මම නිකමට මෙන් දොරකඩ සිටගෙන සිටියෙමි. බලා සිටියෙමි. ඇහුම්කන් දුන්නෙමි. ඉක්බිති මද සිනා පෑවෙමි. මා එහි සිටින බව ඔහු නොදනියි. එය දැනුම් දෙන්නට ද මට උවමනාවක් නොවේ. ඔහු වැඩි කතාබහක් නැති අයෙකි. කටපියාගෙන වැඩකරන්නෙකි. එහෙත් ඔහු වැඩ කරන අයුරු බලාසිටීමට මගේ සිත පොපියන හෙයින් කළ යුතු හොදම දෙය නිහඬව රස විදීමයි.
ඔහු කෝදුව ගෙන නිවැරදිව මිනුම් ගත්තේය. වැරදි ප්‍රමාණයේ ඉස්කුරුප්පු ඇණ ගෙන ඒම ගැන තමන්ටම ශාප කර ගත්තේය. හැම දෙයක්ම නිසි පරිදි සිදුවන විට සැනසිල්ලෙන් යුතුව ගී මිමිණීය. ඉන්පසු ඇණ දැමූ පෙට්ටියේ පය හප්පා ගත්තේය. එසැණින් තවත් ශාප කිරීමේ වදන් පෙළක් ඔහුගේ මුවින් පිටතට පැන්නේය. මට මහ හඩින් සිනාවක් නැගෙන්නට ආවද වාසනාවට මෙන් අන්තිම මොහොතේ එය නතර කර ගැනීමට සමත් වීමි. සන්සුන් සහ ආදරණීය ලෙස ඔහු දෙස බලාසිටියෙමි.
ඔහු මගේ සැමියා ය. ඔහු මා වෙනුවෙන් අපේ නිවසට අලුත් කාමරයක් එක් කරමින් සිටියි. මා වෙනුවෙන්… මා සඳහාම… ඒ කාමරය මට ලේඛන කටයුතුවල යෙදීම සදහා ය. වෙනත් වදන්වලින් කියන්නේ නම් ‘මනා ලෙස’ මට ලිවීමට හැකිවනු පිණිස ය. මා එක්සත් ජනපදයේ මහා ලේඛිකාවක් නොවේ. ඇත්තෙන්ම මා වෘත්තීය ලේඛිකාවකද නැත්ද යන්න ඔහුට කිසිවිටෙක වැදගත් නොවීය. ඔහුට වැදගත් වූයේ මා ලිවීමෙන් සතුටක් ලබන්නේය යන කාරණය පමණි. එනිසා මට වඩා හොදින්-මනා සේ ලිවිය හැකි ‘වෙනම තැනක්’හදා දීමට දයාබර ඔහුට අවැසි විය.
මට වැරදීමක් විය හැකිද? නැත. කිසිවිටෙක මා ඉදිරියේ වැරදීමකින්වත් ගී නොගයන මගේ සැමියා මේ වන විට සිටියේ අහසේ ඉගිල්ලෙන්නාක් මෙන් සැහැල්ලුවෙන් හා තෘප්තියෙන් යුතුව ගීතයක් මුමුණමිනි. ඔහු ඇත්තෙන්ම මුමුණමින් සිටියේ ගීයක් නොව ඔහුගේ සිතට නැගුණු අදහසකි. ‘ඇය මේකට කැමති වෙයි..ඇය මේකට කැමති වෙයි..’ වැනි පද කිහිපයක් ඒ අතරින් අමුණා ගන්නට මට හැකි වෙයි. ‘ඔව්.. ඇය මේකට ගොඩාක් කැමති වෙයි..’ මගේ සිත ද පිළිතුරු ගී ගයයි. ඒ අන් කිසිවක් නිසා නොව, ඔහු එය මා වෙනුවෙන් සහ හදවතින් කරන කැපකිරීමක් වන නිසා ය.
එසේ සිතත්ම මට නැවත හිනාවක් ගියේය. මෙවර.. මහ හිනාවක්.. නිසැකවම ඔහුට එය ඇසිණි. ඔහු වහාම හැරී බැලුවේය. මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටියේය. ‘ඔයා..? මෙතැන..?”
ඉන්පසු මද සිනා පෑ ඔහු බරපතළ ආකාරයෙන් මෙසේ ඇසීය.
‘ඔයා මේ කාමරේට කැමති වෙයි නේද..?’
මම මද සිනා පෑවෙමි. ‘ඔව්.. මම ගොඩක් කැමතියි.. ගොඩාක් කැමතියි..’
එවිට ඔහු සැනසිල්ලෙන් යුතුව සිනාසුණේය.
ඉන්පසු මෙසේ නිවේදනය කළේය. ‘ඔයා තවත් අර එළිය හරියට වැටෙන්නෙ නැති, ජනේල නැති-බඩු පුරවපු මඩුවෙ, හේත්තුවෙන්න ඇන්දක් නැති බංකුවෙ වාඩිවෙලා ලියන්න ඕනෙ නෑ..” ඔහු මෙය පැවසීමේදී ‘මට ඒක වාවන්නෙ නෑ’ කියා කීවේ නැත. සාමාන්‍යයෙන් පිරිමි එසේ ඇතුළාන්තයම කියා දමන්නේ අඩුවෙනි. එවිට අප ඒවා ඔවුන්ගේ සිතිවිලි දැනගෙන උෟනපූරණය කර සිතාගතයුතුය. ඔව්… ඔහුට එය වාවන්නේ නැති බව මට දැනී තිබේ. එසේ නැතිනම් ඔහු ආරාධනාවක් හෝ ඉල්ලීමක් නැතිව මෙසේ සිය කාමරය අලුතින් ඉදි කරන්නට පටන් ගන්නේ නැත.
‘ඒ වගේම..’ මම ඔහුට බාධා කරමින් කීවෙමි. ‘මම ලියන කල් ඔයා අර මෝඩ පාට කැබිනට් එක උඩ වාඩි වෙලා මා දිහා බලන් ඉන්න ඕනෙත් නෑ..’ එහි අදහස මනා සේ දන්නා හෙයින් ඔහු මහ හඬින් සිනාසුණේය. ඉන්පසු ඉතා බරපතළ ආකාරයෙන් මෙසේ පැවසුවේය. ‘දැන් ඔයාට ‘හොඳ’ කාමරයක ඉදන් ‘හොඳට’ ලියන්න ඕනෙ කරන හැම දෙයක්ම තියෙනවා. මම ඔයාගෙ පැන්සල් ටික උල් කරගන්න ඕනෙකරන ‘හොදම’ ෂාප්නර් එකකුත් මේ කාමරයෙන් හයි කරනවා.’ මා ලියන්නේ පැන්සල්වලින් නොව පෑන්වලින් යැයි කීමට මට සිත්වුවත් මම කිසිවක් නොකියා සිටියෙමි. ඕනෑම නම් පැන්සල් ෂාප්නරයකුත් සවි කළාවේ. එවිට කාමරය තවදුරටත් ඔහුගේ ආදරයෙන් පිරුණා වන්නේය.
ඉක්මනින්ම හැම දෙයක්ම සූදානම් විය. මනා සේ සැකසූ, බිමට වාර්නීෂ් පවා ආලේප කළ කදිම සුවපහසු කාමරයක හොදින් හිරු එළිය වැටෙනා තැනෙක තැබූ අලුත් මේසයක් අසල, කුෂන් ඇල්ලූ සහ ඇන්දක් සහිත සැප පුටුවක මම දැන් වාඩිවී සිටිමි. එහෙත් මට දැන් ලිවිය නොහැකිය. මට කිසිවක්ම ලිවිය නොහැකිය. කාමරය පරිපූර්ණ ය. නමුත් මට ලිවිය නොහැකිය. දෙවරක් නොසිතූ මම, අඩුමකුඩුම ද රැගෙන මගේ සුපුරුදු ‘මඩුව’ තුළටදිව ගියෙමි. ලියන්නට නොවේ. ඇතිවූ මානසික අවුල ලිහාගැනීම සදහා තනිව සිටින්නට ඇවැසි වූ නිසා ය.
මා පැමිණි බව දැනුණු වහා මගේ සැමියා මා සොයා ආවේ ප්‍රහේලිකාවකට මැදි වෙමිනි. ‘එතන හරි නැත්ද’ ඔහු පුදුමයෙන් සහ දුකින් ඇසුවේය. ‘නැහැ. එතන හොදයි… හොදටම හොදයි.. ඒත් මට එතැන ලියන්න බෑ..’
‘ඇයි ඒ..?’
එවිට මම බරපතළ ලෙස මෙසේ පිළිතුරු දුනිමි. ‘ඔව්.. හැම දේම තිබුණත්.. එතැන ඔයා නැතිව මට ලියන්න බෑ..’ ඔහු මා දෙස මොහොතක් බලා සිටියේය. ඉන්පසු මහ හඬින් සිනාසුණේය. මා ළදැරියක සේ ඔසවා ගත්තේය. අලුත් කාමරයට ගොස් මා පුටුවේ වාඩිකරවා අසල සැටියේ සිට මා දෙස බලාසිටින්නට විය. ඔව්… ඉක්බිති මට එහි සිට මනා සේ ලියන්නට හැකි විය.
– ලීසා බේඩ් ගුඩ්වින්ගේ අත්දැකීමකි.
– චිකන්සුප් ඇසුරෙන්.