×

සත් හැවිරිදි දැරියක්, හෝස් බටයක් සහ ස්ත්‍රී දූෂකයෙක්

හෝස් බටයක් යොදාගෙන ඉන්දියාවේ සත් හැවිරිදි දැරියක දූෂණය කරයි. බරපතළ තුවාළවලින් පසු ඇය දැන් දිල්ලි රෝහලේ. මේ ඛේදවාචකය අවසන් වන්නේ කවදාද?


‘‘සීමාපුරි හිදී වයස 22ක පිරිමියෙක් විසින් දූෂණය කළ වයස 7 ක ගැහැණු දරුවා හමුවුණා. ඇය ඔහුව උද්‍යානයකට ගෙන ගොස්, වතුර පයිප්පයක් ඇගේ රහස් ප්‍රදේශය තුළට ඇතුළු කර ඉන්පසු දූෂණය කරලා. දැරියගේ තත්වය ඉතාම බරපතළයි. සීරුවට ලේ ගැලීම සිදුවෙලා. මේ වන විට සැත්කමකට ලක් කර තිබෙනවා..“

මේ නවදිල්ලියේ ස්වාති මලිවාල් හෙවත්, දිල්ලියේ කාන්තා කොමිසමේ (Delhi Commission for Women) සභාපතිවරියගේ ට්විටර් සටහනෙන් කොටසක්. දිල්ලියේ කාන්තා කොමිසම යනු, ස්ත්‍රියගේ ආරක්ෂාව සම්බන්ධ සියලු ආකාරයේ ගැටළු විමර්ශනය සඳහා පිහිටුවා තිබෙන ව්‍යස්ථාපිත අධිකාරියයි. ස්ත්‍රියකට එරෙහි අපරාධයක් වාර්තා වූ විට ඔවුහු සැණෙන් ක්‍රියාත්මක වෙති. ඔවුන්ගේ සමාජ ජාල ගිණුම් පවා සීඝ්‍රයෙන් ක්‍රියාකාරී වන්නේ යුක්තිය ඉල්ලා සිටිමිනි.

Twitter

හෝස් බටයක් යොදාගෙන සත් හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිදුවීම නිසා මේ වන විට නවදිල්ලිය කෙසේ වෙතත්, ලෝකය නම් කැළඹී තිබේ.

‘‘හෝස් බටයක් යොදාගෙන දූෂණය කිරීම‘‘ යැයි මේ ලිපියේ හෙඩිම ලෙස ද යෙදුවේ නම්, හුදී ජනයා මෙබඳු ප්‍රශ්නයක් අසනු ඇත. ‘‘හෝස් බටයකින් පුළුවන්ද එච්චර දෙයක් කරන්ඩ…?!“ තීන්ත කුප්පිය නොකඩවා සෙළෙව්වේ නම් තීන්ත කුප්පියට පෑන දැමිය නොහැකි බවත්, එනිසා තීන්ත කුප්පියේ මිස පෑනේ වරදක් නැති බවටත්, ස්ත්‍රී දූෂණය ද, තීන්ත කුප්පිය සහ පෑන අතර ගනුදෙනුව වැනි බවටත් කුප්‍රකට සංවාදයක් අපේ සමාජයේ තවමත් තිබේ.

නවදිල්ලියේ කාන්තා කොමිසමේ සභාපතිනියගේ ට්විටර් සටහනෙන් ලිපිය පටන් ගත්තේ මෙහිදී එසේ නොවීම සඳහා ය.

ස්ත්‍රී දූෂණයකදී දූෂණය සිදුකළ ආකාරය සවිස්තරාත්මකව විස්තර කිරීම මාධ්‍ය ආචාර ධර්මවලට පටහැණි බවට තර්කයක් තිබේ. එය සැබෑවක් විය හැකි නමුත්, සමාජය සංවේදී කිරීම සඳහා එසේ කළ යුතු අවස්ථා ද නොතිබේදැයි CNN පුවත්සේවය ප්‍රතිතර්කයක් නගමින් මෙහිදී අපෙන් අසයි.

දූෂණයෙන් පසු චූදිත අපරාධකරු ඇයට රුපියල් දහයක් සහ ටොපියක් දී, ‘‘කාටවත් මේක කිව්වොත් බලාගෙනයි‘ යැයි කියා තිබේ. ඉන්පසු ඉණ වටේ තුවායක් දවටා නිවස අසල දමා ගොස් තිබේ. ඇය නිවස වෙත යන විට ඇගේ දෙකලවා අතරින් ලේ ගලා යමින් තිබිණි. දැරිය වහා රෝහල් ගත කෙරිණි.

ඒ දැරියගේ 26 හැවිරිදි, සැමියෙකු නැති මව පුරා දින තුනක් තිස්සේ දියණියගේ ඇඳ අද්දර සිටියාය. ඉන්පසු දිල්ලියේ පැල්පත් සංකීර්ණය තුළ පිහිටි සිය නිවසට ගොස් CNN පුවත්සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙසේ කීවාය.

‘‘මේ අපරාදෙ කළ මිනිහව එල්ලන්නම ඕනෙ“.

නවදිල්ලියේ ඔවුන් ජීවත් වන ඉසව්වේ ඉබාගාතේ යන සුනඛයන් බහුල ය. හාත්පස කැළි කසළ ය. දැරිය දූෂණය කළ බවට සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ද කසළ එකතු කරන්නෙකි.

වින්දිත දැරියගේ මව | CNN

වින්දිත දැරියගේ මව | CNN

ඉන්දියාවේ ජාතික අපරාධ බියුරෝවේ නිල දත්තවලට අනුව රට තුළ දිනකට ස්ත්‍රී දූෂණ 100කට වඩා වාර්තා වේ. 2012 දෙසැම්බරයේදී දිල්ලියේදී ගමන් කරන බස්රියක් තුළ සමූහ දූෂණයට ලක් කර මරා දැමූ  වෛද්‍ය සිසුවිය නිර්භයාගේ සිදුවීමෙන් පසු ඉන්දීය රජය ස්ත්‍රී දූෂකයන්ට දඬුවම් වැඩි කර තිබේ. වයස 12ට අඩු දැරියන් දූෂණය කරන අපරාධකරුවන්ට මරණ දණ්ඩනය පනවන නීතියක් තාවකාලික වශයෙන් ඉන්දියාව බලාත්මක කළේ මේ වසරේ අප්‍රේල් මාසයේ දී ය. මේ අතර, පසුගියදා ‘සෙක්ස් ඔෆෙන්ඩර්ස්‘ හෙවත් ‘ලිංගික වරදකරුවන්‘ සඳහා ඉන්දියාව විශේෂ ලියාපදිංචි තොරතුරු පද්ධතියක් (රෙජිස්ට්‍රියක්) ද ආරම්භ කළේය. නමුත් ලිංගික අපරාධ, නොඑසේ නම් ස්ත්‍රී දූෂණවල තවම අඩුවක් නැත.

ඉන්දියාව තුළ සෑම විනාඩි 13.5කටම වරක් දැරියක් හෝ ස්ත්‍රියක් බැගින් දූෂණය වේ.

වාර්ෂිකව වාර්තා වන ස්ත්‍රී දූෂණවල ප්‍රතිශතය 12% බැගින් ඉහළ යන බව ද පෙනෙන්නට තිබේ.

ඉන්දීය ඇමති කීරන් රිජිජු මෙසේ කියයි. ‘‘ලිංගික ප්‍රචණ්ඩත්වය සමාජ ප්‍රශ්නයක්. එය මේ රටට සැබෑ අභියෝගයක්. ලැජ්ජාවක්‘‘.

අතීතයේ මාතෘ දෙවඟනට වන්දනාමාන කළ, කාලි අම්මාගේ සිට පත්තිනි මෑණි දක්වා සකලවිධ විෂයන් හි අධිපතිකම ගැහැණු දෙවියන්ට නිතරගයෙන් පැවරූ, ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයක් ජනිත කළ භාරත මාතාවට මේ සිදු වී තිබෙන්නේ කුමක්ද? ඒ සිදුවී තිබෙන දෙයම ලංකාවටත් සිදුවී නොමැත්තේද?

‘‘ඇය ඉතා ශක්තිමත් දැරියක්. ඇය යන්තමින් ආහාර පාන ගන්නවා.. ඇය ඉක්මනින් නැගිටගනීවි..“ යැයි දිල්ලියේ සත් හැවිරිදි දැරියගේ වෛද්‍යවරු පවසති.

ඇය වැනි දැරියන් මේ ලෝකයට තව තවත් උවමනා ය. ඔවුන් හඬ නගා කතා කළ යුතුය. සිදුවූ අයුක්තිය කෑ ගසා කිව යුතුය. ඇය බාලවයස්කාරියක නිසා බොහෝ විට චූදිතයා එල්ලා මරා දැමීමට නියම වනු ඇත. නමුත් 22 හැවිරිදි කසළ ශෝධකයා එල්ලා මරා දැමූ පමණින් සමාජයේ කසළ, ශෝධනය වේද? මේ ලෝකය තුළ ඔහු තවත් එක් ‘කොණ්ඩයෙක්‘ පමණි.

මෙයට වසර ගණනකට පෙර තිරගත වූ අයි.එන්. හේවාවසම්ගේ සම්මානනීය ‘මීහරකා’ චිත්‍රපටය ඇරඹෙන්නේ මෙසේ ය. පිරිත් දාගෙන හද්දා පිටිසර ගමකට බස් රියක් එයි. ඒ බස් රියේ ‘ගුණපාල’ නමැති මිනිසෙක් සිටියි. පිරිත් අතරින් බස් රියේ නැගී ගමට එන්නේ කාම චිත්‍රපට ය. ගුණපාලගේ අතේ සල්ලි නැත. ඔහු කොතරම් ආර්ථික දුගියෙකුද යත් නිල් චිත්‍රපටවලට මිල ගෙවන්නේ මී කිරිවලිනි. අවසානයේ ඒ කාම චිත්‍රපට නැරඹීමෙන් මනස විකෘති කරගන්නා ඔහු, තම කරත්තයේ නැගී පාසලට යන ගමේ ආකර්ෂණීය ඉංග්‍රීසි ගුරුවරිය (ස්වර්ණා මල්ලවාරච්චි) දූෂණය කර මරා දමයි. එය අපරාධයක් යැයි ඔහුට දැනීමක් හෝ හැඟීමක් නැත.

ලංකාවේත් ඉන්දියාවේත් අපරාධ නීතිය අනුව ස්ත්‍රී දූෂණය සංස්ථාපනය කිරීමේ වැදගත්ම නීතිමය සංරචකය වන්නේ ‘කැමැත්තට එරෙහිව‘ ලිංගික ක්‍රියාකාරකමක් සිදුවූ බව සනාථ කිරීමයි. නමුත් බාලවයස්කාරියන් සම්බන්ධයෙන් ‘කැමැත්ත‘ කිසිසේත්ම අදාළ නැත. අපරාධ නඩු ක්‍රමය මේ රටවල අධිකරණ සංකීර්ණ තුළ නාට්‍යමය ප්‍රහසන බවට පත්වන ආකාරයට උදාහරණ බොහෝ ය. වරක් කොළඹ මහාධිකරණයේ පැවති ස්ත්‍රී දූෂණ නඩුවකදී විත්තියේ නීතීඥයා, අදාළ කාන්තාව ඒ අවස්ථාවේ චූදිතයා සමග ලිංගිකව එක් වූයේ කැමැත්තෙන් බවත්, ඒ නිසා ස්ත්‍රී දූෂණයක් සිදුවී නැති බවත් ඔප්පු කිරීමට දිගින් දිගටම වෙහෙසුණේ මෙසේ ය. ‘‘මේ තැනැත්තිය කියනවා, තමන්ව පැය එකහමාරක් තිස්සෙ දූෂණය කළා කියලා.. ස්වාමීනී, මම මේ නඩු ෆයිල් එක මගෙ ගෙදර හංගල තියල තියෙන්නෙ.. මගෙ ගෑනි එහෙම මේක කියෙව්වොත් කියයි, තමුසෙලට තමයි …….. බැරි කියලා..“

විත්තියේ දේශනයේ මේ කොටස ඇසෙන විට රජයේ නීතීඥවරිය සහ ගරු විනිසුරුතුමිය හොරැහින් බිම බලන අයුරු පෙණිනි..

සාමාන්‍ය මානව ක්‍රියාකාරකමක් වන සෙක්ස් ‘මාර දෙයක්‘ සේ සලකා, ලිංගික අධ්‍යාපනය අමුතු දෙයක් කළ රටක් තුළ, ප්‍රාග් ඓතිහාසික සෙක්ස් අධ්‍යාපනයක් ඇති රටක් තුළ, ලිංගික ක්‍රියාකාරකම් උත්ප්‍රාසයෙන් වර නැගෙන ලෝකයක් තුළ ස්ත්‍රී දූෂණයට වීරත්වයක් ආරූඪ වීම වැළැක්විය හැකිද? සෙක්ස් බලා මොළ ශෝධනය කරගනු වෙනුවට අප සමාජය ශෝධනය කර ගන්නේ කවදාද?

බරපතළ තුවාළ සහ ඉක්බිති කළ සැත්කම හේතුවෙන් මැහුම් පිට – රිදුම් පිට දිල්ලි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගිලන් සයනයේ සිට ඒ සත්හැවිරිදි දැරිය අපෙන් අසන සැබෑ ප්‍රශ්නය එයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි