×

පාස්පෝට් 7 ක් පාවිච්චි කළ Huawei ප්‍රධානියා නිදහස් කරන්නැයි චීනයෙන් තර්ජන – යුක්තිය සහ ශක්තිය අතර කඹ ඇදිල්ල 

කැනඩාවේදී අත්අඩංගුවට පත් වී ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ Huawei සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය නොහොත් එම බිලියනපති සමාගමේ හිමිකරුගේ දියණිය ලෝකය වටා කරක් ගසා තිබෙන්නේ ගතවූ වසර 11 ක කාලය තුළ පාස්පෝට් 7 ක් පාවිච්චි කරමිනි!


 එම ගුවන් ගමන් බලපත්‍ර චීනයෙන් සහ හොංකොං වෙතින් මාරුවෙන් මාරුවට නිකුත් කරන ලද ඒවා ය.

ඇමරිකාවේ ඉල්ලීම පිට කැනඩාව විසින් 46 හැවිරිදි ඇයව අත්අඩංගුවට ගෙන තිබුණේ දෙසැම්බර් 1 වැනිදා වැන්කුවර් නගරයේදී ගුවන් යානාව මාරු කරමින් සිටියදී ය.

මේ වන විට මෙන්ග් වැන්ෂු (Meng Wanzhou) වංචා චෝදනා මත ඇමරිකාවට උදර්පණය කිරීමට නීතිමය කටයුතු ලැහැස්ති වෙමින් තිබේ.

එක් චෝදනාවකට වසර 30 ක් බැගින්!

ඇයට එරෙහිව තිබෙන චෝදනාව වන්නේ ඇගේ සමාගමේ තිබෙන සම්බන්ධතා හරහා ඇය හුආවෙයි උපාංග, ඇමරිකානු සම්බාධක නොතකා ඉරානයට අලෙවි කිරීමට තැත්කිරීමයි. ලෝකය වටේ නිරන්තරව යන ඇය, හොංකොං හි ස්කයිකොම් නමැති සමාගම හරහා ඉරාන වෙළඳපොළ සමග සම්බන්ධ වී ඇත. මේ අනුව මූල්‍ය ආයතන ගණනාවකට ඇගේ වංචනික ක්‍රියාව බලපා ඇති බව කැනඩා අධිකරණය ඊයේ සඳහන් කළේය. ඇය මේ චෝදනා ලබා සිටින්නේ 2009 සිට 2014 අතර කාලය තුළ සිදුකළ මූල්‍ය වංචාවන් සඳහා ය. මෙම චෝදනා ඔප්පු වුවහොත් ඇමරිකාවේදී ඇයට එක් චෝදනාවකට වසර 30 ක් බැගින් සිර දඬුවම් නියම වනු ඇත!

පැය 6කට අධික කාලයක් පැවැත්වූ නඩු විභාගය ඊයේ දිනයේ තීන්දුවකින් තොරව අවසන් වූයේ හෙට (10) දිනයට නඩුව කල් තබමිනි. ඇයට ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප වී තිබේ.

චීනයේ තර්ජනය

මේ අතර මෙහි අලුත්ම ජවනිකාව බවට පත් වී තිබෙන්නේ ඇයව නිදහස් කරන ලෙසට චීනය විසින් කැනඩාවට තර්ජනය කිරීමයි. බීජිං හි සිටින කැනඩා තානාපතිවරයා ට ඔවුන් පවසා තිබෙන්නේ ඇයව නිදහස් නොකරන්නේ නම් කැනඩා තානාපති ජෝන් මැකලම් හට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ය. ඇයව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව ද, එය අතිශයින්ම නිර්දය (“extremely nasty”) බව ද ඔවුන් කියා තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුණේ මේ වන විට එකිනෙකාගේ භාණ්ඩවලට බිලියන ගණන් බදු ගසමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජින් පින්, ආර්ජන්ටිනාවේදී වෙළඳ යුද්ධය සමනය කර ගන්නා ක්‍රම ගැන කතා බස් කරන්නට හමුවූ දිනයේදී ම ය.

චීනය සහ ඇමරිකාව ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක ය. එනිසා මේ සිදුවීම ගැන මේ වන විට ලෝකය මහත් විමසිල්ලෙන් බලා සිටියි. මෙන්ග් ව අත්අඩංගුවට ගත් විට චීනය තුළ යුරෝපා වෙළඳපොළ කඩා වැටුණේය. පැහැදිලිවම චීනයට ඇය අවශ්‍ය ය. ඇය වනාහී, ලොව පුරා අණසක පතුරුවාගෙන සිටින චීන වාණිජ ආධිපත්‍යෙය් වැදගත් කොටස්කාරියකි.

Huawei සමාගමේ නරක දසාව

මේ වන විට ඇපල් සමාගම ද ඉක්මවා යමින් ලොව දෙවැනියට විශාලම ලාභය ලබන සමාගම බවට පත්වී සිටින හුආවෙයි වෙත, පසුගිය කාලයේ ලබා තිබුණේ නරක දසාවකි. ඔවුන්ගේ උපාංග සහ ජංගම දුරකථන ජාල හරහා ඔත්තු බැලීමේ කටයුත්ත සරුවටම සිදුකෙරෙන බව බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් ද නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ද සාක්ෂි ඇතිව තහවුරු කර ගන්නට සමත් වූහ. නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව හුආවෙයි ජංගම දුරකථන ඇතුළු සියලු උපාංග සිය රට තුළ තහනම් කළේය. මහා බ්‍රිතාන්‍යෙය් නවතම 5 G දුරකථන ජාලය සකස්කිරීම භාරදී තිබුණේ ද හුආවෙයි සමාගමට ය. නමුත් වහාම එය අවලංගු කරන ලදී.

චීනය නමැති බූවල්ලා

චීනයේ ව්‍යාප්තවාදය දකුණු ආසියාව ද, ලංකාව ද ඇතුළුව මුළු ලෝකය පුරාම බූවල්ලෙකු සේ විහිදෙමින් තිබේ. ලංකාව තුළ චීනයේ අතපෙවීම සහ ව්‍යාප්තවාදය ගැන ඕනෑවටත් වඩා තොරතුරු පසුගිය කාලය පුරාම යහමින් හෙළිවිය. ඔවුහු තමන්ට ක්‍රමෝපායික වශයෙන් වැදගත් නාවික හෝ වෙනත් සන්ධිස්ථානවල භූගෝලීය වශයෙන් පිහිටා ඇති රටවලට මහත් සේ ළං වෙති. කිසිසේත්ම අවශ්‍ය නොවූ හම්බන්තොට වරායක් ලංකාවට ‘අතහැරිය‘ ආකාරය මෙයට හොඳම නිදසුනකි. ලෝකයේ පාළුම ගුවන් තොටුපොළ යැයි ලැජ්ජාභරිත අවමානයකට පත් වූ මත්තල ගුවන් තොටුපොළ තවත් උදාහරණයකි. එවැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ඔවුහු චීන බැංකු හරහාම ණය දෙති. තෝරාගත් දේශපාලකයන්ගේ ඡන්ද සඳහා පවා වියදම් කරති. ඉල්ලන ඕනෑම කොමිස් මුදලක් ලබාදෙති. අත යටින් ගිවිසුම් ගසති. අවසානයේ ගෙවන්නට බැරි ණයකට ඒ රටවල් හසු කරති. අනතුරුව වසර සිය ගණනකට ඒ රටේ දේපළ සින්නකර ගනිති.

නූතන ජෙංගීෂ් ඛාන්

එදා මොන්ගෝලියානු අධිරාජ්‍ය ජෙංගීෂ් ඛාන් ලෝකයෙන් බාගයක් යටත් කරගත්තේ යම් සේද, චීනය අද එයම වෙනත් ආකාරයකින් කරමින් සිටියි. ණය දීම, ණය කිරීම මෙන්ම අධි තාක්ෂණික මෙහෙයුම් සහ  බුද්ධි අංශ මෙහෙයුම් ඔවුන්ගේ න්‍යායපත්‍රයේ ඇත. ඒ අතින් ඔවුන් රුසියාවට කොහෙත්ම දෙවැනි නැත. ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිය ඇතැම් චීනුන් විසින්, චීන ජනපති ෂී ජින් පින් වහඳුන්වන්නේ නූතන ජෙංගීෂ් ඛාන් යන විරුදාවලියෙනි!

මානව හිමිකම් මතක් වෙලා!

මේ අතර, හුආවෙයි හි ප්‍රධාන මූල්‍ය විධායකවරිය අත්අඩංගුවට ගැනීමත් සමග චීනය ලෝකයට ලබාදුන් උත්ප්‍රාසය වූයේ, ඔවුන්ට මානව හිමිකම් සිහිපත් වීමයි. ඇයව අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝනයක් බව චීනය එක හඬින් කියයි. එවිට ඇම්නේස්ටි ඉන්ටනැෂනල් වැනි මානව හිමිකම් සංවිධාන ඔවුන්ගෙන් අසන පැනය වන්නේ, චීනයට මානව හිමිකම් ගැන කතා කරන්නට ඇති අයිතිය කුමක්ද යන්නයි. සාධාරණත්වය පතන්නා පැමිණිය යුත්තේ පිරිසිදු දෑතිනි. චීනයේ මානව හිමිකම් ගැන, විසම්මුතිය නිසා නිවාස අඩස්සියේම මිය ගිය මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් හෝ ලියු සියාබෝගෙන් අසන්න…!

මානව හිමිකම් ගැන කතා කරන්නේ නම් චීනය කළ යුත්තේ පළමුව සිය රට තුළ ඩිමොක්‍රසි (ප්‍රජාතන්ත්‍රවාදය) ස්ථාපිත කිරීමයි. නමුත් සිය රටටත් ලෝකයටත් ඔවුන් ඩිමොක්‍රසි වෙනුවට ලබාදෙන්නේ ‘චයිනොක්‍රසි‘ ය. එය ඔවුන්ගේ අලුත් සොයාගැනීමකි!

හුආවෙයි හි හිමිකරුගේ දියණිය සම්බන්ධ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේදැයි මුළු ලෝකයම බලා සිටින්නේ මෙවැනි පසුබිමක් තුළ ය. යම් හෙයකින් මේ නඩුවේදී පැමිණිල්ල පසුබා- විත්තිය ජයගතහොත්, එය, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තුළ පවා චීන ආධිපත්‍යය කොතරම් දුරකට ඔඩු දුවා තිබෙන්නේදැයි පෙන්වා දෙන සාක්ෂියක් වනු ඇත.

අවසානයේ ජය ගන්නේ යුක්තිය ද, ශක්තියද?

චීන ක්‍රමයට අනුව නම් ජයගත යුත්තේ යුක්තිය නොව ශක්තියයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි