×

ඒ කාලේ – මේ දෙන්නා : ට්‍රම්ප් සහ බයිඩන් (ඡායාරූප එකතුව)

අද වන විට දේශපාලන වේදිකාවේ සතුරන් බවට පත්ව සිටින ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ මං සලකුණු පෙන්වන ඡායාරූප එකතුවකි, මේ.


අද වන විට දේශපාලන වේදිකාවේ සතුරන් බවට පත්ව සිටින ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ මං සලකුණු පෙන්වන ඡායාරූප එකතුවකි, මේ.

මුල් අවධිය

ALAMY

18 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්සිය හමුදා පාසලේ නිල ඇඳුමෙන් සැරසී. මේ 1964 වසරේදී ය.

දෙවැනි ලෝක යුද්ධය අවසාන වනවාත් සමග ම, 1946 ජූනි මස ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් නිව් යෝක්හි නිශ්චල දේපළ වෙළෙන්දෙකු වන ෆ්‍රෙඩ් ට්‍රම්ප් සහ මේරී ඈන් මැක්ලියොඩ් ට්‍රම්ප් ගේ සිව්වැනි දරුවා ලෙස උපත ලැබීය. පවුලේ ධනය කෙසේ වෙතත්, තම පියා ගේ ව්‍යාපාරයේ මෙහෙකරු මට්ටමේ රාජකාරි කරන්නට සිදු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් 13 වැනි වියේ දී හමුදා පාසලක අධ්‍යාපනය ලබන්නට පිටත් කරවනු ලැබුවේ ඔහු ඉතා දඟකාර සිසුවකු වූ නිසා ය.

ඔහු ගේ වැඩිමල් සොයුරු ෆ්‍රෙඩ් ගුවන් නියමු වරයකු වන්නට තීරණය කළ බැවින්, පියාගෙන් පසු පවුලේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නට ඔහුට සිදුවිය.

ALAMY

ජෝ බයිඩන් වයස 25 දී. වර්ෂය – 1967

ජෝසප් රොබිනෙට් බයිඩන් (කණිෂ්ඨ) 1942 වර්ෂයේ දී, පෙනිසිල්වේනියාවේ ස්ක්‍රැන්ටන්හි දි උපත ලැබුවේ ය. ඔහු අයර්ලන්ත- ඇමරිකානු කතෝලික පවුලක දරුවන් සිවු දෙනකු ගෙන් පළමුවැන්නා වූයේ ය. කුඩා ජෝ ගේ විශාල ම අභියෝගයක් වූයේ කථන දුර්වලතාවකින් – එනම් ගොතයකින් පෙළීම යි. මින් මිදීමට ඔහු කළේ කණ්ණාඩියක් ඉදිරිපසට ගොස් කතා කිරීම යි.

බයිඩන් ඩෙලවෙයා සරසවියට ද, සයිරකියුස් සරසවියේ නීති විද්‍යාලයට ද ඇතුළත් වූයේ ය.

පසුකාලින ව ඔහු ඔහු ගේ ප්‍රථම බිරිඳ වන නීලියා විවාහ කර ගත් අතර විල්මින්ටන්හි දී දේශපාලන දිවිය ඇරඹුවේ ය.

1970 දශකය

GETTY IMAGES

1976 දී ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව ඔහු දේපළ වෙළදාමට පිවිසියේ ඔහු ගේ පියාගෙන් ඇ. ඩො. මිලියනයක ‘කුඩා’ ණයක් ලබාගෙන ය. පසු කාලීනව තම පියාගේ ව්‍යාපාරයට ම සම්බන්ධ වූ ට්‍රම්ප් එය 1971 වසරේ දී ‘ට්‍රම්ප් සංවිධානය’ (Trump organization) ලෙස නම් කළේ ය.

වසර හයකට පසු ඔහු චෙක් ජාතික නිරූපිකාවක ද, ක්‍රීඩිකාවක ද වූ ඉවානා සෙල්නිකෝවා විවාහ කරගත්තේ ය. ඔහු ගේ ප්‍රථම විවාහයේ දරුවන් වන කණිෂ්ඨ ඩොනල්ඩ්, ඉවන්කා සහ එරික් මේ වන විට ට්‍රම්ප් සංවිධානය පවත්වාගෙන යති. එහෙත් තවමත් එහි ප්‍රධාන විධායක නිලධාරියා ට්‍රම්ප් ය.

GETTY IMAGES

රිය අනතුරෙන් බරපතළ තුවාළ ලබා දිවි බේරාගත් බීයු බයිඩන් ගේ රෝහලේදී ජෝ බයිඩන් සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නේ මෙසේ ය.

1972 වසරේ දී ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලදුව, ජෝ බයිඩන් එක්සත් ජනපද සෙනේටයේ දිවුරුම් දෙන්නට බලා සිටිය දී ඛේදවාචකයක් සිදු විය. ඔහු ගේ බිරිඳ සහ ළදරු දියණිය රිය අනතුරකින් මිය ගිය අතර, ඔහු ගේ පුතුන් වන බියු සහ හන්ටර් දරුණු ලෙස තුවාල ලැබූහ.

බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනේට්වරයෙකු ලෙස දිවුරුම් දීම තම ළදරු පුතුන් ගෙ රෝහල් කාමරයේ සිට සිදු කළේ ය.

1980 දශකය

JOE MCNALLY / GETTY IMAGES

1987 අගෝස්තු මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පුද්ගලික හෙලිකොප්ටරයෙන් නිව්යෝක් නගරයේ සංචාරයක

1970 දශකයේ අග භාගයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තම දියුණු වීමේ ආශාව ලොවට පෙන්වා සිටියේ ඔහු ගේ දේපළ වෙළඳාම බෲක්ලින් සිට, ක්වීන්ස් සිට මැන්හැටන් දක්වා ප්‍රචලිත කරමිනි. ඔහු ඔහු ගේ වඩාත් ප්‍රසිද්ධ ම දේපළ වන ට්‍රම්ප් කුලුන (Trump Tower) 1983 වර්ෂයේ දී විවෘත කළේ ය.

ඔහු ගේ නමින් විවෘත කළ අනෙක් ගොඩනැගිලි අතර ට්‍රම්ප් මන්දිරය, ට්‍රම්ප් ලෝක කුලුන සහ ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලය සහ කුලුන ද වෙ යි. මේ සමග ඔහු ගේ සන්නාමය මාධ්‍ය අවදානය දිනා ගත්තේ ය. නමුත් ඔහුගේ ඇතැම් ව්‍යාපාර බංකොළොත් වීම ඇරඹී තිබිණි.

ARNIE SACHS / GETTY IMAGES

සෙනෙට් සභික බයිඩන්බිරිඳ ජිල් සමග. තමන් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වන බව නිවේදනය කළේ මෙසේ ය.

වොෂින්ටනයේ සිටි මුල් වසට 14 ඇතුළත තම බිරිඳ ගේ සහ දියණිය ගේ මරණවලින් පසුව සුන් බුන් වූ තම පෞද්ගලික ජීවිතය ගොඩ නගා ගන්නට ජෝ බයිඩන් උත්සහ දැරුවේ ය. ඩෙලවෙයාහි ඔහු ගේ නිවසේ සිට නිති පතා වොෂින්ටනය වෙත ගමන් ගත් ඔහු, තම පුතුන්ට සාමාන්‍ය ජීවිතයක් ලබා දෙන්නට කැප වූයේ ය. කාලයාගේ ඇවෑමෙන් පාසල් ගුරුවරියක වන ජිල් ජේකබ්ස් හා විවාහ වූ ඔහුට ඒ විවාහයෙන් ඈෂ්ලි නම් තවත් දරුවකු සිටියි.

1987 වසරේ දී එක්සත් ජනපද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට සිය ප්‍රථම උත්සාහය ගත් බයිඩන් පසුව ඉන් ඉවත් වූයේ එවකට බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ නායක නික් කිනොක් ගේ කතාවක් තමන් ගේ ලෙස කියුවා ය යන චෝදනාව නිසා ය.

1990 දශකය

GETTY IMAGES

ට්‍රම්ප් Miss USA සහ Miss Teen USA තරගාවලි වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නට සැරසී. නිව්යෝක් නුවර, 1999 ජනවාරි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට දේපළ පමණක් ප්‍රමාණවත් වූයේ නැත. විනෝදය සපයන කර්මාන්තයට ද පැමිණි ඔහු 1996 වසරේ සිට රූ රැජිණ තරග සංවිධානය කළේ ය; විශ්ව රූ රැජිණ තරගය, Miss USA තරගය සහ Miss Teen USA මේ අතර වෙයි. ඔහු ගේ පෞද්ගලික ජීවිතය ගත් කල, ඉවානා ගෙන් වෙන් වූ ඔහු 1993 වසරේ දී නිළියක වන මාර්ලා මේපල්ස් සමග විවාහ වූයේ ය.

1999 වසරේ දික්කසාද වන්නට පෙර එම විවාහයෙන් ඔහුට ටිෆනි නම් දියණියක් ද සිටියි. මේ ඔහු ගේ පියා ද මිය ගිය වර්ෂය යි.

WALLY MCNAMEE/ GETTY IMAGES

සෙනෙට් සභික ජෝ බයිඩන්

1991 වසරේ ඔක්තොම්බර් බස 11 වැනිදා ඇනිටා හිල් නම් නීති මහාචාර්‍යවරිය ඉදිරිපත් කළ ලිංගික හිංසන නඩු විභාගයක් සම්බන්ධයෙන් ජෝ බයිඩන් දැඩි විවේචනයට ලක්වූවේ ය. සෙනෙට් නීති කමිටුවේ මුල් පුටුව හෙබවූ ඔහු ඇනිටා හිල් ගේ සාක්ෂි නිසි ලෙස ලබා නොගත්තේය යන චෝදනාව ඔහු ට එල්ල විය.

2019 වසරේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වු බයිඩන් “ඇයට සැලැකූ ආකාරය පිළිබඳ” තමා කණගාටුවට පත්වන බව කියා සිටියේ ය.

2000 දශකය

RON GALELLA / GETTY IMAGES

ට්‍රම්ප් සහ මලානියා 1998 වසරේදී

2003 වසරේ දී, ව්‍යාපාරිකයකු සහ මාධ්‍ය ප්‍රතිරූපයක් ලෙස තමාගේ ප්‍රසිද්ධියෙන් ප්‍රයොජනයක් ගත් ට්‍රම්ප් රියැලිටි තරගයක් ඇරඹුවේ ය. මෙහි ජයග්‍රාහයාට ඔහු ගේ ව්‍යාපාරයක කළමනාකාර මට්ටමේ රැකියාවක් දිනා ගත හැකි විය. එම රියැලිටි තරගය සීසන් 14 ක් පුරා පැවැත්වුණු අතර, ඒ කාලය තුළ රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් ඔහුට ඩොලර් මිලියන 213 ක් ගෙවූ බව හෙළි කළේය.

මේ අතර 2005 වසරේ දි ඔහු ඔහු ගේ වත්මන් බිරිද වන මෙලානියා ක්නාවුස් විවාහ කර ගත්තේ ය. ඇය යුගෝස්ලෝවියාවේ උපත ලද මෝස්තර නිරූපිකාවකි. මේ විවාහයෙන් ඔහුට බැරන් විලියම් ට්‍රම්ප් නමින් පුතකු සිටියි.

JOE RAEDLE / GETTY IMAGES

බරාක් ඔබාමාගේ පාලන සමයේදී උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට සැරසී. ජනාධිපතිවරණය අතරතුර

නැවතත් ඉවත් වන්නට පෙර, ජෝ බයිඩන්ට ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාවක් 2008 වර්ෂයේ දී හිමිවි ය. ඔහු ගේ ඡන්ද ව්‍යාපාරය සාර්ථකත්වයක් නොදුටුව ද, 2008 වසරේ අගෝස්තු 23 වැනි දින බරාක් ඔබාමා බයිඩන් ඔහු ගේ උප ජනාධිපති බව ප්‍රකාශ කිරීමත් සමග ඔහු ජාත්‍යන්තර කීර්තියක් දිනා ගන්නට සමත් වූයේ ය.

බරාක් ඔබාමා සහ බයිඩන් අතර සමීප වෘත්තීය සම්බන්ධතාවක් වු අතර බයිඩන් කීප අවස්ථාවක ම ඔබාමා ඔහු ගේ සහෝදරයා යැයි කියා ඇත.

2010 දශකය

CARLOS BARRIA / REUTERS

2017 ජනවාරි මාසයේ පැවැත්වූ පදවි ප්‍රාප්ති උත්සවයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුල

2015 වසරේ ජූනි වන තෙක් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ට්‍රම්ප් කියා සිටියේ නැත. ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් ආචාරශීලී නොවන අදහස් පළකිරීම් යනාදී කරුණු රැසක් හේතු කොට ගෙන ඔහු එම ධූරයට නුසුදුසු බවට බොහෝ දෙනා අදහස් පළ කළහ. එය එසේ වූවත්, එක්සත් ජනපද ජනතාව ඔහු එරට 45 වැනි ජනාධිපතිවරයා ලෙස 2017 වසරේ ජනවාරි 20 වැනි දින තෝරා පත් කර ගත්හ.

MICHAEL REYNOLDS / GETTY IMAGES

බරාක් ඔබාමා සහ ජෝ බයිඩන්, (2010) ධවල මන්දිරයේදී

ඔහු ගේ ජනාධිපති ධූරයේ අවසාන දින කීපයේ පවත්වන ලද උත්සවයක දී බරාක් ඔබාමා ජෝ බයිඩන්ට නිදහසේ ජනාධිපති පදක්කම පිරිනැමුවේ ය – මෙය එම රටේ සිවිල් වැසියකුට ලැබිය හැකි විශාල ම ගෞරවය යි.

“ජෝ බයිඩන් හදුනා ගැනීම යනු, ව්‍යාජ බවින් තොර ප්‍රේමය හඳුනා ගැනීමත්, ආත්මාර්ථයෙන් තොර සේවාව හදුනා ගැනීමත් ජීවිතය සම්පූර්ණයෙන් ම ගත කිරීමත් වේ” යැයි ජනාධිපති ඔබාමා පැවැසුවේ ය.

2020

WIN MCNAMEE / GETTY IMAGES

දින 3 ක් කෝවිඩ්-19 හේතුවෙන් රෝහල්ගත වී සිටි ට්‍රම්ප්ධවල මන්දිරයට පැමිණ මුහුණු වැසුම ගළවා දමයි. 2020 ඔක්තෝබර්

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැවත් පත්වීමේ ඡන්ද ව්‍යාපාරය සිදු කෙරුණේ කොරෝනා වෛරස ගෝලීය වසංගතය පැවැති අතරතුර ය. ඇමරිකානුවන් 230,000ක් මිය ගොස් ඇති අතර ජනාධිපතිවරයාට ද ජනාධිපති ආර්‍යාවට ද පුතු බැරන්ට ද රෝගය වැළැඳුණේ ය.

ROBERTO SCHMIDT / GETTY IMAGES

බයිඩන් සිය ඡන්ද ව්‍යාපාරය අතරතුර. 2020 ඔක්තෝබර් 10

මේ අතර ජනාධිපති ට්‍රම්ප් කොරෝනා වෛරස තත්ත්වයට මුහුණ දෙන අන්දම එම රෝගීන්ට ද අපහාසයක් බව ජෝ බයිඩන් කියා සිටියේය.

“මා ජයග්‍රහණය කළත්, මේ ගෝලීය වසංගතය අවසාන කිරීමට ඉතා වෙහෙස වී වැඩ කළ යුතු වනවා” යැයි ඔහු පැවසුවේය. මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි