අද ස්පාඤ්ඤය නම් භූමි භාගයේ පිකාසෝට පෙර ජීවත් ආදි නියන්ඩතාල්වරුන් ඔවුන්ටම ආවේනික වූ නිර්මාණශීලීත්වයකින් යුක්ත වුණා. ඔවුන් වර්ණ මිශ්‍ර කිරීමට ත්, මුහුදුබෙලි කටුවලින් පබලු තැනීමටත්, ගුහා බිත්ති මත සිතුවම් නිර්මාණය කිරීමටත් සමත් වුණා.
අදින් වසර 65000 ක් තරම් පැරණි බවට දිනනීර්ණය කර ඇති ගිරි සිත්තම් සහ මුහුදුබෙලි පබලු, නියන්ඩතාලයන් විසූ කාල පරිච්ඡේදයට දිනනීර්ණය කර ඇති පළමු කලා නිර්මාණ වන අතර එම සිතුවම් මෙතෙක් හමුවී ඇති පැරණිම ගිරිසිත්තම් ද වෙයි. මේ පිළිබඳ කළ නව අධ්‍යයන දෙකක් Science and Science Advances සගරාවේ පෙබරවාරී මාසයේ පළ වූ අතර පර්යේෂකයන් විසින් දක්වන්නේ මෙම කලා නිර්මාණ හෝමෝ සේපියන් මානවයින් යුරෝපයට පැමිණිමට පෙර කළ නිර්මාණ වන බවත්, ඒවා හොමෝ සේපියන් ගණයට අයත් නොවන වෙනත් මානවයෙකු විසින් කරන ලද නිර්මාණ වන බවත් ය.
පර්යේෂකයින් විසින් ස්පාඤ්ඤයේ විසිර පවතින ගුහා තුනකින් වසර 65000 කටත් වඩා පැරනි ගිරිසිත්තම් විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී. එමනේ ම අග්නිදිග ස්පාඤ්ඤයේ At Cueva de los Aviones නම් ගුහාවෙන්, අවම තරමින් වසර 1,15,000 ක්වත් පැරණි සිදුරු කරන ලද මුහුදුබෙලිකටු, පබලු සහ වර්ණක සොයා ගැනීමට ද හැකිවිය.
Aviones ගුහාවෙන් හමුවූ සාධක, ලොව මෙතෙක් පුද්ගල අලංකරණය සඳහා භාවිත එවැනි ආකාරයේ පැරණිම ඒවා වන බව මෙම පරයේෂණ පත්‍රිකාවේ සම කර්තෘ වරයෙකු වන බාර්සිලෝනා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයෙකු ද වන João Zilhão සඳහන් කරයි. එමෙන්ම අප්‍රිකානා මහද්වීපයෙන් මෙම සිතුවම් හා ආසන්න වශයෙන් සමාන වන වෙනත් පුරාවිද්‍යාත්මක සාධක හා සංසන්දනය කිරීමේදී, ඒවා වසර විසි දහසක සිට හතලිස් දහසක් දක්වා පැරණි වන බවත්, ඒ අනුව ඒවා සකස් කර ඇත්තේ නියන්ඩතාල්වරුන් වන බවත් වැඩිදුරටත් පැහැදිලි වෙයි’.
පර්යේෂකයන් සඳහන් කරන්නේ ජනප්‍රිය සංස්කෘතිය තුළ අනුවණයන් සේ සැලකුවද නියන්ඩතාලයන් යනු හොමෝ සේපියන් මානවයින් හා සමාන බුද්ධියක් සතු කාණ්ඩයක් බවයි. ඔවුන්ගේ ප්‍රතිඵල මඟින් ඉඟිකරන්නේ සංකේතීය කලාවේ මූලාරම්භය, වසර ලක්ෂ පහකට පමණ පෙර සිටි, හොමෝ සේපියන් මානවයින්ගේ සහ නියන්ඩතාලයන්ගේ පුර්වජයෙකුගෙන් ආරම්භ වන්නට ඇති බව යි.
විස්කොන්සින්- මැඩිසන් විශ්වවිද්‍යාලයේ පුරා-මානවවිද්‍යාඥයෙකු වන ජෝන් හෝකස් විසින් දක්වන්නේ නියන්ඩතාලයන් සංස්කෘතික වශයෙන් දියුණු වූ කොටසක් වන අතර නූතන මානවයින් විසින් ද එම සංස්කෘතික ලක්ෂණ අවශෝෂණය කරගන්නට ඇති බවයි. එහෙයින් පෙර හඳුනගෙන සිටියාක් මෙන් ඔවුන් තවදුරටත් මුග්ධ තිරිසනුන් නොව මානව ගතිලක්ෂණ වලින් යුත් කොටසක් වශයෙන් පිළිගත යුතු බව අවධාරණය කරයි.
ඔවුන් තවදුරටත් කුදුවී ගමන් කරන්නේ නැත.
1856 වර්ෂයේ දී ජර්මනියේ නියැන්ඩර් නිම්නයේ වැඩ කළ හුණුගල් පතල් කම්කරුවන්ට බැලූ බැල්මට දිරාගිය මිනිස් අස්ථි කොටස් යැයි පෙනෙන අස්ථි කොටස් කිහිපයක් හමුවිය. එම යුගයේ සිටි විද්‍යාඥයින් විසින් විශාල ඇහිබැම හා පපුකුහරයක් සහිත ඇටසැකිල්ල සලකා බලා ඒවා අතීතයේ සිටි වඳවී ගිය මානව වර්ගයකට අයත් අවශේෂ බව තහවුරු කරන ලදී. ඔවුන් සොයාගත්තේ නියැන්ඩර් නිම්නයෙන් නිසා ‘හොමෝ නියන්ඩතාලෙන්සිස්’ යන විද්‍යාත්මක නාමය පටබැඳිනි.
එම කාලයේ දී නියන්ඩතාලයන් සැලකුවේ බුද්ධිමය හැකියාවකටත් වඩා ශරීර ශක්‍යතාවක් ඇති කොටසක් වශයෙනි. එක් විද්‍යාඥයෙක් ඔවුන් සඳහා Homo stupidus එනම් මුග්ධ මානවයා යන නාමය යෙදිය යුතු බව යෝජනා කළේය. එහෙත් 1950 දශකයේ පටන් පර්යේෂකයන් විසින් මෙම වකුටු වී බකල් ගසමින් ඇවිදින නියන්ඩතාල් මානව චිත්‍රය ප්‍රතික්ෂේප කරමින් සිටී. නියන්ඩතාලයන් ඔවුන්ගේ මළවුන් භූමිදානය කළ අතර ඒ සඳහා ආචාර සමාචාරද පවත්වා ඇත. ඔවුහු ශිලා මෙවලම් තනා ඇති අතර ඖෂධීය ගුණයක් සහිත පැළෑටී තෝරාබේරාගෙන ගැනීමට තරම් දියුණු බුද්ධියකින් ද යුක්ත විය.
ජානමය සාක්ෂි වලින්ද පෙන්නුම් කරන්නේ නියන්ඩතාලයන් සහ නූතන මානවයින් අතර අන්තරාභිජනනය සිදුවූ බවයි. නූතන යුරෝපියානු සහ ආසියානු DNA සාක්ෂි වලින් සියයට දෙකක් නියන්ඩතාලයන්ට අයත් ඒවාය.
නියන්ඩතාලයන්ට සංකේතීය කලා නිර්මාණ කළ හැකි බව පිළිගැනීමට අතැම් පර්යේෂකයන් මැලිකමක් දැක්වූහ. එම කාලය තුළ සොයාගත් සාධක පදනම් කරගෙන හෝමෝ සේපියන් මානවයින් යුරෝපා මහද්වීපය වෙත ළඟාවූ අදින් වසර 40000 ක සිට 50000 දක්වා කාලය වනතුරු යුරෝපියානු කලාවක් බිහිනොවූයේ ය යන්න ඔවුන්ගේ මතය විය.
එහෙත් පසුව කළ පර්ය්ෂණ වලින් මෙම ප්‍රාග්ඓතිහාසික ආඛ්‍යානය වඩාත් සංකීර්ණ කළේය. විද්‍යාඥයින් පිරිසකට අදින් වසර 43,000 කට පෙර නියන්ඩතාලයන් විසින් නිර්මාණය කළ ආභරණ සොයා ගැනීමට හැකිවිය. එමෙන්ම තවත් ගුහාවක තිබුණු ගිරිසිත්තම් සමඟ නියන්ඩතාලයන් විසූ කාලයට අයත් අඟරු කොටස් හමුවිය. එහෙත් මෙම ස්ථාන කිසිවක් හොමෝ සේපියන් පැමිණීමට පෙර කාලයකට සාර්ථකව දිනනීර්ණය කර ගැනීමට නොහැකි විය. එහෙයින් ඔවුන් අලුත පැමිණි වඩා දියුණු සංස්කෘතික් සහිත නව අසල්වැසියන් අනුකරණය කරන්නට ඇතිය යන අදහස සමාජගත විය .
ඔබ පුරාවිද්‍යාඥයින් සියදෙනෙකුගෙන් ‘නියන්ඩතාලයන් ගුහාවල සිතුවම් ඇදි බව ඔබ විශ්වාස කරනවාද ?’ යනුවෙන් විමසුවහොත් අනූ දෙනෙක්ම ‘නැත’ යන පිළිතුර ලබාදීමට ඉඩ ඇති බව මෙම පර්යේෂණ පත්‍රිකාවේ තවත් ප්‍රධාන කර්තෘ වරයෙකු වන සදම්ටන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ ඇලිස්ටෙයාර් පයික් සඳහන් කරයි.
එය මූලද්‍රව්‍ය පිළිබඳ දෙයකි
නියන්ඩතාලයන් දක්ෂ සිත්තරුන් බව සනාථ කිරීම සඳහා පර්යේෂකයන්ට අදින් වසර 50000 කට පෙර යුරෝපය තුළ ඇඳි සිතුවම් සොයාගත යුතුව තිබිණි. පයික් සහ සිහාලෝ 2003 වර්සයේ සිට මෙය සිදුකරන්නේ කෙසේ ද? යන්න පිලිබඳ සිතමින් සිටියහ. වාසනාවකට මෙන් ඔවුන්ට ඛනිජද්‍රව්‍ය දිනනීර්ණය කිරීමට විශේෂඥතාවක් ඇති පරිණාමීය මානාව විද්‍යාව පිළිබඳ වූ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ පරයේෂකයකු වන ඩර්ක් හොෆ්මාන් මුණ ගැසිණි.
හොෆ්මාන්ගේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ ‘යුරේනියම් මූලද්‍රව්‍ය ද්‍රාව්‍ය වුවද තෝරියම් එසේ නොවේ යන උපන්‍යාසය මත පිහිටා කරනු ලබන අධ්‍යන මතය. ගුහාවක් වෙත කාන්දුවන පාංශු ජලය තුළ ඇති ජලජ යුරේනියම් ඛනිජ කබොල්ල මත සිරවෙයි. පසුව එය යම් අනුමාන කළ හැකි කාලයකින් තෝරියම් බවට විකිරණශීලී ක්ෂයවීමකට ලක්වෙයි.
එම කබොල්ල මතට අන් අයුරකින් තෝරියම් නොපැමිණි බව තහවුරු කගතහොත් විද්‍යාඥයින්ට එම ඛණිජ වල පවතින සාපේක්ෂ යුරේනියම් සහ තෝරියම් ප්‍රතිශත මැන ගැනීමෙන් එම ඛනිජ කොතරම් පැරණි ද යන්න අනාවරණය කරගත හැකිය. මේ අනුව පර්වතය මත තිබෙන ඕනෑම සිතුවමක් මේ ආකාරයට දිනනීර්ණය කරගත හැකිය.
මෙම පරීක්ෂණය සඳහා හොෆ්මාන්ට අවශ්‍යය වන්නේ ගුහා බිත්තියෙන් වී ඇටයක ප්‍රමාණයේ කොටසකි. එහෙත් එම නියැඳිය ලබා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවේ. එනම් අමිල කලා කෘතියකින් එතරම් කොටසක් ඉවත් කිරීමත් එම කෘතියට කරන විශාල හානියක් වන හෙයිනි. එක් වැරදි තීරණයකින් වසර දසදහස් ගණනක් තිස්සේ සුරක්ෂිතව පැවති වර්ණ කොටසක් ඉන් ඉවත් විය හැකි බව හොෆ්මාන් ප්‍රකාශ කරයි.
සිතුවම් සහිත ගුහා තුනකින් එම සිතුවම් මත ඇති ඛණිජමය සිවිය අවම තරමින් වසඑ 64800 ක්වත් පැරණි විය හැකි බව පර්යේෂකයන් විසින් සොයා ගත්තේය. එහෙයින් සිතුවම් ඇදීමත් ඒතරම්ම හෝ ඊටත් වඩා පැරණි විය හැකිය. කෙසේ හෝ Cueva de los Aviones ගුහාවෙන් සොයාගත් මුහුදුබෙලි කටු සහ වර්ණක පෘෂ්ඨ මත ඇති ඛනිජමය සිවිය අවම තරමින් වසර 115000 ක්වත් පැරණි විය හැකිය. එය සිහාලෝ විසින් 2010 වර්ෂයේ එම මානවකෘතින් ම පරීක්ෂාකොට ලබා ගත් කාල වකවානුවම දෙගුණ වීමටත් වඩා වැඩි කාලරාමුවකි.
සමස්තයක් වශයෙන් ගත් කල, මෙම ගුහාවෙන් සොයාගත් සාධක මඟින් පැහැදිලි කරන්නේ මෙම නියන්ඩතාලයන්ගේ සංකේතමය චර්යාව එක් කාල සීමාවකට පමණක් සීමා වී නොපැවති බවය. මෙම චර්යාව වර්ධන වී නැතිවී ගියේ මෙම ගුහාව ආශ්‍රිතව සිටි පිරිස පමණක් අතින් නොවන අතර ‘එය මානවයින් අප්‍රිකාව තුළ කරමින් සිටි දෙයට සම්පූර්ණයෙන්ම සමාන්තර’ විය.
සමීප ඥාතීන්
කලා හැකියාවක් පෙන්නුම් කළ මානව කාණ්ඩ දෙකක් පිළිබඳ දැනට ගොඩ නැගුණු අවබෝධයත් සමඟ පර්යේෂකයන් විසින් තවදුරටත් නියන්ඩතාලයන් යනු වෙනස් මානව වර්ගයක් සේ සැලකීම කෙතරම් දුරට යුක්ති යුක්ත ද යන උභතෝකෝටිකයට මුහුණ දී ඇත. ඔවුන් යෝජනා කරන්නේ නියන්ඩතාලයන් නූතන මානවයින්ටම අයත් යුරෝපය තුළ හුදකලා වූ උප කාණ්ඩයක් ලෙස සැලකිය හැකි බවයි.
‘නියන්ඩතාලයන් නූතන මානවයින් සතු බුද්ධිමය හැකියාවට නොදෙවෙනි බුද්ධිමය හැකියාවක් සතුවූ හෙයින් තවදුරටත් නියන්ඩතාල් සහ සේපියානු වශයෙන් කරන දෙබදුම වලංගු නොවන අතර නියන්ඩතාලයන් යනු හොමෝ සේපියන්වරුන් ම බව’ සිහලෝ දක්වයි.
අන් විශේෂඥයන් දක්වන්නේ මෙතරම් ඉක්මන් නිගමනවලට නොපැමිණිය යුතු බවය.
ඉපැරණි කලාව නිර්වචනය කර ගැනීම ඉතාම අසීරු ක්‍රියාවක් වන අතර පැරණි කලාකරුවෙකුගේ නිර්මාණශීලී සංකීර්ණතාව මැන ගැනීම ඊටත් වඩා අභියෝගාත්මක කාර්යක් වන බව බර්ක්ලි හි පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරියක වන ප්‍රාග්ඓතිහාසික ගිරිසිත්තම් පිළිබඳ විශේෂඥ වරියක ද වන මාග්‍රට් කොන්කි පවසයි. එමෙන්ම නියන්ඩතාල් මානවයින් ගේ සාධක හමුවන ස්පාඤ්ඤයේ අන් ගුහාවල ද කරන අනාගත පර්යේෂණ කටයුතු වල දී දින නීර්ණය කිරීම සහ සිතුවම් අතර සබඳතාව පැහැදිලිව පෙනෙන අකාරයෙන් කටුයුතු කිරීමට අවධානය යොමුකළ යුතු බව ඇය තවදුරටත් දක්වයි.
“ නියන්ඩතාල් පැවැත්ම පිළිබඳ එක් දිනනීර්ණයකින් පමණක් සෑහීමකට පත් විය හැකි ද?” යන පැනය ඇය අසයි.
නියන්ඩතාලයන් විසින් ගුරු ගල් හෝ අඟුරු වැනි මාධ්‍යයක් භාවිතා කරමින් යම් සලකුණු කරන්නට ඇති හෝ සිතුවම් අඳින්නට ඇති බව පිළිගැනීමට හැකිවුවත් සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝගය නම් අභිසරණය වන සාධක ලැබෙන ආකාර කිහිපයකින් මතුකරගන්නා සාක්ෂි වලින් යමක් තහවුරු කිරීමයි.
“අප සොයාගෙන ඇත්තේ මහා හිමකන්දක ශිඛරය පමණි. සත්‍යවශයෙන් ම ජීවිත කාලයක් කළ යුතු පරයේෂණ තවමත් ඉතිරි වී ඇත” යනුවෙන් පයික් අවසන් වශයෙන් සඳහන් කරයි.