×

පරිසරයට වින කටින ‘කළු ප්ලාස්ටික්‘ කෑම අසුරණ 

ආහාර අසුරා තැබීමට භාවිත කරන ප්ලාස්ටික් ඇසුරුම්වලින් විශාල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බව බ්‍රිතාන්‍ය බලධාරීහු පෙන්වා දෙති.


යෝගට් කෝප්ප, අයිස් ක්‍රීම් බඳුන්, සහ සෙසු ආහාර වර්ග අසුරා තැබීමට ගන්නා බන්දේසි ආදිය මෙයට ඇතුළත් බව සඳහන් වේ. බහු අවයවක මිශ්‍රණ යොදාගෙන සකසා තිබීම නිසා ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. ඒ හැරුණුවිට ගුණාත්මක තත්ත්වයෙන් පහළ මට්ටමේ පවත්නා ආහාර ඇසුරුම් ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි මට්ටමේ පවතී. මේ නිසා ආහාර ඇසිරීමට බ්‍රිතාන්‍යය තුළ පමණක් භාවිතයට ගැනෙන ප්ලාස්ටික් බඳුන් ටොන් 525,000කින් ටොන් 169,000ක් පමණක් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බව වාර්තා වේ. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට භාජනය කෙරෙන්නේ එරට භාවිතයට ගැනෙන සමස්ත ආහාර ඇසුරුම්වලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් පමණි. ඉතිරියෙන් වැඩි ප්‍රමාණයක් ඉඩම් ගොඩ කිරීම ආදී කටයුතු සඳහා යොදා ගැනෙන බව බ්‍රිතාන්‍ය බලධාරීහු සඳහන් කරති.

getty images

getty images

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කටයුතු භාර නිළධාරීන් පවසන්නේ කළු පැහැ ආහාර ඇසුරුම් පරිසරයට වඩාත් අහිතකර බවකි. ඒ, ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බැවිනි. එවැනි කළු පැහැ ඇසුරුම් බොහෝ දුරට සමාන වන්නේ බන්දේසිවලට ය. ඒවායෙහි බහා අලෙවි කරන්නේ “මයික්‍රෝවෙව් මීල්ස්” වශයෙන් ලේබල් කර ඇති ආහාර වර්ගයි. ආහාර එම කළු පැහැ බන්දේසියත් සමඟම සූක්ෂ්ම තරංග උදුනක බහා රත් කර කෑමට ගැනීම සාමන්‍ය ක්‍රමයයි. කළු පැහැ ආහාර ඇසුරුම් භාවිත කරන්නේ ආහාර හොඳින් කැපී පෙනීම සඳහායි. එසේ වුවත් එම බඳුන්වල කළු පැහැය ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රවල ස්කෑන්වලට හඳුනා ගත නොහැකි වීම විශාල ගැටලුවක් වී ඇත. මේ නිසා එවැනි බඳුන් ප්‍රතිචක්‍රීකරණය කිරීම මුලුමනින්ම අඩාල වී තිබේ.

getty images

getty images

එළවලු සහ පළතුරු බහාලීම සඳහා භාවිතයට ගන්නා ප්ලාස්ටික් වට්ටි ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු බැව් තහවුරුව ඇත. එයට හේතුව, පොලිස්ටරීන් නමැති රසායනිකයේ විවිධ ප්‍රභේද භාවිතයට ගෙන ඒවා නිපදවා තිබීමයි. මේ රසායනිකයන් සංකීර්ණ ව්‍යුහවලින් යුක්ත බැවින් ඒවායින් සකස් කළ බඳුන් ප්‍රතිචක්‍රීකරණ කිරීමට දුෂ්කර බැව් පැවසේ. මාගරින් සහ අයිස් ක්‍රීම් බහාලීම සඳහා භාවිතයට ගන්නා බඳුන් වැඩි වශයෙන් නිපදවා තිබෙන්නේ පොලිප්‍රොපිලීන් බහු අවයවක අඩංගු රසායනික යොදාගෙනය. මේ රසායනික සහිත බඳුන් ද ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බව බ්‍රිතාන්‍යය බලධාරීහු පෙන්වා දෙති. පොලිප්‍රොපිලින් සහ පොලිස්ටරීන් සංයෝගයෙන් නිපදවෙන යෝගට් කෝප්පද ප්‍රතිචක්‍රීකරණයෙන් බැහැරය. පාන්, කේක් වැනි ආහාර සකසා පුළුස්සා ගැනීමේදීත් ප්ලාස්ටික් බඳුන් භාවිතයට ගනු ලැබේ. එවැනි බඳුන් සකසා තිබෙන්නේ ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු රසායනිකයන් යොදාගෙන ය. මේ අනුව බලන විට ආහාර ඇසිරීම සඳහා යොදා ගැනෙන ප්ලාස්ටික්වලින් විශාල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකිව මහා පොළොව මත ගොඩගැසෙන බව සනාථ වේ.

2016 – 2017 කාල පරිච්ඡේදය තුළදී එංගලන්තයේ නිවාසවලින් ඉවත් කෙරුණු අපද්‍රව්‍යය ප්‍රමාණය ටොන් මිලියන 23.6කි. මෙයින් ටොන් මිලියන 10.3කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි විණ. මේ අනුව එහි නිවාසවලින් බැහැර කෙරෙන කැළි කසළවලින් 43.7%ක ප්‍රමාණයක් පමණක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව කිව හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි