×

බූබා ගුප්තයි

තවෙකෙකුගේ ආත්මය ස්පර්ශ කිරීම වු කලී ශුද්ධ වූ භූමියක් මතින් පිය නැගීම වැනිය - ස්ටීවන් ආර් කොවී.


දරුවෝ හතර දෙනෙක් හිටිය පවුලක ලොකු දුව හැටියට මම පවුල ගැන හුඟක් සිතන කෙනෙක්. හිත රිද්දාගෙන වුණත් හිතන්න කැමති කෙනෙක්. අනෙක් තුන්දෙනාම මල්ලිලා. ඒ නිසා එකම දුව විදිහටත් මම හැම තිස්සෙම ඒ අය ගැන වදවුණා. වියපත් වුණත්, ඒ ගතිය වෙනස් වුණේ නෑ. මට හැමදාම මගේ මල්ලිලා පෙනුණේ එදා මම ඔවුන් දැක්ක පොඩි මල්ලිලා විදිහටමයි.

අපි එකිනෙකාට හුඟක් ළඟින් ජීවත් වුණා. වැඩිහිටියන් වුණාට පස්සේ දිනපතාම එකිනෙකා හමුවුණේ නෑ. ඒත්, අඩුම ගානේ දුරකතන ඇමතුමක් මගින්වත් සුවදුක් දැනගන්න අමතක කළේ නැහැ.

බූබා…. එයා තමයි මගේ ලොකු මල්ලි. එයාගේ ඇත්ත නම බ්‍රයන්. ඒත්, මම ආදරේට කියන්නේ බූබා කියලයි. අපේ තාත්තට ලොකු ග්‍රොසරියක් තිබුණා. මල්ලිලා විවේක වෙලාවට ඇවිත් ඒකේ මාරුවෙන් මාරුවට වැඩ කරනවා. බ්‍රයන්, බූබා වුණේ පොඩි කාලේ ඒ විදිහට ග්‍රොසරියේ වැඩකරන අතරතුරයි. ප්‍රාදේශීය බන්ධනාගාරයේ ජේලර්වරයෙක් විදිහට බූබා රැකියාව කළා.

බූබාව මට පොඩි කාළේ ඉදන්ම පෙනුණේ කිසි පිළිවෙළකට නැති කම්මැලියෙක් විදිහටයි. ග්‍රොසරියට ආවත් හරිම අපිළිවෙළයි.

“ඔය කුණුගොඩ මැද හිටගෙන ඉන්නේ නැතිව ඕක අතුගාලා පැත්තකට කරන්කෝ” වෙලාවකට එයා දැන් ලොකු මිනිහෙක් බව අමතක වෙලා මම එයාට කෑ ගහනවා.

“හොඳයි අක්කේ..”

බුබා එහෙම වෙලාවට ඊට වඩා වැඩි දෙයක් කියන්නේ නෑ. මේ මිනිහා නම් හැදෙන කෙනෙක් නෙවෙයි. ඒ වෙලාවට මම කණස්සල්ලෙන් හිතුවා. බුබා හරිම අපරික්ෂාකාරියි. එක දෙයකට එක දිගට අවධානය යොමු කළේ නැහැ. හැම තිස්සේම කලබලෙන්.

“එයා කොහොමද ජීවිතේ මේ තරම් ගණන් නොගෙන ඉන්නේ…?” මම හිතුවා. බූබාව මම දැක්කේ, ඔහේ ජීවත්වෙන, ජීවිතේට ඔහේ යන්න දීලා බලන් ඉන්න අරමුණක් නැති කුචිතයෙක් විදිහට.

අන්තිමේදී බූබාගේ පවුල් ජීවිතෙත් අසාර්ථක වුණා. බිරිය දික්කසාද වුණේ දරුවගේ භාරකාරත්වය බූබාට පවරමින්.

“මල්ලි දරුවව කොහොම හදා ගනියිද අනේ මන්දා….” ඒ දවස්වල මට නිතරම හිතුණා. ටික කාලෙකින් බූබාට ආදරණීය කාන්තාවක් මුණගැහුණා. ඒ දවස් ටිකේ මම බූබාගේ මුහුණේ ලොකු සතුටක් දැක්කා.

“දැන් තමයි මගේ මල්ලිට නියම කෙනා මුණගැහුණේ..” මගේ විතරක් නෙවෙයි නෑදෑයෝ හැමෝගෙමත් අදහස ඒකයි. කොයි වෙලාවේ හරි බූබා අපිට එයාගේ එන්ගේජ්මන්ට් එක කියයි” අනිත් මල්ලිලා කතා වුණා.

මේක සිද්ධවුණේ ගිය අගෝස්තු මාසේ එක උණුසුම් දවසක. මට දුරකතන ඇමතුමක් ලැබුණා. දුරකතනයේ අනිත් කෙළවරේ හිටියේ කාන්තාවක්.

“මම ප්‍රාදේශීය හදිසි අනතුරු අංශයෙන්.”

“ඔව්…?” ඊළඟ මොහොතෙ ඔබට ආධාර මුදලක් කරන්න පුළුවන්ද වගේ සුපුරුදු ප්‍රශ්නයක් අහයි කියන බලාපොරොත්තුවෙන් මම ඇල්මැරුණු විදිහට උත්තර දුන්නා.

නමුත් ඇය එහෙම ඇහුවේ නෑ. ඒ වෙනුවට “ඔබට බ්‍රයන් කියලා සහෝදරයෙක් ඉන්නවද?” කියලා මගෙන් ඇහුවා.

“ඔව්. ඇයි?”

“මේකයි එයාට හදිසි අනතුරක් වෙලා.” ඊළඟට ආගන්තුක නිහැඬියාවක්. ඒත්, මම කලබල වුණේ නෑ. මගේ බුබා පාර මාරු වෙන්නෙත් උඩ බලාගෙන. හරිම අපරික්ෂාකාරියි. සුළු සුළු රිය අනතුරුවලට ඔහු නිතර ලක්වෙනවා කියන එක අපිට අලුත් දෙයක් නොවෙයි. එකවරක් බුබා කහ ඉරි දෙක උඩදිත් රිය අනතුරකට මුහුණදීලා තිබුණා. හිසේ වෙළුම්පටි ඔතාගෙන හිටියත් ඔහු කිව්වේ “ආ ඒක මගේ මිස්ටේක් එකක්” කියලයි. බූබාගේ හැටි දන්න නිසා ඒ වතාවෙ තාත්තා පොලිසි ගානේ රස්තියාදු වුණෙත් නැහැ.

නමුත්, දුරකතනයේ හිටියේ කාන්තාව මගේ ප්‍රශ්නෙට දිගටම උත්තර නොදී ඉන්න නිසා මම මෙහෙම ඇහුවා.

“ඔහුට තුවාලද? ඉස්පිරිතාලෙට ඇතුළත් කළාද?”

එවරත් පිළිතුරක් නෑ. මේ වතාවේ නම් යම්කිසි නපුරක් සිද්ධවෙලා තියෙන බව මට දැනුණා. “එයාට ගොඩක් තුවාලද…?” මම ආයෙත් ඇහුවා.

එවිට ඇය මෙහෙම කිව්වා… “ඔයාගේ මල්ලිට…. බේරෙන්න බැරි වුණා…!”

මොනවා…..? මට ඒ වචන ඇහුණෙ හීනෙන් වගේ. මොකක්ද ඒකේ තේරුම. මගේ බූබා…. “අයැම් සෝ සොරි… අපිට හුඟක් කනගාටුයි…” ඇගේ වදන් මට ඇහුණේ හීනෙන් වගේ.

ඊළඟ දවසේ අවමංගල්‍ය කටයුතු සියල්ල අවමංගල්‍ය ශාලාවකට භාර කෙරුණා. මම හීනයක ජීවත් වෙනවා වගේ. මේ ඔක්කොම හීනයක් නම්.. අනේ දෙවියනේ ඒක එහෙම නම් කොයිතරම් හොඳද.. බූබා කවදාවත් පල්ලි ගිය කෙනෙක් නෙවෙයි. ඔහුට ඒකටවත් වෙලාවක් නොතිබුණ හැටි…! ඒ නිසා ඔහුගේ දේහය අපේ පුංචි ගෙදර තියන්න තීරණය වුණා. අපි කොහොමටත් බලාපොරොත්තු වුණේ අපේ පවුලේ නෑ හිතමිතුරො කිහිපදෙනෙක් විතරයි.

ඒත්, බූබාගේ වැඩපොළේ දෙවැනියා ඒකට කොහෙත්ම කැමති වුණේ නෑ. “අලුත් පාසලේ ගෞරව සහිතව බ්‍රයන්ව තියන්න ඕනේ. මොකද, අපේ ජේලර්ලා හැම කෙනෙක්ම මේකට එන්න අහනවා. ඒක සිරිතක්. ඔහු කිව්වා. ඒත් මටනම් ඒ ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. හිතන්න. ලොකු ශාලාවක බූබාගේ මිනිය වටේ අන්තිමට අපි කීපදෙනා විතරක් ඉතිරිවෙලා ඉදියි. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒත් බන්ධනාගාරෙ දෙවැනියා කියන විදිහට අවසන් කටයුතු කරන්න අපේ මවුපියෝ තීරණය කළා.

පහුවදා නියමිත වේලාවට කලින් අපි එතැනට යන්න පිටත් වුණා. සෙනග කන්දරාවක්…! පිවිසුම් දොරටුව හොයාගන්න බෑ.

“මේ මිනිස්සු මෙච්චර කොහෙන්ද? තව අවමඟුලක් අද තියෙනවා ඇති” අපි කතා වුණා.

“කවුද මේ මිනිස්සු….?” මට ලොකු ප්‍රහේලිකාවක් මේක. හරියට බූබා මල්ලිට “රහස් ජීවිතයක්” තිබිලා වගෙයි.

ඇත්තෙන්ම ඔහුට රහස් ජීවිතයක් තිබුණු බව මම එදා දැනගත්තා. මගේ මල්ලි මෝටර් රිය කැඩුණු වෙලාවට ඒ රියැදුරන්ට කාර්මිකයෙක් වෙලා තිබුණා. දරු මල්ලො අතඇරලා කාත් කවුරුත් නැතිවී හිටියා. අල්ලපු ගෙදර වින්සන්ට් මහත්තයට පාළු කපන්න වෙලාහිටියා. ජෝජ් සීයට ශීත සෘතුවට කලින් දරටික පළල දෙන දුක්ගන්නාරාළ වෙලා ඉඳලා තියෙන්නෙත් බූබා. හදිසියට අතමිට සල්ලි හිඟවුණු අයට බූබා දීර්ඝ කාලීන ණයට මුදල් දීලා. වෙන එකක් තියා මගේ මල්ලි අපි කිසි කෙනෙක් නොදැන ඉස්පිරිතාලේ එක දිගට දවස් දෙකක් නිදිවරාගෙන අතදරුවෙක් ළඟ තනියටත් ඉඳලා තිබුණා. බූබගේ අවමඟුලට ආව හැමකෙනෙකුටම බූබා තමන්ගේ දුකට පිහිටවුණු හැටි ගැන කියන්න තමන්ගෙම කතාව ගානේ තිබුණා.

සෙනග ටික ටික අඩුවුණාම අපි ආපසු එන්න ලෑස්තිවුණා. අපි රථගාලට යද්දි මම දැක්කා සුදුපාට ඇඳුමින් සැරසුණු හිරකාරයෝ තුන්දෙනෙක් පසුපස අසුනෙ තියාගෙන ෂෙරීෆ්වරයාගේ රථය එන විදිහ… මේ හිරකාරයෝ තමන්ගේ ජේලර්වරයාට අවසන් බුහුමන් දක්වන්න අවස්ථාවක් දෙන්න කියලා වැඳවැටුණු බව ෂෙරීෆ් අපි එක්ක කිව්වා. ඔවුන් බූබාගේ දේහය ඉදිරියේ වැළපෙන්න පටන් ගත්තා. ඔවුන් සල්ලි එකතු කරලා මල් වඩමකුත් ගෙනැත්.

ඊළඟ දවසේ ඒ ශාලාවේ අපි තනිවෙලා හිටියේ නෑ. ශාලාව අතුරු සිදුරු නැතිව පිරිලා ගිහින් තිබුණා. බොහෝ අය කතා කරන්න පොරකෑවා. අවුරුදු විස්සක් තිස්සේ ඇඟමස් දියවීමේ රෝගය නිසා රෝද පුටුවේ හිටිය මගේ මල්ලිගේ පුතාත් කතා කළා.” “බුබා මාමට මගේ හිතේ තියෙන ආදරේ මගේ හැම නහරයකටම දැනෙන මේ වේදනාවට වඩා ප්‍රබලයි!” බූබා තමන්ට තාත්තෙක් වුණු බව සහෝදරයෙක් වුණු බව, හොඳම මිතුරා වුණු බවට හැම කෙනෙකුගේම නෙත්වල තිබුණු කඳුළු සාක්ෂි දැරුවා.

ඒ අවමංගල්‍ය පෙරහර හැතැක්ම හතරක්. ගේ හදාගෙන දරුමල්ලෝ බලාගෙන රස්සාව කරගෙන තමන්ගේ දියුණුවක් බලාගන්න එක තමයි ජීවිතේ කියලා හිතන ලෝකයක මගේ මල්ලි බූබා වීරයෙක් වගේ මං දිහා බලාගෙන ඉන්නවා මට දැනුණා. මල්ලියේ උඹ අදහන්න වටින යෝධයෙක්… ගෙදර වැඩ කරන්න… කඩේ වැඩ කරන්න… තමන් ගැන හිතන්න උඹට වෙලාවක් නොතිබුණු එක.

පුදුමයක් නෙවෙයි….!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි