×

කොවිඩ්-19 නිසා ඊජිප්තුවේ එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයන්ගේ ජීවිත අනතුරේ!

ඊජිප්තුව තුළ එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් 22,000 පමණ සිටින බවට ඇස්තමේන්තු කොට තිබේ.


ඊජිප්තුවේ කොවිඩ්-19 වසංගත තත්ත්වය මත එච්අයිවී සමඟ ජීවත්වන පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා බාධක රැසක් හටගෙන තිබෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනාවරණය කරයි.

එම සංවිධානය අවධාරණය කරන්නේ ඊජිප්තු බලධාරීන් එච්අයිවී සමඟ ජීවත්වන ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ මීට වඩා සැලකිය යුතු බවත්, ආරක්ෂිත අන්දමින් සිය ප්‍රතිකාර සඳහා යොමුවීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කඩිනම් පියවර ගත යුතු බවත් ය.

වත්මන් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ එච්අයිවී සමඟ ජීවත්වන ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පවතින අවධානය අවම වී පවතින බව ඔවුහු පෙන්වා දෙති.

ඊජිප්තු රජය පසුගිය මාර්තු 9 වන දින එරට උණ රෝහල් සියල්ල කොවිඩ්-19 මර්දනය සඳහා වූ මධ්‍යස්ථාන බවට පත්කරන බව ප්‍රකාශ කර තිබිණි. ගැටළුව වන්නේ ඊජිප්තුවේ එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයන් හට අවශ්‍ය වෛරස ප්‍රතිරෝධී ඖෂධ (Antiretroviral Treatments: ART) ලබා ගත හැකි එකම ස්ථානය වන්නේ උණ රෝහල් වීමයි. හියුමන් රයිට්ස් වොච් සංවිධානය කළ විමසුමක දී ඊජිප්තුවේ එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් පෙන්වා දී තිබෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි සැකෙන් ඔවුන් උණ රෝහල් වලට යාමට බියෙන් පසුවන බවයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ එරට සෞඛ්‍ය අංශ වැඩි අවධානය යොමු කර තිබෙන්නේ එම වසංගත තත්වය මර්දනය කිරීමට බැවින් එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් හට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඇති ඉඩ ඇහිරී ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

නිධන්ගත රෝග සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතීන් සහිත පුද්ගලයින් කොවිඩ්-19 අවදානමට ලක්වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ, ARTප්‍රතිකාර මත වෛරස පාලනය කර සිටින එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් හා එච්අයිවී ආසාදිත නොවන පුද්ගලයින් අතර කොවිඩ්-19 ව්‍යාප්ත විමේ විෂමතාවක් පවතින බවට විද්‍යාත්මක සාක්ෂි හමුවී නොමැති බවයි.

එහෙත් ගැටළුව වන්නේ මෙය නොවේ. බරපතල එච්අයිවී තත්වය (advanced HIV; ඇතැම් විට ඒඩ්ස් තත්වය යැයි හඳුන්වන) සිරුරේ CD4 ප්‍රතිශතය අතිශයින් පහළ මට්ටමක පවතින එච්අයිවී ආසාදිත පුද්ගලයින් හට මෙහි බලපෑමක් ඇතිවීමට ඉඩ තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් විද්වතුන් පෙන්වා දෙන්නේ ඊජිප්තුවේ අදටත් එච්අයිවී ආශ්‍රිත ප්‍රතිකාර ලබා ගැනීමට සෞඛ්‍ය අංශ වෙත පිවිසීමට නොහැකි පුද්ගලයින් රාශියක් ජීවත් වන බවයි. තම එච්අයිවී තත්වය පෙර සිටම හඳුනා ගත්තද, ප්‍රතිකාර ලබා ගැනීමට වත්කමක් නොමැති හෝ එච්අයිවී වටා වූ විවිධ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් හේතුවෙන් තම වෛරස මට්ටම පාලනය (viral load suppression) කර ගැනීමට නොහැකි වූ පුද්ගලයින් බරපතල එච්අයිවී තත්වයට පත්ව ඒඩ්ස්-ආශ්‍රිත මරණයන් ට (AIDS-related deaths) ගොදුරු වන බව පැවසේ.

එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබා ගැනීමට රෝහල් වෙත පිවිසීම අවම කොට පහසුකම් සලසා දීම හා එමඟින් ඔවුන් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වා ලීමට ඊජිප්තු රජය වහා කටයුතු කළ යුතු බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරයි. මේ සඳහා විකල්ප බහු-මාස ඖෂධ බෙදා හැරීමේ මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බවට ද ඔවුහු යෝජනා කරති.

ඊජිප්තු රජය මාර්තු 9 වන දිනට කළ ප්‍රකාශයට සමගාමීව කයිරෝ නගරයේ ප්‍රධානතම උණ රෝහල් ත්‍රිත්වය වන ඉම්බාබා, අබාස්සියා සහ හෙල්වන් රෝහල් කොරෝනා නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කරන ලදී. එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාවන් හට තම ඖෂධ ලබා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ සඳහනක් ඊජිප්තු රජය විසින් ප්‍රකාශ කර නොතිබිණි. එච්අයිවී සමඟ ජීවත්වන පුද්ගලයින් හට එම රෝහල් වලින් ඖෂධ ලබා ගැනීමේදී කොරෝනා වෛරසයට නිරාවරණය වීම අවම කරන්නේ කෙසේද යන්න පවා ඔවුන් සඳහන් කර නොමැත. වෛරස ආශ්‍රිත ආසාදන වල බලපෑම පවතින්නේ මනුෂ්‍යයින් ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මත බැවින්, එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් හට තම ඖෂධ ලබැ ගැනීමට නොහැකි වන්නේ නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමේ අවදානම ඉහළ යා හැකිය. එමඟින් කොරෝනා ආසාදනයට ගොදුරු වීමද වළක්වා ගත නොහැකි වනු ඇත.

එච්අයිවී පාලනය කිරීමෙහි ලා අඛණ්ඩ ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් අතර, එමඟින් වෛරස ප්‍රමාණය ශරීරයේ අවම වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම ආදී වාසීන් බොහොමයක් එච්අයිවී සමඟ ජීවත් වන ප්‍රජාව හට ලැබේ. කෙසේවෙතත්, අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යාම තුළ අවස්ථාවාදී ආසාදන වලට හිස එසවීමේ වැඩි අවදානමක් ජනිත කරනු ලබයි.

මෙම වර්ෂයේ මාර්තු මාසයේදී ම UNAIDS සංවිධානය විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ කොවිඩ්-19 වසංගත තත්වය මත එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා සියළු රජයන් කටයුතු කළ යුතු බවයි. එමෙන්ම එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න සිය නිවේදනයේ දක්වා තිබිණි.

ඊජිප්තුවේ UNAIDS හි උපදේශකයෙකු හියුමන් රයිට්ස් වොච් සංවිධානය වෙත පවසා තිබෙන්නේ, ඊජිප්තුවේ කොවිඩ් -19 ආරම්භ වූ පෙබරවාරි මැද භාගයේ සිට ඊජිප්තු ජාතික ආධාර පාලන වැඩසටහන සමඟ සම්බන්ධීකරනය කරමින්, එච්අයිවී සඳහා අවශ්‍ය ART ප්‍රතිකාර ලබාදීමේ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනු ඇති බවයි. එමඟින් එච්අයිවී ප්‍රතිකාර සඳහා විකල්ප බහු-මාස ​​බෙදා හැරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම රජයේ අපේක්ෂාව බව ඔහු සඳහන් කර තිබිණි. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ඊජිප්තු රජය තවමත් මෙවන් විකල්ප බහු-මාස ​​බෙදා හැරීමේ මධ්‍යස්ථාන පිහිටුවා නොමැත.

එවන් මධ්‍යස්ථාන පිහිටුවීමේදී ඊජිප්තු රජය ආන්තික ජන කණ්ඩායම් වල අවශ්‍යතාවයන් සපුරාලන්නේ දැයි පිළිබඳව ද සොයැ බැලිය යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කර සිටියි. ඊජිප්තුවේ එච්අයිවී සමඟ ජීවත් වන සමරිසි පුද්ගලයින් දෙදෙනෙකු හියුමන් රයිට්ස් වොච් වෙත අනාරවණය කොට තිබෙන්නේ තම ලිංගික දිශානතිය නිසා එච්අයිවී ආශ්‍රිත ප්‍රතිකාර ලබා ගැනීමේදී වෙනස්කොට සැලකීම් වලට මුහුණ පෑමට සිදුවූ බවයි. ඒ ඊජිප්තුව තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හටගැනීමටත් පෙරයි.

ඊජිප්තුව තුළ එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් 22,000 පමණ සිටින බවට ඇස්තමේන්තු කොට තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි