×

ඇඳුම් හතක් ඇඳ සැතපුණු නැන්දණිය

සිනහව ට ඔසුවක් වන්නට පුළුවන් බව රහසක් නොවේ. සැබෑවකි. සිනහව ට කණගාටුව සුවපත් කළ හැකිය.


සිනහව දෙවියන්ගේ ඔසුවයි. – හෙන්රි වෝඞ් බීවර්

ලුසී ආන්ටි අයෝමය හදවතක්ද තියුණු දිවක් ද හැම පැන්සයක් ම මසුරුකමින් රැස්කරන්නියක ලෙස ද ප්‍රසිද්ධියක් ඉසුලූ කාන්තාවකි. කිසිවක් කිසිවිටෙක ඇය අපතේ යැව්වේ නැත. තෑගි ඔතන කඩදාසිය පවා ප්‍රවේශමෙන් නවා තැබිණි. නූල් කැබැල්ල වුවද දිනෙන් දින ප්‍රමාණයෙන් විශාල වන නූල් බෝලයේ එතිණි. ඇලුමිනියම් තහඩුවකට පවා ඇගේ නිවසේදී මතු ජීවිතයක් හිමිවිය.

ලුසී ගේ ඥාති දියණිය වූ බාබරා ඇගේ මවගේ මරණයෙන් පසු ලුසී ආන්ටි සමග ජීවත් වූ අතර ඇය ව රැකබලාගත්තාය. දෙදෙනා අතර ආදරණීය බැඳීමක් තිබුණ ද එය නිතරම එළිදැක්වුණේ තියුණු හා දෙපිට කැපෙන හාස්‍ය රසයක් ද සමගිනි. දෙදෙනාට ම දෙදෙනා ගැන ඉවසීම ට අසීරු දේවල් ලැයිස්තුවක් විය.

“ඔයා හරි ලාබ දේවල් හොයන්නෙ..” බාබරා දෝෂාරෝපණය කළාය.

’‘අරුමෝසම් වියදම් කාරියක්..” ලුසී ආන්ටි කඩා පනියි.

ඔවුන්ගේ යහපත් මනෝභාවයෙන් යුත් බොරු කලහය සන්ධ්‍යා තේ පානය ට රස මුසුව එක් කරයි.

සිය අවසන් වසරවලදී ලුසී ආන්ටි එම ශ්‍රේෂ්ඨ දිනයේදී (ඇය කියූ පරිදි) සිය මැවුම්කරුවා හමුවීම පිණිස සූදානම් වූවාය. කාලයෙන් වැඩි කොටස ගෙවුණේ සිය අවමංගල්‍ය දිනයේදී කුමක් හැඳ සිටිය යුතුදැයි සැලසුම්කිරීම සඳහා ය. කාලය ගෙවීයත්ම ඇඳුම් තෝරාගැනීම කෙරෙහිම ඇය ඇප කැප වූවාය. කොහොමටත් ඇය පිරිසිදු යටඇඳුම් පිළිබඳ නිතර උපදෙස් දෙන්නියකි. ඒ සඳහා ඇය ඉදිරිපත් කරන සුපුරුදු හේතුදැක්වීම් අතර සුළං හමන වීදි මෙන්ම ජනප්‍රිය හේතුව වූ බසයක හැපී රෝහල් ගත කළහොත් කුමකින් කුමක් වේවිද යන්නද වේ.

“අපොයි දෙයියනේ” යට ඇඳුම් සුපිරිසිදු නැතිබව දටුවහොත් වෛද්‍යරුන් හා හෙදියන් ඇගේ ජීවිතය රැකදීමේ සියලු පරිශ්‍රමයන් අත්හරිනු ඇත.

සතියෙන් සතිය සාප්පු සවාරියේ ගිය ලුසී ආන්ටි සිය අවසන් ගමන සඳහා රේන්ද ඇල්ලූ යට ඇඳුම් මිලදී ගත්තාය. මුලින් එය අහිංසක දෙයක් ලෙස පෙනුණද ක්‍රමයෙන් එය ඇබ්බැහියක් වන තරමට පුරුද්ද බරපතළ විය.

යට ඇඳුම් විසින් බාබරා සහ ලුසී ආන්ටි අතර වූ දබරවලට පෙට්‍රල් වත් කෙරිණි. මිලදී ගත හැකි අනර්ඝතම යට ඇඳුම්වලින් සැරසී දෙවියන් වහන්සේ මුණ ගැසීමට ලුසී ආන්ටි ස්ථීර ලෙසම අධිෂ්ඨාන කරගෙන තිබූ අතර ඉවසීම සිඳී ගිය හා ස්නායු කුපිත වූ බාබරා සිටියේ ඕනෑම මොහොතක ඇගෙන් මිදීම ට ප්‍රාර්ථනා කරමිනි.
එක් සන්ධ්‍යාවක ඔවුන් සමග තේ පානය සඳහා එක්වූ මම සැර බාල කිරීම ට උත්සාහ කළෙමි. අප උද්‍යානයේ සක්මන්කරමින් සිටින විට බාබරා සිටියේ ඇගේ දරාගැනීමේ සීමාව ට බොහෝ ආසන්නයේය.

“බාබරා..” මම සන්සුන් ලෙස ඇය ව ඇමතීමි. “ලුසී ආන්ටි කියන්නෙ සුන්දර කාන්තාවක්. මරණය ට බිය කෙනෙක්. එයා බයවෙලා ඉන්න එකම දේ තමයි දිව්‍යාලෝකයේ ද්වාරයේදී දෙවියන් වහන්සේ මුණගැහුණාම පැන්සයක් ගානෙ ලෝබකමට එකතු කළේ මොකද කියල තේරුම් කරල දෙන එකයි. පොඩි වෙනසකට ඉඩ දෙන්න. ඒ ගැන හිනාවෙලා ඉවසන්න. ඇය වියදම් කරන මුදල් ගැන ඔබේ තැවීමක් නැහැ නේද..?”

“අනේ නැහැ… ” බාබරා කීවේ මද සිනහවක් පාමිනි. “ඒත් මේක මෝඩ වැඩක්. අවුරුදු ගානක් තිස්සෙ ඇය විකාරයක් කළේ. ඒක ඇය දැනගත්තා. හැබැයි මේක නම් බරපතළ වැඩියි.”

“මරණය බරපතළයි තමයි. විශේෂයෙන්ම ඔබ මැරෙන්න බයයි නම්… මං හිතන්නෙ බොරු මවාපෑමක් කළාට ලුසී ආන්ටිත් මරණය ට බයයි.”
“මං මොනවද කරන්නෙ…?” බාබරා ඇසුවාය.

“ඒක විනෝදයකට ගන්න.” මම ඇගේ උරහිස් වටා අතක් දමාගතිමි. ඈ මගේ අතට හිස තද කර ගත්තාය. “මම උත්සාහ කරන්නම්.” ඈ පොරොන්දු වූවාය.

ඊළඟ සති කිහිපයේදී බාබරා ලුසී ආන්ටිගේ සාප්පු සවාරිවලට සහාය දැක්වූවාය. ඇඳුම් අල්මාරියේ රාක්ක යට ඇඳුම්වලින් පිරී ඉතිරී යද්දී ඔවුහු කොක්සන් දෙමින් සිනාසුණහ. අවසානයේ ඒ සියල්ලෙන් ම ඔවුහු හොඳම යට ඇඳුම් කට්ටල් හතක් තෝරාගත්හ. විශේෂ දිනය එළඹෙන තෙක් ඔවුහු ඒවා ලස්සන සුවඳැති පෙට්ටියක බහා තැබූහ. ඒ දිනය එළඹුණේ ඔවුන් දෙදෙනා ම සිතා සිටියාට වඩා වේලාසනිනි. සමහර විටෙක තෝරාගැනීම සිදුකළ අහවර හෙයින් ලුසී ආන්ටි හට සිය මැවුම්කරුවා මුණගැසීමේදී සුවපහසු හැඟීමක් ඇතිවන්නට ඇත.

මම ඇය ව අවසන් වරට දැකීමට ගියෙමි. සිය ෂැනෙල් ඇඳුම් කට්ටලයෙන් හා මවගේ මුතුවලින් සැරසී සිටි ලුසී ආන්ටි සුන්දර ලෙස දිස්වුණාය. සුදු අත්වැසුම් ලූ ඇගේ දෑත්වල බයිබලය රැඳීතිබුණේය.

“ඔයා ට හිතෙන්නෙ නැත්ද එයා මහත්වෙලා කියලා..?” බාබරා ඇසුවාය.

“මහත්වෙලා..? නෑ.. ඇයි…?” බාබරා කුමක් පවසන්නේ දැයි මට සිතාගත නොහැකි විය.

“එහෙමද…? එහෙනම් කමක් නෑ… මම හිතුවෙ එහෙම පෙනෙයි කියලා. මිය යන්න කලින් අපි අවසාන කට්ටල් හත තේරුවට ඒ අතරින් අවසානම යට ඇඳුම් කට්ටලය ආන්ටි තෝරගෙන තිබුණෙ නෑ.” ඇය හඬ පහත් කළාය. “ඔයා දන්නවනෙ එයා කොයි තරම් මුරණ්ඩු ද කියලා.. ඉතින් මම එයාට ම ඒ ගැන අවසන් තීරණය ගන්න දුන්නා…”

“ඔයා මොනවද මේ කියන්නෙ…? මොකක් ගැනද කියන්නෙ…?”

මගේ හිත පෙරළි කළේය.

“මම එයාට ඒ හත ම ඇන්දුවා.” බාබරා ඇසක් ගසා කීවාය.

“එතකොට එහෙ ගියාම කැමති එකක් තෝරගන්න පුළුවන් නෙ..!!!”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි