×

ලන්දේසි ඔටුන්නට සමරිසි විවාහයක් උරුමකම් කියයි ද?

සමරිසි විමුක්තියේ දෙවොල මෙන් යැයි හැඳින්වෙන නෙදර්ලන්තයේ රාජකීය පවුල පිළිබඳවයි මෙම පුවත වාර්තා වෙන්නේ.


නෙදර්ලන්තයේ භාරකාර රජයේ අග්‍රාමාත්‍ය මාර්ක් රුට් මහතා පවසා සිටියේ ලන්දේසි රජපෙළපතේ ඔටුන්න හිමි රජු හෝ රැජිණ ට සමාන ලිංගයේ පුද්ගලයකු හා විවාහ ගිවිස ගැනීමට නීත්‍යානුකූල බාධාවක් නොමැති බවයි.

‍නෙදර්ලන්තය යනු සමරිසි විවාහයට නීත්‍යානුකූලභාවය ලබාදුන් ලොව පළමු රාජ්‍යයයි. ඒ 2001 වර්ෂයේදී ය. නමුත් මෙම නිදහස එරට ලන්දේසි රජ පෙළපතට වලංගු නොවන බවට ඇතැමුන් ගේ විග්‍රහය විය.

නෙදර්ලන්තයේ ඔටුන්න හිමි ඇමේලියා කුමරිය එළඹෙන දෙසැම්බරයේදී වයස 18 සම්පූර්ණ කිරීමට නියමිත අතර, එරට රජයේ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ සෛද්ධාන්තික වශයෙන් රජපෙළපතේ ඔටුන්න හිමි පුද්ගලයාට සමරිසි විවාහයක් කර ගැනීමට හැකි බවයි.

ඒ අනුව ඔටුන්න හිමි තැනැත්තා සමරිසි විවාහයක් සිදුකර ගන්නේ නම් එයට ඔටුන්න අත්හළ යුතු යැයි නෛතිකමය බාධාවක් තම කැබිනට් මණ්ඩලය නොදකින බව අග්‍රාමාත්‍ය මාර්ක් රූට් මහතා අවධාරණය කරයි.

ඇමේලියා කුමරිය ලන්දේසි රජු විලියම් ඇලෙක්සැන්ඩර් ගේ වැඩිමහල් දියණියයි. ඈට කිරුළ හිමි වූ පසු ඈ තෝරා ගන්නේ විරුද්ධ ලිංගයේ සහකරුවකු ද සමාන ලිංගයේ සහකාරියක ද යන විවාදය බොහෝ දෙනෙකු අතර මේ වන විට පැන නැඟී පවතී.

කෙසේවෙතත් ඇමේලියා කුමරිය තවමත් අධ්‍යාපනය හදාරන අතර ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරක් මේ දක්වා කිසිදු මාධ්‍යයකට වාර්තා වී නොමැත. ඒ අනුව නුදුරේදී ලන්දේසි රජමැදුරේ විවාහ ගිවිසගැනීමක් ගැන ද කිසිදු තොරතුරක් වාර්තා නොවේ.

නෙදර්ලන්තයේ ඔටුන්න හිමි පුද්ගලයා සමරිසි විවාහයක් සිදුකර ගැනීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති වූවද, ඈ ශුක්‍රාණු දායකයකුගේ උපකාරයෙන් දරුවකු ලැබීමට තීරණය කරයි නම් ඒ අනුව එම දරුවා ඇගේ අනුප්‍රාප්තිකයා වනු ඇති ද යන්න පිළිබඳව නිශ්චිත විග්‍රහයක් ලබා දීමට නොහැකි බවද නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.

Photo: GETTY



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි