×

වට්ස්ඇප් බද්ද ට උරණ වූ ලෙබනන් වැසියෝ වීදි බසිති!

කන පාන් කෑල්ලටත් බදු ගහන රජයක් මේක.. උරණ වූ ලෙබනන් වැසියෝ චෝදනා කරති.


ලෙබනනයේ අගනගරය වු බෙරූට් හි දහස් සංඛ්‍යාත ජනයා වීදි බැස විරෝධතාවයේ නිරත වීමට පටන් ගෙන තිබේ. ඒ වට්ස්ඇප් දුරකතන ඇමතුම් සඳහා බද්දක් ගැසීමට එරට කැබිනට් පත්‍රිකාවක් යෝජනා වූ බැවිනි.

ලෙබනනය පුරා දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ටයර් සෑයවල් ගිනිබත් කරමින් ප්‍රචණ්ඩකාරී අන්දමින් හැසිරෙමින් මාර්ග ගමනාගමනය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන අයුරු කැමරා කාචයේ සටහන් වී තිබිණි.  මෙය වසර ගණනාවකට පසු ලෙබනනයේ හටගත් විශාලතම විරෝධතා ව්‍යාපාරය ලෙස පැවසේ. 

එමෙන්ම ගතවූ මසකට අඩු කාලසීමාවකදී ලෙබනනයේ වත්මන් රජය හා දේශපාලන වාතාවරණයට විරෝධය පාමින් හටගත් දෙවන වීදි බැසීම ද මෙය වේ. 

ලොව වැඩිම ණයගැති රාජ්‍යයන් ගෙන් එකක් ලෙස හැඳින්වෙන උග්‍ර මූල්‍ය අර්බුදයකින් පෙළෙන හා කඩා වැටුණු ආර්ථිකයක් සහිත ලෙබනනය තුළ මෙසේ විරෝධතා හට නොගත්තේ නම් අරුමයකි. මේ වන විට එරට අයවැය පියවා ගැනීමට රජය මහත් පරිශ්‍රමයක් දරයි.

මීට පෙර, ලෙබනනයේ කැබිනට් මණ්ඩලය විසින් නව ආදායම් ඉහළ නැංවීමේ පියවරක් එළිදැක්වූ අතර, ෆේස්බුක් සතු වට්ස්ඇප්, ෆේස්බුක් ඇමතුම් සහ ෆේස් ටයිම් ඇතුළු යෙදුම් විසින් භාවිතා කරන වොයිස් ඕවර් ඉන්ටර්නෙට් ප්‍රොටොකෝලය (voice over internet protocol: VoIP) හරහා සෑම ඇමතුමකටම දිනකට ශත 20 ක ගාස්තුවක් අය කරන බව තොරතුරු අමාත්‍ය ජමාල් අල්- ජරා පවසන ලදී. එමෙන්ම, අය එකතු කළ බද්ද 2021 දී සියයට 2 කින් ද 2022 දී තවත් සියයට 2 කින් ද 15% ක් දක්වා ද ඉහළ නැංවීමේ යෝජනාවක් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

කෙසේවෙතත් උරණ වූ ලෙබනන් වැසියන්ගේ විරෝධතා මධ්‍යයේ දුරකතන හා සන්නිවේදන කටයුතු අමාත්‍ය මොහොමඩ් චෞකෙයාර් ලෙබනන් විකාශකයින්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ වට්ස්ඇප් ඇමතුම් සඳහා යෝජිත බද්ද අවලංගු කර ඇති බවයි.

එහෙත් විරෝධතාවන්ට එක්ව සිටි ජනයා මෙසේද පවසා සිටින ලදී: “අප මේ වීදි බැස්සේ වට්ස්ඇප් සඳහාම නොවේ.. ඉන්ධන, ආහාරපාන, කන පාන් කැබැල්ල.. මේ හැම දේටම ගසා ඇති බද්ද ට විරෝධය පෑමටයි!”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි