කොතරම් වීරිය කර
මිනිසුන් කුමක් කීවත්
කියාගන්නට බැරි
දහසක් දේ මේ විශ්වය තුළ
තවමත් ඉතිරිව පවතියි.
කී කතාවලට වඩා
නොකී කතා වැඩියි
විශ්වය ඒ සා අසිරිමත් දෙයකි
– මෝරිස් මැටර්ලින්ක්
”ඔබේ දුක මට දැනෙනවා” යැයි මම කිසිවිටෙක නොකියමි. මන්ද ඒ සැබෑ හැඟීම ඒ ආකාරයටම දෙවැන්නෙකුට සංවේදනය කළ නොහැකි නිසයි. මගේ මවුපියන්ද, මවුපියන්ගේ මවුපියන්ද, මාමලාද, නැන්දණියන්ද, මිතුරන් ද මට අහිමි වී තිබේ. නමුත් මට කිසිදා දරුවෙකු අහිමි නොවීය. ඉතින් ඔබේ දුක දනිතැයි මා කියන්නේ කෙසේද?
”ඕක ටික දවසකින් හරියයි” යැයි මම කිසිවිටෙක නොකියමි. මන්ද එය එසේ විය නොහැකි නිසා යි. ජීවිතය ගලා යනු ඇත. රෙදි සේදීම, කෑම පිසීම, ශුද්ධ පවිත්‍ර කිරීම ආදී සුපුරුදු ගෙදරදොර වැඩ කටයුතු අතරින් ජීවිතය ගලා යනු ඇත. ශෝකය වෙනුවට වෙනත් හැඟීම්වලින් ඔබේ සිත පිරී යනු ඇත. නමුත් වේදනාව එලෙසම පවතීවි.
ඉතින් සියල්ල ටික දිනකින් හරියාවි යැයි මා කියන්නේ කෙසේද? ”අනෙක් දරුවන් නිසා හිත හදාගන්න” යැයි මම කිසිවිටෙක ඔබට නොකියමි. මන්ද එය එසේ නොවීමට ද ඉඩ ඇති නිසයි. දරුවෙකුගේ වියෝ දුක පිරවීමට අනෙක් දරුවන් සමත් වන අවස්ථා වෙනුවට ඒ දරුවන් නිසා මවුවරුන්ගේ ඉවසීම තවදුරටත් සිඳී යන අවස්ථා මා කොතෙකුත් දැක ඇත. ඉතින් එසේ හිත හදාගන්නැයි මා කියන්නේ කෙසේද?
”දුක් වෙන්න එපා. තව දරුවෙක් හදාගන්න තරම් ඔයා තරුණයි” යැයි මම කිසිවිටෙක නොකියමි. මන්ද එය විසැඳුමක් නොවන බව මා දන්නා නිසයි. ඔබේ ඇකයට එන අලුත් බිළිඳා ඔබව නිදිවර්ජිතව තබමින්, ඔබේ වැළපෙන කාලය සොරා ගනීවි.
නමුත් ඒ අලුත් බිළිඳෙකි. ඔබ හැර දමා ගිය බිළිඳා නොවේ. ඉතින් තව දරුවෙක් ගැන කියා මා ඔබව නළවන්නේ කෙසේද? ඔබ ඔබටම ශාප කරගනිමින් සිටින්නෙහිය. ඔබ වටා සිටින ඥාති හිත මිත්‍රයෝ ඔබට නොමඳව සැනසිලි බස් දොඩවති. ඔවුන් සිතන්නේ ඔවුන් ඔබට උදව්වක් කරන බවකි. දුක නැතිවෙන්නට කුමක් කියන්නදැයි ඔවුහු නොදනිති.
ඉතින් මා කුමක් කියන්නද? මේ ජීවිතයයි..
පෙර ලිපිවලට මෙතැනින් පිවිසෙන්න..