×

ෂාරුක් ඛාන් ට ලන්ඩන් සරසවියෙන් ආචාර්ය උපාධියක්

හින්දි සිනමාවේ ‘ප්‍රේමයේ රජු‘ යැයි විරුදාවලි ලත් සුපිරි නළු ෂාරුක් ඛාන් හට ලන්ඩනයේ නීති සරසවියෙන් තවත් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ.


ඒ, Philanthropy හෙවත් මානව හිතවාදිත්වය වෙනුවෙනි.

මේ වන විට ෂාරුක් ඛාන්ට ගෞරව ආචාර්ය උපාධි 3 ක් ලැබී තිබේ. මීට පෙර ඔහුට මෙම ගෞරව ආචාර්ය උපාධි පිරිනමා තිබෙන්නේ එංගලන්තයේ බෙඩ්ෆෝඩ්ෂයර් සහ එඩින්බර්ග් සරසවි විසිනි.

බ්‍රහස්පතින්දා (ඊයේ) ෂාරුක් ඛාන් හට මෙම ගෞරව උපාධිය පිරිනමනු ලැබුවේ ශිෂ්‍යයන් 350 දෙනෙක් පමණ සහභාගි වූ උපාධි ප්‍රදානෝත්සවයකදී ය.

දශක ගණනක් මුළුල්ලේ නළුවෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, මානව හිතවාදියෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස අති සාර්ථක ගමනක නිරත වන ෂාරුක් ඛාන්, ඉන්දියාව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කිරීම සඳහා ද ජනාදරයට පත් විය. ඉන්දියාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා ‘පල්ස් පෝලියෝ‘ යනාදී සංවිධානවල ද ඔහු කැපී පෙනෙන මෙහෙයක් ඉටු කර තිබේ. මේක් – අ -විෂ් පදනම (Make-a-Wish Foundation) ඇතුළු පුණ්‍ය ආයතන ගණනාවක් සමග ද ෂාරුක් ඛාන් සමීප ලෙස කටයුතු කර තිබේ.

නමුත් එවැනි මානව හිතවාදී, පුණ්‍ය කටයුතු තරමක නිහඬතාවයකින් යුතුව සිදුකිරීම ෂාරුක් ඛාන්ගේ ලක්ෂණයකි. ඒ ගැන ඔහු අපූරු කතාවක් ද කියයි.

‘‘පුණ්‍ය කටයුතු නිහඬව සහ අභිමානයෙන් යුතුව කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. මොකද එහෙම නැති වුණොත් එ් වැඩ කිරීමේ අරමුණ නැති වෙනවා. ප්‍රසිද්ධ පුද්ගලයෙක් විදිහට මට තිබෙන සමාජ තත්වය, මගේ හදවතට සමීප දේවල් සඳහා යොදාගන්නට මට පුළුවන් වුණා. කාන්තාවන් සවිබල ගැන්වීම, ඌන වරප්‍රසාදිත අය පුනරුත්ථාපනය සහ මූලික මානව හිමිකම් වෙනුවෙන් මම වැඩ කරනවා. මා මේ ගෞරව උපාධිය නිහතමානීව පිළිගන්නවා වගේම මේ සඳහා මා තෝරාගත් අයට ස්තූති කරනවා“. යැයි ලන්ඩනයේදී ඔහු ප්‍රකාශ කළේය.

ෂාරුක් ඛාන් ට මේ වන විට තමන්ගේම පුණ්‍ය කටයුතුවල යෙදෙන සංවිධානයක් තිබේ. එය රාජ්‍ය නොවන සංවිධානයක් යැයි ද කිව හැක. එහි නම Meer Foundation ය. එය මූලික වශයෙන් ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන්ට උපකාර කිරීමටත්, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ත් කටයුතු කරයි. 2018 වසරේදී ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වූ ලෝක ආර්ථික සංසදයේදී ඇසිඩ් ප්‍රහාරවලට ලක්වූවන් වෙනුවෙන් සිදුකළ මෙහෙය සඳහා ෂාරුක් ඛාන් හට ‘ක්‍රිස්ටල් සම්මානය‘ ද පිරිනැමුණේය.

කෙසේ නමුත් ලෝකයට පෙනෙන්නට හොරණෑ පිඹිමින් පින් වැඩ කරන අයට ෂාරුක් ඛාන්ගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝ ය.

ඔහු මෙසේ කියයි.

‘‘ලෝකය විසින් මට දුන් බොහෝ දේවල්, මමත් ලෝකයට ආපසු ලබාදිය යුතුයි!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි