×

ෆේස්බුක් එකේ දැරියක් වෙන්දේසි කරලා!

පව්කාර පියා විසින් ෆේස්බුක් තුළ සිය දියණියගේ ජීවිතය වෙන්දේසි කර තිබෙන්නේ එළදෙනුන් 500 ක්, මෝටර් රථ 3ක් සහ ඩොලර් 10,000 කට ය!


තාක්ෂණය කොතරම් ම්ලේඡ්ච අන්දමින් යොදාගත හැකිද යන්නට ෆේස්බුක් වෙතින් නිරන්තරයෙන් උදාහරණ ලැබෙමින් තිබේ. පසුගිය දිනවල වාර්තා වූයේ, දකුණු දිග සුඩානයේ 16 හැවිරිදි දැරියක ළමා මනාලියක වශයෙන් වෙන්දේසි කර තිබෙන්නේ ෆේස්බුක් හරහා බවයි.

මෙම පෝස්ට් එක ගැන දැනගත් වහාම තමන් විසින් එය ඉවත් කිරීමට කටයුතු කළ බවත්, එය පෝස්ට් කළ පුද්ගලයාගේ ද ගිණුම අවලංගු කළ බවත් ෆේස්බුක් පවසයි. නමුත් ඒ, දවස් 15කට පසුව ය!

ඒ වන විට ෆේස්බුක් එකෙන් වෙන්දේසි වූ ළමා මනාලියගේ විවාහ උත්සවය ද පවත්වා අවසානය.

මේ දැරියට පිරිමින් 5 දෙනෙක් විසින් ලංසු තබා තිබේ. ප්ලෑන් ඉන්ටනැෂනල් (Plan International) සංවිධානය පවසන අන්දමට ඔවුන්ගෙන් සමහරෙක් දකුණු දිග සුඩාන රජයේ ඉහළ පෙළේ නිලතල හොබවන නිලධාරීන් ය.

වෙන්දේසියේ ප්‍රතිඵලය ලෙස දැරිය එළදෙනුන් 500 දෙනෙකුට, මෝටර් රථ 3කට සහ ඩොලර් 10,000 ක මුදලකට වෙන්දේසි වී තිබේ. එනම්, දැරිය විකිණීම වෙනුවෙන් මේ දේවල් ලබාගෙන තිබෙන්නේ ඇගේ පියා විසිනි.

මේ අනුව, සමාජ ජාලා හරහා සිය දියණියන් විකිණීම මගින් මෙවැනි සැප සම්පත් ලබාගැනීමට තමන්ටත් හැකි බවට සුඩාන සමාජය වෙත නින්දිත පණිවුඩයක් ලබාදෙයි. ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, ෆේස්බුක් ‘මොඩරේටර්වරුන්‘ මෙවැනි අන්තර්ගතයන් ඉවත් කිරීමට ප්‍රමාද වීම හෝ ඒවා හඳුනාගැනීමට ප්‍රමාද වීම මගින් අතිශය නින්දිත හා හිංසාකාරී පණිවුඩයක් සමාජ ගත වී ඇති බවයි.

ප්ලෑන් ඉන්ටනැෂනල් සංවිධානයේ දකුණු දිග සුඩාන අධ්‍යක්ෂ ජෝර්ජ් ඔටිම් මෙසේ කියයි. ‘‘මේ දැරිය ලෝකයේ ලොකුම සමාජ ජාලය තුළ විකුණා දමා ඇති ආකාරය විශ්වාස කරන්නටත් බැරි තරම්. තාක්ෂණය මේ අන්දමින් ම්ලේච්ඡ ආකාරයට යොදා ගැනීම නූතන යුගයේ වහල් වෙළඳාමකට සමානයි.“

මෙම වෙන්දේසිය ඔක්තෝබර් 25 වැනිදා ආරම්භ වී ඇති අතර, ෆේස්බුක් සමාගම විසින් එම පෝස්ට් එක ඉවත් කර තිබෙන්නේ නොවැම්බර් 9 වැනිදා ය.

තමන් ෆේස්බුක් හි මෙවැනි ආචාර ධර්ම උල්ලංඝනයන් පිළිබඳ නිතරම කැප වන බව ෆේස්බුක් සමාගම පවසයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ ලොව පුරා 30,000 ක පිරිසක් ‘කන්ටෙන්ට් මොඩරේටර්ස්ලා‘ වශයෙන් යොදවා ඇති බව ය. නමුත් මෙම ‘මොඩරේටින්‘ සඳහා යොදාගන්නා ක්‍රමවේදයන් සහ එම පුද්ගලයන්ගේ දැනුම ගැන ද විශාල කතිකාවක් මේ වනවිට ලෝකයේ නිර්මාණය වී තිබේ. පිලිපීනය වැනි රටවලින් විශාල කණ්ඩායම් මේ සඳහා යොදවා ගෙන ඇත. මේ අතරින් බොහෝ මොඩරේටර්වරුන් තමන්ගේ පුද්ගලික දැනුම හා ආකල්ප මත පෝස්ට් ඉවත් කිරීමේ යෙදී සිටින බවට ද වාර්තා තිබේ. උදාහරණයක් වශයෙන්, පුලිට්සර් සම්මානලාභී ලෝක ප්‍රකට ඡායාරූප ගණනාවක්ම මේ වන විට ෆේස්බුක් විසින් වාරණයට ලක් කර තිබෙන්නේ ඒවා ‘සංවේදී‘ යනාදී හේතු දක්වමිනි. කෙසේ නමුත් ඒ සියල්ල අතර, දැරියක් වෙන්දේසි කිරීම වැනි අතිශය බරපතළ, මානව හිමිකම් උල්ලංඝනය කරන ක්‍රියාවක් ඔවුන්ගේ ඇස නොගැටීම පුදුම සහගත ය. ඒවා ‘සංවේදී‘ ගැටළු ලෙස හඳුනා නොගැනීම ම පුදුම සහගත ය.

මූලාශ්‍රය – CNN- Child bride auctioned on Facebook in ‘barbaric use of technology’



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි