයා මේ දැන් නේද මට කිව්වෙ ඔයා ට එහෙම කරන්න බෑ කියලා…? ඔයා හරි.. අපට කරන්න තියෙන්නෙ ජිම්ගෙ ජීවිතය අපේ ජීවිතවල කොටසක් බවට පත්කරගන්න එකයි. ඔයා ඒක ඔයා තුළ ට ගන්න ඕනෙ. ආත්මයටම කා වද්දගෙන ඒක මතකයේ තියාගන්න ඕනෙ. තමන්ගෙ හොඳම මිතුරා අහිමි වුණු ගැටවරයෙක් සාමාන්‍ය ගැටවරයෙකු ට වඩා හරිම විශේෂ කෙනෙක්. වෙනස් කෙනෙක්.”

ඇය එතරම් සුපැහැදිලි ව කී දේ විසින් මට හුන් තැනින් නැගිටවිණි. හිරු එළිය අපට පහතින් වූ ජල තලය මත වැදී දිලිසුණේය. දින ගණනාවකට පසු ප්‍රථම වතාවට මට නැවත වරක් මගේ මිතුරා දැකිය හැකි විය. මගේ ජීවිතය හැඩගස්වාගැනීම ට ඔහු දායක වූ ආකාරය ද ඔහු එහි සදාකාලික කොටසක් බව ට පත්වූ ආකාරය ද මට දැකිය හැකි විය.

අපි දිගු වේලාවක් හිඳගෙන සිටියෙමු. ඊළඟට ජිම්ගේ මව මගේ අතකින් අල්ලා ගත්තාය. මෙසේ ඇසුවාය. “ඔයාට කුකීස් ඕනෙද..?”

ඉන්පසු අපි දෙවැට සහ හිස ඔසවන තිරිඟු යාය මැදින් එක්තරා කලෙක මා ආදරය ගැන බොහෝ දේ උගත් ගොවිපොළ වෙත පිය මැන්නෙමු.

  • වෝකර් මීඞ්ගේ සත්‍ය ජීවන අත්දැකීමකි.
    වෝකර් මීඞ් වයස අවුරුදු දාහතරේදී ලේඛන කලාවට පිවිසියේය. කොස්මොපොලිටන් /රීඩර්ස් ඩයිජස්ට් හා රෙඞ් බුක් ආදී වාර ප්‍රකාශනවලට සත්‍ය කථා ලිවීම ඇරඹූ ඔහු පසුව කොස්මොපොලිටන් සඟරාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත්විය. රීඩර්ස් ඩයිජස්ට් සංක්ෂිප්ත පොත් සමාජයේද කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ ඔහු ඇවෝන් බුක් සමාගමේ ප්‍රධානියා බවට පත් ව අද විශ්‍රාමික ලේඛකයෙකු ලෙස තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.

රිදවීම් මිහිදන් කරන්න !

ආදරණීය ඉටිපන්දම්

අම්මෙ මම දන්නවා…

මගේ පුතුගේ ජීවමාන දායාදය

ප්‍රථම පෙම

දම් පාට සුරංගනාවිය

තම පෙම්වතිය සොයා රටවල් අටක් ඔස්සේ ස්වීඩනයට පා පැදියෙන් ගිය කුලහීන පෙම්වතා

ප්‍රේමය සියල්ල ය.

error: Content is protected !!
error: Content is protected !!