×

ටුටන්කාමන්ගේ හිස සහ, බ්‍රිතාන්‍යයේ පුරාවස්තු මංකොල්ලය

ඊජිප්තුවෙන් හොර රහසේ පිටමං කළ ටුටන්කාමන් රජුගේ උඩුකය ප්‍රතිමාවක් පවුම් මිලියන ගණනකට වෙන්දේසි කිරීමත් සමග, අධිරාජ්‍යවාදීන්ගේ පුරාවස්තු මංකොල්ලය ගැන කතිකාව නැවත කරළියට පැමිණ තිබේ.


ලන්ඩනයේ ක්‍රිස්ටීස් වෙන්දේසි සමාගමේ වීදුරු කූඩුවක් තුළ මෙතෙක් කල් තිබූ, අවුරුදු 3000 කට වඩා පැරණි ටුටන්කාමන්/තුතන්කාමන් උඩුකය ප්‍රතිමාවක් පවුම් මිලියන 4.7කට වෙන්දේසි වුණේය.

ඒ, ලන්ඩනයේ රැස් වූ ඊජිප්තු ජාතිකයන් ‘‘මිසර ඉතිහාසය වෙන්දේසි කිරීම සඳහා නොවේ‘ යනුවෙන් උද්ඝෝෂණවල නිරත වෙන අතරවාරයේ ය.

‘‘අපි අපේ ඉතිහාසය එළවළු පළතුරු වගේ විකුණල දානවට කැමති නෑ‘ යනුවෙන් ක්‍රිස්ටීස් වෙන්දේසි සමාගට පිටතින් උද්ඝෝෂණයේ යෙදී සිටි ඊජිප්තු ජාතිකයෙකු විසිනි.

එය මිලදී ගෙන තිබෙන්නේ නිර්නාමික ගැනුම්කරුවෙකු විසිනි.

ක්‍රිස්ටීස් වෙන්දේසිගාරය විසින් වසර ගණනකින් සිදුකළ මතභේදාත්මකම වෙන්දේසිය ලෙස මෙය සැලකේ.

කවුද මේ ටුටන්කාමන්?

Shutterstock
Shutterstock

‍18 වන පාරාවෝ රජ පෙළපතට පුරාණ මිසරය හෙවත් නූතන ඊජිප්තුව අයත් වු යුගය හැඳින්වූයේ ‘නව රාජධානි සමය‘ (නිව් කිංඩම්) යනුවෙනි. ටුටන්කාමන්, ඒ යුගයේ පහළ වූ පාරාවෝ ළමා රජු ය. කිරීටය හිස දරන විට ඔහුගේ වයස 9 ක් වූ අතර, එයින් අවුරුදු 10 කට පසු, එනම් වයස අවුරුදු 19 දී ඔහු මියගියේ අබිරහස් ලෙස ය.

ළමා වියේදීම රජකමට පත්වූ නිසා ටුටන්කාමන් හැඳින්වූයේ ‘බෝයි කිං‘ හෙවත් ළමා රජු ලෙස ය. King Tut යන කෙටි නමින් ද ඔහු ව හැඳින්වේ. ඔහු රජ සිරිත ප්‍රකාරව තමන්ගේම ඥාති සොයුරියක සමග විවාපත් ව සිටි බව ද කියැවේ.

හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායම ටුටන්කාමන්ගේ සොහොන් ගැබ විවෘත කළ අවස්ථාව
Harry Burton – The New York Times photo archive, via their online store

1922 වසරේදී හොවාඩ් කාටර් Howard Carter  විසින් ටුටන්කාමන්ගේ සොහොන් ගැබ සොයාගැනීම ලෝක පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ සහ ඊජිප්තු ඉතිහාසය පිළිබඳ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම පුරාවිද්‍යාත්මක ගවේෂණයට අරමුදල් සැපයීම සිදු කළේ කානවන් සාමිවරයා විසිනි. ගවේෂණ කණ්ඩායමේ සියලුම අය, මෙම සොයාගැනීමෙන් වසර කිහිපයක් ඇතුළත මරණයට පත්වූහ. ළමා මිසර රජුගේ නින්දට බාධා කිරීමේ ශාපය ඔවුන් පසුපස ලුහුබැඳි බවට මතයක් තිබේ.

මෙම සොහොන් ගැබ නිරාවරණය වූයේ පුරාණ පාරාවෝ මිසර රජුන් රජ පෙළපෙත් මිය ගිය සාමාජිකයන්ගේ ශරීර මිහිදන් කළ ආකාරය, මතු ආත්ම ගැන ඔවුන් තුළ පැවති විශ්වාසයන් පිළිබඳ දැවැන්ත අනාවරණයක් සමග ය. පුරාණ මිසර විශ්වාසය වුයේ මරණින් මතු පාරාවෝ රජුන් දෙවිවරුන් බවට පත්වන බව ය. ටුටන්කාමන් රජු ආමෙන් දෙවියන්ගේ පුනරාවතාරය ලෙසට ඒ අනුව සැලකිණි.

ටුටන්කාමන් රජුගේ යැයි සැලකෙන මෙම උඩුකය ප්‍රතිමාව හමුවූයේ ඔහුගේ සොහොන් ගැබෙනි.

අති දැවැන්ත වටිනාකමකින් යුක්ත පුරාවිද්‍යාත්මක වස්තු සම්භාරයක් ද ටුටන්කාමන්ගේ සොහොන් ගැබින් හමුවිය. ඒවායින් ඇතැමක් සොරුන් විසින් පැහැර ගන්නට ඇති බවත්, තවත් ඒවා හොර රහසේ රටින් පිට කර ඇති බවත් සැලකේ.

ක්‍රිස්ටීස් සමාගම විසින් වෙන්දේසි කරන ලද ටුටන්කාමන්ගේ හිසේ අනුරුව ද සැලකෙන්නේ ඊජිප්තුවෙන් නීති විරෝධී ලෙස පිටමං කළ වස්තුවක් ලෙස ය. ක්‍රිස්ටීස් සමාගම, එම පුරාවිද්‍යාත්මක වස්තුව තමන් සතුවූයේ කෙසේදැයි කිසිදු ලේඛනගත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අසමත් වූ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

බ්‍රිතාන්‍යය අන් රටවල පුරාවිද්‍යාත්මක උරුමයන් මංකොල්ල කෑවාද?

ඊජිප්තුව දිගු කලෙක පටන්, බ්‍රිතාන්‍යයේ තිබෙන සිය රටට අයත් පුරාවිද්‍යා වස්තූන් නැවත ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් සිටියි.

  • බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන, මිසරයේ මෙම්ෆීස් රජුගේ ආඥාවන් කොටා ඇති රොසෙටා පාෂාණය (රොසෙටා ස්ටෝන්) එයට එක් උදාහරණයකි.
  • මේ අතර ග්‍රීසිය ද එසේ ය. ග්‍රීසිය සිය රටට අයත් පාතීනියන් ප්‍රතිමා ලබාදෙන ලෙසද, නයිජීරියාව බෙනින් ලෝකඩ ප්‍රතිමා ලබාදෙන ලෙසද, 
  • ඉතියෝපියාව මග්දාලා නිධානය ලබාදෙන ලෙස ද ඉල්ලීම් කරයි.
  • පුරාණ ලංකාවේ පුරාවිද්‍යාත්මක කෞතුක භාණ්ඩ ගණනාවක් ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරවල තිබේ. තාරා දෙවඟනගේ ප්‍රතිමාව එයට හොඳම උදාහරණයයි.

බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක සිරවූ ලංකාවේ තාරා දෙවඟන

Material: Gilded Bronze
Size: 143 cm high
Created: 7th-8th century AD
Present location: British MuseumLondon
Identification: 1830,0612.4

ක්‍රිස්තු වර්ෂ 7-8 සියවස්වලට අයත් තාරා දෙවඟනගේ ප්‍රතිමාව කන්ද උඩරට අවසන් රජු වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාරයේ තිබී බ්‍රිතාන්‍යයන් විසින් ගෙන ගියේ කන්ද උඩරට අල්ලාගත් 19 වන සියවසේ මුල් භාගයේදී ය. එවකට ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් විසින් 1830 වසරේදී එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට භාර දී ඇති අතර, එතැන් පටන් එය ලංකාවට අයිති නැත. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි