×

මෙවර ජාත්‍යන්තර IDAHOT දිනය ඔන්ලයින් මුහුණුවරින්!

වත්මන් කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉදිරියේ ලොව පුරා විවිධ රටවල් වසා දැමීමට කටයුතු කිරීමත්, නිරෝධායන කටයුතු හා සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා අටියෙන් නිවෙස් වලට වී සිටීමටත් ඒ ඒ රජයන් ගෙන් උපදෙස් ලැබීම තුළ සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සයිබර් අවකාශය භාවිතා කිරීමේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. එබැවින් කොවිඩ්-19 හා පටබැඳුනු විවිධ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී ව්‍යාපාර වල හිස එසවීමක් පෙන්නුම් කර ඇති අතර, LGBTIQ ප්‍රජාව මෙහි ප්‍රධාන වින්දිතයකු බවට පත්ව තිබේ. වි‌‌ශේෂයෙන්ම වෛරස වසංගත තත්ත්වයක් වන ‌කො‌රෝනා ‌ආසාදනය එච්අයිවී වැනි ආසාදන හා සන්සන්දනය කරමින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කොටගත් විවිධ එදිරිවාදී කම් සිදුවීම දක්නට ලැබේ.


ජාත්‍යන්තර IDAHOT (International Day Against Homophobia, Transphobia and Biphobia – සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය) දිනය අදට (17) යෙදී තිබේ. ලොව පුරා වසන සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (Lesbian, Gay, Bisexual, Transgender, Intersex, Questioning: LGBTIQ) ප්‍රජාවන් සිය ලිංගික (Sexual Orientation) දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව (Gender Identity) හා ප්‍රකාශනය (Gender Expression) පාදක කොටගත් වෛරය, ප්‍රචණ්ඩත්වය, වෙනස්කොට හා කොන්කොට සැලකීම් පිටුදැකීමේ අරමුණින් මෙම දිනය ජාත්‍යන්තර වශයෙන් සමරනු ලබයි.

සෑම වසරකම මැයි මස 17 වන දිනට යෙදී ති‌බෙන IDAHOT දිනය ලොව පුරා LGBTIQ ප්‍රජා මානව හිමිකම් ව්‍යාපාර තුළ උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන අතර, ඒමඟින් සමරිසිභීතිකාව (Homophobia), සංක්‍රාන්ති සමාජභාවී භීතිකාව (Transphobia), ද්වීරිසි භීතිකාව (Biphobia) ඇතුළු අතාර්කික භීතිය පදනම් කොට ගත් සියළු අන්දමේ වෛරී සහගත ක්‍රියාවන් පිටු දැකීමටත්, එවන් තත්ත්ව මත හට ගන්නා ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීමටත්, LGBTIQ ප්‍රජාවට අනෙකුත් ප්‍රජා මෙන් මානව හිමිකම් සඳහා ඇති අයිතිය තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරේ.

2020 වර්ෂ‌ය ආරම්භයත් සමඟ හටගත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර IDAHOT දිනයට සමගාමීව පැවැත්වීමට සූදානම් කොට තිබූ වැඩසටහන්, පෙළපාලි හා අධිවාචන ක්‍රියාදාමයන් නවතා දමා ඇති අතර, මේ සඳහා සයිබර් අවකාශය වෙත ‌යොමුවී‌මේ උනන්දුව වැඩිවී තිබේ. ඒ් අනුව, වීඩියෝ පට, ඔන්ලයින් වැඩසටහන් හා සමාජ මාධ්‍යජාලා ආශ්‍රිත පෝස්ටර් ව්‍යාපාර ලොව පුරා දියත් කිරීමට කටයුතු ‌යොදා ති‌බේ.

IDAHOT දින‌යේ ඉතිහාසය පිළිබඳ කෙටි ආවර්ජනයක්..

2016 වර්ෂය වන විට ලොව පුරා රටවල් 132 ක ජාත්‍යන්තර IDAHOT සමරනු ලැබිණ. IDAHOT දිනයේ පුරෝගාමීන් මීට වසර ගණනාවකට පෙර පිහිටුවා ගන්නා ලද විශේෂ කමිටුවක් හරහා ලොව විවිධ රට වල විවිධ ප්‍රදේශ වල බිම් මට්ටමින් දියත් කරන ලද LGBTIQ ප්‍රජාව ඉලක්ක කොට ගත් ප්‍රචණ්ඩත්වය මැඬපැවැත්වීම පිළිබඳ අධිවාචන වැඩසටහන් ආශ්‍රයෙන් ප්‍රජා දැනුවත් කිරීම් බහුල වශයෙන් සිදුවිණි. ඒ තුළින් ගෝලීය වශයෙන් හඳුනා ගන්නා දිනයක් බවට ජාත්‍යන්තර IDAHOT දිනය මැයි මස 17 වන දින ‌වෙත ප්‍රවර්ධනය කරන ලදී.

‌‌මේ සඳහා මැයි 17 වන දිනම තෝරා ගනු ලැබු‌වේ ඇයි? විශේෂයෙන්ම මෙම දිනය තෝරාගනු ලැබුවේ 1990 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණ නාමාවලියෙන් (International Classification of Diseases: ICD) සමරිසිභාවය යනු මානසික රෝගයක් නොවන බවට තීරණය කොට ඉවත් කර දැමීමට ගත් තීන්දුවට සමගාමීව ය.

මෙම දිනය නිල වශයෙන් IDAHOT යැයි ප්‍රකාශයට පත් කොට සැමරීමට පෙරාතුව, ජර්මනියේ “සමරසි දිනය (Gay Day)” යනුවෙන් නිල නොවන අන්දමින් බොහෝ කලක පටන් සැමරූ බවට ඉතිහාසයේ සඳහන් වේ. මානව හිමිකම් විෂයානුබද්ධ උචිත සංකල්පයක් ලෙස මෙම දිනය ප්‍රකාශයට පත්කරන ලද්දේ 2004 වර්ෂයේදීය.

පළමු IDAHOT වැඩසටහන වසරක කාලයක් පුරා සමරිසිභීතිකාව පමණක් පිටුදැකීමට 2005 වර්ෂයේ මැයි මස 17 වන දින දියත් කරන ලදී. එවකට එය හැඳින්වූයේ IDAHO යනුවෙනි, එනම් International Day Against Homophobia යනුවෙනි. ලොව පළමු වතාවට, LGBTIQ ප්‍රජා සංවේදීකරණය පිළිබඳ නිසි අවබෝධයක් නොපැවති කොන්ගෝ, චීනය, බල්ගේරියාව වැනි රට වල ද මෙම ව්‍යාපාරය දියත් කිරීමට එකී දිනය පිටුවහලක් වීම සුවි‌ශේෂී වේ.

2009 වර්ෂයේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන්ට ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව ඉලක්ක කොට ගෙන එල්ල වන වෙනස්කොට සැලකීම්, කොන්කොට සැලකීම්, හිංසන හා ප්‍රචණ්ඩත්වය මූලික කොට ගෙන සංක්‍රාන්ති සමාජභාවී භීතිකාවද මෙයට එක් කරන ලදී. එමඟින් IDAHO වෙත T පදය එක් කරමින් IDAHOT බවට පත්වන ලදී.

2015 වර්ෂයේදී ද්විරිසි භීතිකාවද මෙයට එක් කරන ලදී.

ලංකා‌වේ තත්ත්වය කොහොමද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌‌වේ 12 වන පරිච්ඡේදයට අනුව සියළු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන විය යුතුය. එමෙන්ම, නීතිපතිවරයා විසින් 2014 වර්ෂයේදී ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව ඉලක්ක කොටගත් වෙනස්‌කොට සැලකීම් හා කොන්කොට සැලකීම් ව්‍යවස්ථා විරෝධී බවට තහවුරු කරන ලදී. එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සමාන බව සඳහා පවතින අයිතිය යටතේ ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව ආරක්ෂා වී ඇති බවත්, ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය විය හැකි කිසිදු අන්දමකින් නීතිය බලාත්මක කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමය තුළ ශ්‍රී ලංකා‌වේ දණ්ඩනීති සංග්‍රහයට ඇතුලත් කරන ලද 365/365අ වැනි ඇතැම් වගන්ති ඇසුරින් සමරිසිභාවය සාපරාධී වරදක් ලෙස අර්ථනිරූපණය කිරීමක් සිදුව තිබේ. මෙම නීතීන් තුළ සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන් හට පොලීසි‌‌යේ බලපෑම් එල්ල වීම අදටත් සිදුවන මුත්, නඩුපැවරීමක් සිදුකොට සිරදඬුවමක් නියම කිරීමක් මේ වන විට සිදුවී නොමැත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ නීති පද්ධතියෙන් පරිබාහිරව LGBTIQ ප්‍රජාව මුහුණපාන දරුණුතම අභියෝගය වන්නේ ගෘහස්ථ හිංසන ස්වරූපයෙන් තම පවුල් ඒකකය තුළින්ම ඇතිවන බලපෑමට අමතරව විවිධ තාඩන පීඩන, කෙණහිලිකම්, උසුළු විසුළු කිරීම්, ප්‍රචණ්ඩත්වය, හිංසනය ඇතුළු ඇතුළු සමාජය තුළින් එල්ල වන  බලපෑම් ය.

ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව ආරක්ෂා කරගනු වස් සිදුවූ ඇතැම් ප්‍රගතිශීලී තීන්දු ද ශ්‍රී ලංකාවේ නැතුවා ම නොවේ. ඉහත සඳහන් කළ නීතිපතිවරයාගේ ප්‍රකාශයට අමතරව, 2016 වර්ෂයේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේකයකට ප්‍රකාරව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය නීත්‍යානුකූලව වෙනස් කර ගත හැකි ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සහතිකය (Gender Recognition Certificate) හඳුන්වා දෙන ලදී. ‌මේ පිළිබඳ මීට වසර දෙකකට පෙර අප ඔබට තොරතුරු වාර්තා කළෙමු.

ශ්‍රී ලංකාව තුළ ද LGBTIQ ප්‍රජා අධිවාචන ක්‍රියාදාමයන් යම් තාක් දුරකට සිදුවන අතර, මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් සමරිසිභාවය නිර්සාපරාධීකරණය කිරීමට හඬ නගනු ලබන මෙන්ම, ඔවුන් පෙන්වා දෙන්නේ සමරිසි ප්‍රජාවට ද අනෙකුත් ප්‍රජා මෙන් මානව හිමිකම් භුක්ති විඳීමේ අයිතිය පවතින බවය. ඒ අනුව LGBTIQ ප්‍රජා අධිවාචනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිතව මෙම ප්‍රජාවන් ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ඉහළ නැංවීම හා ජාතික මට්ටමෙන් වැඩපිළිවෙල දියත් වේ. ජාත්‍යන්තර IDAHOT දිනය ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව විසින් ද සමරනු ලබන අතර, මීට ප්‍රජා සාමාජිකයින් නොවන එහෙත් ප්‍රගතිශීලී පුද්ගලයින් ගේ නොමඳ සහාය හිමිවේ. මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, විමුක්තිය හා අවිහිංසාව අගයන සියළු පාර්ශව පෙන්වා දෙන්නේ LGBTIQ ප්‍රජාව ඉලක්ක කොට ගත් ප්‍රචණ්ඩත්වය, හිංසනය, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් මර්දනය කිරීමට මෙම දිනය ජාතික වශයෙන් හඳුනා ගැනීම වැදගත් බවයි.

වත්මන් කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉදිරියේ ලොව පුරා විවිධ රටවල් වසා දැමීමට කටයුතු කිරීමත්, නිරෝධායන කටයුතු හා සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා අටියෙන් නිවෙස් වලට වී සිටීමටත් ඒ ඒ රජයන් ගෙන් උපදෙස් ලැබීම තුළ සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සයිබර් අවකාශය භාවිතා කිරීමේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. එබැවින් කොවිඩ්-19 හා පටබැඳුනු විවිධ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී ව්‍යාපාර වල හිස එසවීමක් පෙන්නුම් කර ඇති අතර, LGBTIQ ප්‍රජාව මෙහි ප්‍රධාන වින්දිතයකු බවට පත්ව තිබේ. වි‌‌ශේෂයෙන්ම වෛරස වසංගත තත්ත්වයක් වන ‌කො‌රෝනා ‌ආසාදනය එච්අයිවී වැනි ආසාදන හා සන්සන්දනය කරමින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කොටගත් විවිධ එදිරිවාදී කම් සිදුවීම දක්නට ලැබේ.

මෙම තත්ත්වය තුළ 2020 ජාත්‍යන්තර IDAHOT දින‌යේ ප්‍රධාන තේමාවක් වී තිබෙන්නේ නිහඬතාව බිඳිමින් ප්‍රජාවන් හඬ අවධි කිරීමයි. ඒ අනුව ඔන්ලයින් අවකාශය තුළ දියත් වන IDAHOT සමගාමී වැඩසටහන් තුළ සයිබර් හිංසන, වත්මන් වසංගත තත්ත්වය උත්ප්‍රේරක කොටගත් ‌වෙනස්කොට සැලකීම් ආමන්ත්‍රණය කිරීම ආදී විවිධ අධිවාචනයන් රැසක් ක්‍රියාත්මක ‌වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි