×

‘සුල්තාන් රාජ්‍යයේ‘ ගල් ගසා මැරීමේ වියරුවට එල්ටන් ජෝන් ද එරෙහි වෙයි.

සුපිරි ගායක එල්ටන් ජෝන්, ඔස්කාර් සම්මානලාභී ජෝර්ජ් ක්ලූනි මෙන්ම බෘෘනායි රාජ්‍යයට අයත් හෝටල් දාමයන් වර්ජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.


එල්ටන් ජෝන් මෙසේ විරෝධය පළ කරන්නේ අප්‍රේල් 3 වැනිදා පටන් බෘෘනායි රාජ්‍යය සමරිසියන්ට එරෙහිව දැඩි ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ව ගල් ගසා මරණයට පත් කිරීමේ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ය. මේ සම්බන්ධයෙන් ඔහු විසින් ට්විටර් සටහනක් ද පළ කර ඇත.

72 හැවිරිදි එල්ටන් ජෝන්, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම සංගීතඥයෙකු වන අතර සමරිසියෙකු මෙන්ම සමරිසි අයිතිවාසිකම් (LGBT rights) වෙනුවෙන් පෙනී සිටින්නෙකු ද වේ.

සෙන්ට්‍රල් ලන්ඩනයේ පාක් ලේන් හි ඩෝෂෙස්ටර් සුපිරි හෝටලයේ හිමිකාරිත්වය දරන්නේ බෘෘනායි රාජ්‍යයයි.

එහි කාර්ය මණ්ඩලය පිළිබඳ තමන් කණගාටු වන නමුත්, සුල්තාන්ගේ වියරු පාලනයට එරෙහිව තමන් විසින් පණිවුඩයක් ලබාදිය යුතුව ඇතැයි ද එල්ටන් ජෝන් සඳහන් කරයි.

බ්‍රිතාන්‍යය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල බෘෘනායි හි සුපිරි හෝටල් දාමය පිහිටා ඇත. ලොස් ඇන්ජලීස් හි සුප්‍රසිද්ධ බෙවර්ලි හිල්ස් හෝටලයේ හිමිකාරිත්වය දරන්නේ ද බෘෘනායි රාජ්‍යයයි.

පසුගියදා සුපිරි නළු ජෝර්ජ් ක්ලූනි, බෘෘනායි හිමිකාරිත්වය දරන හෝටල් 9 ක් නම් කරමින් ඒවා වර්ජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

‘‘මේ හෝටල් නවයේ අප ලැගුම් ගන්නා හෝ රැස්වීම් පවත්වන හෝ ආහාර පාන ගන්නා සෑම අවස්ථාවකදීම, සමරිසි වීම නිසා හෝ අනාචාරී වීම නිසා තමන්ගේම රටේ පුරවැසියන්ට ගල් ගසා මරන හෝ කස පහර දී මරා දමන මිනිසුන්ගේ පසුම්බිවලට අප කෙළින්ම මුදල් දමනවා…!“

හසන් බෝල්කියාගේ ධනස්කන්ධයේ මහිමය

සුල්තාන් මේ වන විට විවාහ වී සිටින්නේ තමන්ගේ නෑනා වන සලීහා රැජින සමග ය. මුලින් ම ඔහු ඇය සමග 1965 වසරේදී විවාහ විය. ඇය විසින් දරුවන් 6 දෙනෙක් බිහි කර සිටියදී 1982 වසරේදී ගුවන් සේවිකාවක සමග විවාපත් විය. 2003 වසරේදී ඇය තමන්ට ද්‍රෝහි වූ බව කියමින් දික්කසාද කරන විට ඇය සුල්තාන්ට දාව දරුවන් 4 දෙනෙකු වදා තිබිණි. ඉන්පසු 2005 වසරේදී අස්රිනාස් කුමරිය සමග විවාපත් වී 2010 වසරේදී ඇයව දික්කසාද කළේය. මේ විවාහ තුනෙන් සුල්තාන්ට දරුවන් 12 දෙනෙකි.

සුල්තාන් හසන් බෝල්කියා දැනට වසර 51 ක් තිස්සේ කිසිදු මැතිවරණයකින් තොරව රට පාලනය කරයි. ඔහු සිය දරු මල්ලන් ද පිරිවරාගෙන ජීවත් වන්නේ ලෝකයේ ලොකුම රජ මාළිගයේ (world’s largest residential palace) ය. එහි නම Istana Nurul Iman ය. බෘෘනායි හි 29 වැනි සුල්තාන්වරයා වන ඔහු රටේ අගමැති, මුදල් ඇමති මෙන්ම ආරක්ෂක ඇමති ද වේ. 2016 වසරේදී තායිලන්තයේ භූම්බෝල් අදුලියරාලෙජ් රජු මිය යාමෙන් පසු වත්මන් ලෝකයේ සිටින ධනවත්ම රජු වශයෙන් සැලකෙන්නේ බෘෘනායි හි සුල්තාන් ය. ඔහුගේ දළ වත්කම 1990 දශකයේ මුල භාගයේදී ඇමරිකානු ඩොලර් බිලියන 40 ක් බව කියැවේ. රෝල්ස් රොයිස් කාර් 600 ක් සහ ෆෙරාරි මෝටර් රථ 300 ක් පමණ ඔහු සතුව ඇති බව ද ඇතැම් වාර්තාවක දැක්වේ.

Melange Magazine
Melange Magazine
trynotlaughs.us
trynotlaughs.us

බෘෘනායි හි සුල්තාන්වරයා ලෝකයෙන් හුදෙකලා වූ ජීවිතයක් ගත කළ අයෙක් හෝ ජාත්‍යන්තරය විසින් කොන් කර තිබූ චරිතයක් නොවේ. 1980 දශකයේ එනම් ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන්ගේ සමයේදී ඔහු ඇමරිකාවට ඩොලර් මිලියන 10 ක ධන පරිත්‍යාගයක් කළ බව සඳහන් ය.

සාමාන්‍යයෙන් මිලියන ගණන් වියදම් කර ලන්ඩනයේ සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ද බෘෘනායි හි සුල්තාන් ලෝක ප්‍රසිද්ධ ය. 1984 වසරේදී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලද විට ඔහු ඩොලර් මිලියන 350 ක් වැය කර මාළිගයක් තනා ගත්තේය. ඒ හැරුණුවිට එංගලන්තය, ඇමරිකාව ආදී රටවල් ගණනාවක ද ඔහුට නිවාස හිමි ය. ලස් වේගස් හි ඔහුගේ මන්දිරය පිහිටා තිබෙන්නේ අක්කර 11 ක භූමිභාගයක ය.

සිය 50 වැනි උපන් දිනයට බෘෘනායි සුල්තාන් කාමර 1788 කින් යුතු අලුත් මාළිගාවක් ඉදිකර එය තමන්ටම තෑගි කර ගත්තේය. සුපිරි ගායක මයිකල් ජැක්සන් ට ඩොලර් මිලියන 17 ක් ගෙවා එහි ගෙන්වා ගෙන කදිම ප්‍රසංගයක් ද පැවැත්වීය. ඒ වෙනුවෙන්ම අති දැවැන්ත ප්‍රසංග මණ්ඩපයක් ද ඉදි කළේය.

IBTimes UK
IBTimes UK

බෘෘනායි සුල්තාන් බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා සමග පෝලෝ සෙල්ලම් කළේය. 1995 වසරේදී ලන්ඩනයේ සුප්‍රසිද්ධ ඇස්ප්‍රි ආභරණ සමාගම ඩොලර් මිලියන 375කට මිලදී ගත්තේය. එම සමාගම ‘රැජිනගේ ආභරණ සපයන්නා‘ ලෙස නම් දිනූ බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදායික ආභරණ සැපයුම්කරු වේ.

සුල්තාන්ට අතීතයේ සුපිරි මිතුරෝ රැසක් සිටියහ. මෙම ලැයිස්තුවට එල්ටන් ජෝන්, ඩයනා රෝස්, ස්ටීව් වොන්ඩර්, බොන් ජොවි, ටීනා ටර්නර් වැනි සුපිරියෝ රැසක්ම අයත් වෙති.

අද මෙසේ බෘෘනායි රාජ්‍යය වර්ජනය කරන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටින සුපිරි ගායක එල්ටන් ජෝන් පවා එකල බෘෘනායි සුල්තාන්ගේ ඉල්ලීම මත එහි ගොස් සංගීත ප්‍රසංග පැවැත්වූ අයෙකි. බෘෘනායි හි සුල්තාන් මෙතරම් වියරු ඒකාධිපතියෙකු බව එල්ටන් ජෝන් දැන සිටියා නම්, නිසැක වශයෙන්ම ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ඇත.

globalnation.inquirer.net
globalnation.inquirer.net


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි