×

ළමා අපචාරියා සමග දොළොස් වසකට පසු මුහුණට මුහුණ ලා

සිය ළමා කාලය අපායක් කළ අපචාරියා දොළොස් වසරකට පසුව ඇයට මුහුණට මුහුණ හමුවිය. ඇය ඔහු හමුවීමට පැමිණ සිටියේ අත් මාංචු ද රැගෙන ය.


ෆැබ්රිකෝ, ටැබටා ගේ ජීවිතයට පැමිණෙන විට ඇයට යාන්තම් වයස අවුරුදු නවයක් වූවා පමණි. ඔහු ඇයගේ ජීවිතයට පැමිණියේ වාසනාව හෝ ආශිර්වාදය රැගෙන නොවේ. 39 වියැති විවාහක මිනිසෙකු වූ ඔහු ටැබටාගේ ජීවිතයට පැමිණියේ ඇයගේ පියා ගේ හොඳම යහළුවෙකු වශයෙන් ද හෝ නොවේ. වැඩිහිටියෙකු වශයෙන්ද හෝ නොවේ. ඔහු තනිකරම බැටළු හම පොරවා ගත් වෘකයෙකුටත් අන්ත විය. ළමා වියේ පසුවෙන දියණියක තම තිරිසන් කාමාශාවන් සංසිදුවා ගැනීමට ලද සෑම අවස්ථාවකදීම මාන බැලූ අපචාරිකයෙක් ලෙස ඔහු ඔවුන් හමුවට ආවේය.

ෆැබ්රිකෝ බැලූ බැල්මට ප්‍රසන්න පුද්ගලයෙකු වූ අතර, දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණ තම කැමරා කාචයට හසුකරගන්නා ඔහු තුළ තමන් විසින් සිදුකළ සංචාර, ආකර්ශනීය මුහුදු වෙරළවල්, ගංගාවන් හා වෙනත් පියකරු ස්ථාන පිළිබඳ මතකයන් සහිත කතා ගොන්නක් ආරක්ෂා කරගෙන තිබුණි. චතුර කතා ශෛලියක් හිමි ඔහු තම කතාවෙන් අනෙකා බැඳ තබාගැනීමට තරම් දක්ෂ වූවේය. අහම්බයෙන් මෙන් ටැබටාගේ පියාගේ මිතුරෙකු වූ හෙතෙම ඔහු සමග පාපන්දු ක්‍රීඩා කිරීමට සැන්දෑ යාමයේදී හමුවීමට පුරුදු විය. ඔහුගේ භාර්යාව සමග පැමිණ ටැබටාගේ පවුලේ අය සමග ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට, විනෝද චාරිකා යාමට පුරුදු විය. මේ සියලු චාරිකා අතිශය උණුසුම් වූයේ ඔහු තුළ අන්‍යයන් වසඟයට පත්කිරීමට තිබූ හැකියාව හා කතා ගොන්න නිසාය.

“මාව අපචාරයට පත්කිරීමට ආරම්භ කරන්න ඔහුට වැඩි කාලයක් ගියේ නැහැ. ඔහු සෙමින් සෙමින් මාව ස්පර්ශ කරන්නට, මට විහිළු කරන්නට හා මාව හුරතල් කිරීමේ මුවාවෙන් ඔහුගේ අවයවවල තෙරපා ගන්නට උත්සාහ කළා. සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ මට කිසිදු වැටහීමක් තිබුණේ නැහැ. ඒත් ඔහු සිදුකරන්න උත්සාහ කරන දෙය නරක දෙයක් බවත්, එය මහා හිරිහැරයක් බවත් මට තේරුණා. ” යනුවෙන් ටැබටා පවසයි.

“අපි කැලයක කූඩාරම් ගසා සිටිය දවසක මගේ දෙමව්පියන් වතුර රැගෙන එන්න යැයි ඔහු සමග මා පිටත් කළා. ටික දුරක් ගිය ඔහු අපේ නඩයේ දර්ශනයෙන් මිදෙත්ම මාව අතපාත ගාන්නට හා මිරිකන්නට පටන්ගත්තා. මාව හුරතල් කරන මුවාවෙන් ඔහුගේ අවයව මාගේ ශරීරයේ අතුල්ලන්ට වුණා. එහෙත් මම කෙසේ හෝ ඔහුගෙන් පැන දුවන්නට සමත් වුණා. එහෙත් මම ඉක්මණින් පැමිණියේ ඇයිද යන්න මගේ දෙමව්පියන් ඇසුවේ නැහැ. සමහරවිට ඔහු සම්බන්ධව ඔවුන් තුළ පැවති විශ්වාසය නිසා එසේ වන්නට ඇති. ඔහු මම වැනි කුඩා දියණියක් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ කරනු ඇතැයි ඔවුන් කෙදිනකවත් හිතන්නේ නැතුව ඇති.”

තමන් මුහුණ පාන කරදරය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කළ යුතුයැයි ටැබටාගේ පුංචි හිතට අවස්ථා ගණනාවකදී සිතුණත් ඇය ඒ සිතුවිල්ල වෙනස් කරගත්තේ ඇයගේ පියාගේ හැසිරීම් රටාව පිළිබඳ මනා අවබෝධයක් පවතින බැවිනි. ඇයගේ පියා ඉක්මනින් කේන්ති ගන්නා සහ කේන්ති ගිය විට තමන් සිටින තැන පවා අමතක කර කළහ කරගන්නා ජාතියේ කෙනක් වන නිසා තමන් මේ සිදුවීම ඔහුට පැවසුවහොත් පියා අතින් ෆැබ්රිකෝ මැරුම් කෑ හැකි බවත් එසේ වුවහොත් පියාට බන්ධනාගාරගත වීමට සිදුවන බවත්, එසේ වුවහොත් තම පවුල විනාශ වී යන බවත් ටැබටාගේ පුංචි සිතට තේරුම් ගිය අතර, තමන් මුහුණ පාන අප්‍රසන්න අත්දැකීම අනාවරණය කිරීමට සිතන සෑම අවස්ථාවකදීම ඇය පසු බැස්සාය. මේ අවසරයෙන් වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ටැබටා අවස්ථා ගණනාවනකදීම අපයෝජනයට ලක්විය. ටැබටාගේ පවුලේ සියලු විස්තර ඔහු දන්නා අතර, ඇයගේ පියා සැන්දෑ යාමයේ පාපන්දු ක්‍රීඩාවට නිවසින් බැහැර වන බවත්, ඇයගේ මව රැකියාව කළේ සන්ධ්‍යා යාමයේ බවත්, ඇයගේ වැඩිමහල් සොයුරිය ගුරුවරියක් වීමට ඉගෙනගන්නා බවත් යනාදී සියල්ල ඔහු දැන සිටිය අතර ටැබටා පමණක් නිවසේ තනිවෙන වේලාවල් ඔහු හොඳින් දැන සිටියේය.

“තව චුට්ටක්, තව පොඩි වේලාවක්” යනුවෙන් පවසමින් ඇයව තමා වෙත කෙසේ හෝ නතුකරගැනීමට ඔහු උත්සාහ කළ ආකාරය පිළිකුලෙන් යුතුව සිහිපත් කරන ටැබටා පවසන්නේ කිසිම දිනෙක ඔහු ඇයට කම්මුල් පහරක් හෝ නොගැසුවත්, ඇයගේ අත් දෙක තදින්ම අල්ලාගෙන ඇය අනුමැතිය දක්වන තෙක් කරදර කළ බවයි. එහෙත් වයස 11 දී පමණ ඇය ශක්තිමත් ලෙස කෑගැසීමටත්, ඔහුව තල්ලු කර දැමීමටත්, ඔහුගෙන් පළා යාමටත් උත්සාහ කළාය. තම මව සමග මේ බව පැවසීමට ඇයට අවශ්‍ය වුවත් ඇය විවිධ රෝගාබාධවලින් පෙළෙමින් සිටි නිසා ඇයට තවත් කරදර එකතු නොකිරීමට ටැබටා ඉටාගත්තාය. වසර දෙකහමාරකින් පමණ පසුව එක් දිනෙක ගජ මිතුරන් දෙදෙනා එකිනෙකා සමග වෛර බැඳගත්තේ ටැබටාගේ පියා හා ෆැබ්රිකෝගේ භාර්යාව අතර පැවති අනියම් සම්බන්ධතාවය ෆැබ්රිකෝගේ අතටම අසුවීම නිසාය. මේ සිදුවීම ටැබටාට මහත් සැනසිල්ලක් වූ අතර ඇයගේ පරම හතුරාගෙන් මිඳීමට දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් වන් විය. ඉන්පසුව වසර ගණනාවක් පුරා මේ සිදුවීම් සියල්ල අමතක කිරීමට ටැබටා අසාර්ථක උත්සාහයක නිරත වූවාය. එහෙත් මතකය විටින් විට නිරන්තරව ඇයව දඩයම් කළ අතර ඒ මතකයේ වේදනාවෙන් හා පසුතැවිල්ලෙන්, තම ආත්මය පිළිබඳ අමිහිරි පරාජයෙන් ඇය නිරන්තරව පීඩා වින්දාය. දරාගත නොහැකිම තැනකදී ඇය තම පාසලේ මිතුරියක් සමග තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම බෙදාගැනීමට තීරණය කළාය. ටැබටාට වයස 16 දී පමණ ඇයගේ මිතුරිය විසින් ටැබටාගේ මව මේ පිළිබඳව දැනුවත් කර තිබුණ අතර, ඒ වන විටත් ටැබටාගේ දෙමව්පියන් විසින් ෆැබ්රිකෝ යනු ළමා අපචාරකයෙක් බව තේරුම්ගෙන තිබුණි.

“තිරිසන් ඡායාරූප ශිල්පියා තවත් ගැහැණු දරුවන් ගණනාවක්ම අපචාරයට ලක්කර ඇති බව මාගේ මව මා සමග පැවසුවාය. ඒ ඇසුනු පසු මට මා පිළිබඳව පිළිකුලක් මෙන්ම ඔහු පිළිබඳව වෛරයක්ද ඇතිවිය” යනුවෙන් ටැබටා පවසන්නීය. “ මම හිතාගෙන හිටියේ ඔහුට බිලිවුණ එකම වින්දිතයා මා පමණක් කියලා. ඒත් ඔහු මම වගේම අනෙක් ගැහැණු දරුවන්ගෙත් ජීවිතය විනාශ කරලා.”

අපචාරයට ලක්වී වසර හතක ඇවෑමෙන් ඇය පොලිස් අපරාධ කොට්ඨාශයට තමන්ට සිදුවූ අපචාරය සම්බන්ධව පැමිණිලි කරන්නීය. එහෙත් කිසිදු ආකාරයේ විභාගයක් ඒ සම්බන්ධයෙන් සිදුවන්නේ නැත. පැමිණිල්ල සිදුකර වසර හයකට පසුවත් එම පැමිණිල්ල අභිචෝදනා අංශයේම තිබුණි. ඒ වනවිට ටැබටා නීති උපාධිය අවසන් කර පොලිස් නිලධාරිනියක් වීමට පුහුණු වෙමින් සිටියාය. “මම පෞද්ගලිකවම ගොස් අභිචෝදනාගාරයේ ප්‍රධාන නිලධාරීවරයා හමුවුණා. ඔහුට මාගේ පැමිණිල්ල පැවසු පසු ඔහු මා සමග උරණ වුණා. මේක ගොඩාක් කල් ගියපු කේස් එකක්. කිසිදු සාක්ෂියක් මේ සම්බන්ධව නැහැ. ඔබ පැමිණිල්ල සිදුකරල තියෙන්නෙත් සිදුවීමෙන් ගොඩාක් කාලෙකට පස්සෙ” යනුවෙන් ඔහු පැවසූ බව ටැබටා පැවසුවාය.

ටැබටා සියලු බලාපොරොත්තු අත්හරිමින් සිටියදී නීතියේ රැහැණින් ගැලවී ජීවත්වීමට තරම් ෆැබ්රිකෝ වාසනාවන්ත විය. එහෙත් ටැබටාගේ පියා පැවසුවේ ෆැබ්රිකෝ අතින් අපචාරයට ලක්වූ අනෙක් තරුණියන්ද සොයාගෙන ඔවුන් සමග එක්ව නැවත පොලීසියේ පැමිණිල්ලක් සිදුකළ යුතු බවයි. ටැබටා යුහුසුළු වූවාය. තමන් හා සමානව අප්‍රියජනක අත්දැකීම් ඇති වින්දිතයින් සොයාගත් ඇය නැවත වතාවක් තම පැමිණිල්ල විවෘත කළාය. ෆැබ්රිකෝ පැවසුයේ ටැබටා තම පියාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවයි. ඔවුන් දෙදෙනා අතර ඇතිවූ පෞද්ගලික විරසකයෙන් පළිගැනීමට ටැබටාගේ පියා ඇයව යොදාගන්නා බවයි. එහෙත් නඩු තීන්දුවට අනුව ෆැබ්රිකෝට වසර හතහමාරක සිර දඞුවම් නියම විය. එහෙත් ඔහු අභියාචනා කළ නැවත සලකා බැලීමේ ලේඛනයට අනුව ඔහුට තවදුරටත් නිදහසේ සිටීමේ අවස්ථාව උදාවිය.

24 වියැති ටැබටා පොලිස් නිලධාරිනියක් වශයෙන් රැකියාව ආරම්භ කරන අතර තමන්ට සිදුවූ අමිහිරි ඛේදවාචකය මෙම රැකියාව තෝරාගැනීමට ඉවහල් වූ බව ඇය පවසයි. පොලිස් නිලධාරිනියක් වශයෙන් කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ හා අපචාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ඇය විශේෂයෙන් කුඩා දිරුවන්ට සිදුවන අපචාර ක්‍රියා සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනවල හා රාජකාරිවල නිරතවූවාය. එක්දිනෙක ඇයගේ නිමේෂය උදාවූවාය. 2016 වර්ෂයේ එක්දිනෙක ඇයට විශේෂ රාජකාරියක් වෙනුවෙන් කැඳවීමක් ලැබුණි. ඒ ෆැබ්රිකෝ ඔහුගේ අභියාචනය පරාජය වූ දිනයයි. ඔහු ගඟබඩ ගොවිපළක සැඟවී සිට අත් අඩංගුවට ගෙන තිබුණි. එහෙත් ඔහුව සිරමැදිරියට ගාල් කිරීමේ කාර්යය පැවරුණේ ටැබටාටය. ඇය ඉතා සතුටින් එය කළාය. කුඩා කාලයේදී ඔහු විසින් ඉතා තදින් අල්ලාගෙන සිටි ඇයගේ සියුමැලි අත් මේ වනවිට රළු බවින් හා ශක්තිමත් බවින් වැඩිවී තිබුණි. ඔහුගේ අත් දුබලව තිබුණි.

තමන්ට මුළු ජීවිත කාලය පුරාම ලිංගික ක්‍රියාවන් එපා කළ, ලිංගික කාර්යයන් අප්‍රියජනක හා පිළිකුල් සහගතභාවයට පත්කළ මිනිසා වැරෙන් සිර මැදිරියට තල්ලු කර දැමූ ඇය ජයග්‍රාහී හැඟීමෙන් යුතුව සිරමැදිරියෙන් පිටතට පැමිණියාය.

මෙම ආත්ම කථනයෙන් පසුව ඇය ලෝකයේ සිටින සියලුම දෙමව්පියන්ගෙන් දෙයක් ඉල්ලා සිටියි. ඒ ඔබගේ දරුවා සමග නිරන්තරව කතාකරන්න, ඔවුන්ට සවන් දෙන්න. ඔබ ඔවුන් සමග කතා කරනවිට, ඔබ ඔවුන්ට සවන් දෙනවිට ඔවුන් එදිනෙදා මුහුණ පාන සිදුවීම් ඔබ සමග පවසනු ඇත. යම් යම් සිදුවීම්වල මුල් අවස්ථාවේදීම ඔබ ඒවා දැනගන්නේ නම් යම් දිනයක පොරොවෙන් කැපීමට සිදුවන දේ නියපොත්තෙන් කැඩීමට ඔබට හැකිවනු ඇත. අපචාරයට ලක්වන්නේ වින්දිතයා හැඳ සිටින ඇඳුම නිසා නොවේ. හැසිරෙන ආකාරය නිසාද නොවේ. අපචාරයට ලක්වන්නේ මනුෂ්‍යත්වය නොදන්නා තම සීමාව ඉක්මවා යන මනස රෝගී වූ මිනිසෙකුගේ ක්‍රියාකලාපයක් නිසාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි