×

වසර 20කින් තිරිහන් වීමේ අයිතිය අහිමි වූ එමිලි

සිය උපන් දිනය 1949 මාර්තු 11 වන දා සිට, 1969 මාර්තු 11 යනුවෙන් වෙනස් කර වසර 20 කින් තිරිහන් වීමට අවශ්‍ය කර තිබෙන එමිල් රැට්ල්බෑන්ඩ් (Emile Ratelband) නමැති ඕලන්ද ජාතිකයෙකු පිළිබඳ අපි මීට පෙර ලිපියකින් හෙළි කර සිටියෙමු.


ආදරය කිරීමේ අයිතිය පතා, තරුණ පෙනුමට ගැළපෙන පරිදි උප්පැන්න සහතිකය සං‍ශෝධනය කර ගැනීම පිණිස ඔහු නීතියේ පිහිට පතා සිටියේ වයස 69 ක් වීම නිසා තමන්ට හිමිවී තිබෙන විශ්‍රාම වැටුපට ද පයින් ගසමිනි.

තමන්ගේ වයස අවුරුදු 69 ක් යැයි ඩේටින් ඇප්ස්වල සඳහන් කළ විට, තමන්ට සබඳතා පැවැත්වීම සඳහා අවශ්‍ය සහකරුවන් නොලැබී යන බවත්, එයින් තමන්ට පුද්ගල සබඳතා ඇති කර ගැනීමට තිබෙන අවස්ථාවන් අහිමි වන බවත් ඔහු සඳහන් කර තිබිණි.

නමුත් මේ වන විට මේ ගැටළුවට අදාළ තීන්දුව ලැබී තිබෙන අතර, අධිකරණය එහිදී සඳහන් කර සිටියේ ඒ සඳහා නීතියෙන් අවසර ලබාදිය නොහැකි බවයි.

EPA

EPA

එමිලි රැට්ල්බෑන්ඩ් නඩු පවරමින් කියා තිබුණේ, තමන්ට වසර 20කින් තරුණ වීමේ අයිතිය ලබානොදෙන්නේ නම් එය වෙනස්කොට සැලකීමක් බව ය.

‘‘අපි ජීවත් වන්නේ ඔබේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කර ගත හැකි යුගයකයි. එහෙම නම් මට මගේ වයස වෙනස් කර ගන්න බැරි ඇයි?“ යනුවෙන් ඔහු විමසා තිබිණි.

ඕලන්ද අධිකරණය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ, වයස පදනම් කරගෙන ලැබෙන නෛතික අයිතීන් ගණනාවකට මෙය අදාළ වන බව පවසමිනි. ඒ නිසා වයස හිතුමතයට වෙනස් කර ගැනීම, ගැටළු ගණනාවකට හේතු වන බව ද අධිකරණය ප්‍රකාශ කළේය.

ඒ සඳහා කිසිදු නෛතික පදනමක් නොමැති බවත් අධිකරණය තවදුරටත් පැවසුවේය.

‘‘රැට්ල්බෑන්ඩ් මහතාට තමන් අවුරුදු 20 කින් බාල බව සිතීමට නිදහස තිබෙනවා. ඒ අනුව ක්‍රියාකිරීමටත් නිදහස තිබෙනවා“ යැයි විනිසුරු මණ්ඩලය පැවසුවේ, ‘එසේ වුවත්, ඒ අන්දමින් ලේඛන වෙනස් කිරීම සමාජමය හා නෛතික වශයෙන් ගැටළු ඇති කරන බව‘ ද පෙන්වා දෙමිනි. ‘නීතිමය වශයෙන් අවුරුදු 20 ක් මකා දමන්නට හැකියාවක් නැහැ‘ යැයි ද අධිකරණ විනිසුරු මඬුල්ල කියා සිටියහ.

මේ තීන්දුව මගින් ඔහුව වෙනස්කොට සැලකීමකට ලක් කර ඇතැයි ඔහුට සිතෙන්නේ නම් ඒ සඳහා වෙනත් නීතිමය ප්‍රතිකර්මවලට යොමුවන ලෙසත් අධිකරණය ඔහුට කියා තිබේ.

හැම දෙයක්ම ධනාත්මක ලෙස සිතන රැට්ල්බෑන්ඩ්, වෘත්තියෙන් ද ධනාත්මක පුහුණුකරුවෙකි. මේ අසාමාන්‍ය ඉල්ලීමත් සමග ඔහු මුළු ලෝකයේම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්ව තිබේ. නඩු තීන්දුවෙන් පසු ඔහු දක්වන අදහස් කවරේදැයි දැනගැනීම සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් අධිකරණ භූමියට පැමිණ තිබිණි.

පෙර ලිපිය –
වසර 20කින් තිරිහන් වීමේ අයිතිය පතා සංක්‍රාන්ති ලිංගිකයෙක් පෙරට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි