×

ලොව දුප්පත් රටවල ජනගහනයෙන් 10%ක් එන්නත්කරණය සම්පූර්ණ කරන තෙක් බූස්ටරය එපා! – WHO

ලෝකයේ දුප්පත් රටවල ජනගහනයෙන් 10%ක්වත් අවම වශයෙන් වැක්සින්කරණයට ලක් කරන තෙක්, ධනවත් රටවල් බූස්ටරයක් ලබාදීම නතර කළ යුතු බව WHO ප්‍රධානියා පවසයි.


ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රොස් අද්හනම් ගේබ්‍රියේසිස් පැවසුවේ දුප්පත් රටවල් එන්නත්කරණය අතින් පසුගාමී තැනක පසුවීමේ ගැටළුවක් මතු ව ඇති බවයි.

‘බූස්ටරය‘ක් ලෙස හඳුන්වන්නේ, කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසුවත්, එය ප්‍රමාණවත් නොවේ යැයි හැඟේ නම් ලබාදෙන 3 වන එන්නත් මාත්‍රාවයි.

මේ වන විට ඊශ්‍රායලය සහ ජර්මනිය මෙම බූස්ටරය ලබාදීම ආරම්භ කර ඇත. එහිදී ඊශ්‍රායලය වයස අවුරුදු 60 ට වැඩි අයට බූස්ටරය දීමට තීරණය කර ඇති අතර, ජර්මනිය ඒ සඳහා යොදා ගන්නේ ෆයිසර් සහ මොඩර්නා ය. එක්සත් රාජධානිය ද සැප්තැම්බර් මාසයේ සිට බූස්ටරයක් ලබාදීමට අදහස් කරයි.

ධනවත් රටවල මෙම ක්‍රියාව නිසා එන්නත් හිඟයක් ඇති වීමට ද ඉඩකඩ තිබෙන බව කියැවේ.

අඩු ආදායම් ලාභී රටවල් එන්නත් සැපයුමේ අඩුකම නිසා, මේ වන විට සමත් වී තිබෙන්නේ ජනගහනයෙන් සෑම 100 දෙනෙකුට මාත්‍රා 1.5 ක් වැනි අඩු අගයක් ලබාදීමට බව ද ටෙඩ්‍රොස් පෙන්වා දේ.

‘‘ඩෙල්ටා ප්‍ර භේදයෙන් සිය රටවැසියන් ආරක්ෂා කර ගැනීමට ඇති අවශ්‍යතාවය මට වැටහෙනවා. නමුත් ගෝලීය වැක්සින් සැපයුමෙන් වැඩි කොටස දැනටමත් පරිභෝජනය කර ඇති රටවල් තවදුරටත් එසේ කිරීම පිළිගත නොහැකියි‘‘ යනුවෙන් ඔහු පවසයි.

මේ අනුව අඩු ආදායම්ලාභී සහ ඉහළ ආදායම් ලාභී රටවල අතර එන්නත්කරණ පරතරය අවම කිරීම අවශ්‍ය වේ.

මේ සඳහා අවම වශයෙන් ලබන මාසය වන විට අඩු ආදායම්ලාභී රටවල් සිය ජනගහනයෙන් 10%ක්වත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කළ යුතුය. එනම් මාත්‍රා දෙකම ලබාදිය යුතුය.

මේ වන විට හයිටි සහ කොංගෝ ජනරජය වැනි රටවල කිසිම අයෙකු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නැත.

ඒ අනුව බූස්ටරය ලබාදීමේ ක්‍රියාවලිය අවම වශයෙන් සැප්තැම්බර් මාසය දක්වා පමා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියි.

ප්‍රධාන ඡායාරූපය – REUTERS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි