×

රාවණ සුළං මැද පෙන්ග්වින් සටන්

චණ්ඩාල වෙරළේ විසිරෙන අහිංසකයන්ගේ රුහිරු


පෙන්ග්වින්ලාට දෛවය විසින් කර තිබෙන ලොකු ම සරදම නම්, උන්ට පියාඹන්නට නොහැකි වීමයි.

ඔබ උත්තර ධ්‍රැවයට හෝ දක්ෂිණ ධ්‍රැවයට සංචාරය කරන්නේ නම්, සාගරවල කුණාටු බහුල බව සහ සීතල ගතිය තව තවත් වැඩිවන ආකාරය දැකගත හැකි ය. හුදෙකලා මැරියන් දූපත මේ බව හොඳින් ම දනියි. එය පිහිටා තිබෙන්නේ දකුණු අපි‍්‍රකාව සහ දක්ෂිණ ධ්‍රැවය අතර හරි මැද ය. මේ විශේෂත්වයට අමතරව එය අති සුන්දර කිං පෙන්ග්වින්ලාගේ පාරාදීසයක් ද වේ.

මේ දූපතේ වෙරළ තීරය අතිශය ප්‍රචණ්ඩ ය. ගතිගුණ පවා චණ්ඩාල ය. එසේ වීමට විශේෂ හේතුවක් තිබේ. එය නම් එහි පිහිටීමයි. හුදෙකලා මැරියන් දූපත පිහිටා තිබෙන්නේ, දකුණු දිග අර්ධගෝලයට හමා එන ප්‍රබල ම බටහිර සුළං විශේෂය වන රෝරින්ග් ෆෝටීස්වලට මැදිව ය. මේ සුළං විශේෂය සිංහල බසින් හැඳින්වෙන්නේ රාවණ සුළං යනුවෙනි. අතීත රුවල් යුගයේදී යුරෝපයේ සිට නැඟෙනහිර ඉන්දීය දූපත්වලට හෝ ඔස්ට්‍රේලියාවට ගමන් කළ හැකි වූයේ මේ සුළංවල පිහිටෙන් පමණි.

අද වන විට රාවණ සුළංවලින් ඒ කර්තව්‍යය ඉටු නොවුණත්, එය මැරියන් දූපත් සම්බන්ධයෙන් නම් එදා මෙන්ම ප්‍රබල නළුවෙකි. සාගර පත්ලේ තැන්පත් ව තිබෙන ඛනිජ ආදී පෝෂණ ද්‍රව්‍ය නිරන්තරයෙන් ම කලඹාලනු ලබන්නේ මේ චණ්ඩ මාරුතය විසිනි. එනිසා ම මෙහි වසන කිං පෙන්ග්වින්ලාට යහමින් කෑම තිබේ. උන්ගේ සිරුරු මේ තරම් සැපවත් හා පුෂ්ටිමත් වන්නේ ද ඒ නිසා ය.

සිය දරුවන්ට කෑම සොයාදීම සහ පෙන්ග්වින් කොලනිය කෑමවලින් පොහොසත් කිරීම පෙන්ග්වින් අම්මලාගේ රාජකාරියයි. ඒ සඳහා උන් දින තුනක පමණ ධීවර චාරිකාවක යෙදිය යුතු ම ය. ඉක්බිති උහු වෙරළේ එක පොදියට රැස්වෙති. එවිට මේ මනරම් දේහධාරීන්ගේ හිස් මුදුනේ ඇති දීප්තිමත් කහපාට ලපය කැපී පෙනෙන්නට පටන් ගනියි.


අභියෝගය වන්නේ කෑම සොයාගෙන ඒම හෝ ඉන්පසු තොග පිටින් වෙරළේ එක්රැස්වීම නොවේ. ආපසු සිය කොලනිය වෙත යාමයි. මේ වෙරළ තීරය චණ්ඩාල බැව් කලින් ද කීවෙමි. දැන් ඒ බව මනාව පෙන්වමින් චණ්ඩාලයෝ රැසක් වෙරළේ රැස්කමින් සිටිති. උන් නම්, එලිෆන්ට් වර්ගයට අයත් සීල් මත්ස්‍යයන් ය. උන් විවේකීව හිරු රැස් තපිමින් සිටින බැව් බැලූ බැල්මට පෙනෙතත්, සීල් මත්ස්‍යයන් නුහුගුණකාරයන් ය. හොස්ස ළඟින් පෙන්ග්වින් ගේ ලෝම ගසක් හෝ ගියොත් කෝපයෙන් පුපුරන්නට පටන් ගනිති. නිතර ගොරවති. යෝධයන් සේ වෙරළ අහුරාගෙන සිටිති.

එහෙත් පිරිස් බලය අතින් කිංග් පෙන්ග්වින් ලා ශක්තිවන්තයන් ය. එක රොත්තක ලක්‍ෂ දෙකක් පමණවත් සිටිති. පැටවුන් සෑදීම හා පැටවුන් වැදීම සඳහා ද උන් තෝරාගන්නේ මේ වෙරළ තීරයම ය. වෙරළේ චණ්ඩාලයන් බහුල නමුත් එය පෙන්ග්වින්ලාගේ අභිජනන භූ®මියක් බවට පත්වීම වැළැක්වීම පහසු නොවේ.

කිංග් පෙන්ග්වින්ලාගේ පැටවුන් හඳුන්වන්නේ “කිංග් චික්ස්” යන නමිනි. ඇත්තෙන් ම ඒ පැටවුන් තඩි කුරුලු පැටවුන් වැනි ය. ලා දුඹුරු ලොම් කබා හරි හරියට පොරවාගෙන සිටිති. මේ නිසා කළු පැහැති හොට හැරුණු විට උන්ගේ සර්වාංගයම එකම දුඹුරු පැහැයකි. වසරක් පමණ ගතවන තෙක් මව හැර අන් සරණක් මේ පැටවුන්ට නැත. ඒ නිසා මව ඈත් මෑත් වන තෙක් සිට, ඉන්පසු නැවතත් එකිනෙකා සමඟ එක පොදියට තුරුළු වෙමින් ඒ උණුසුම ම සොයති. එකිනෙකාට ගුලි වී මැදි වී නිදන්නට උත්සාහ ගනිති. ඒ අතරම මේ ලෝකයේ අන් කිසි සෙනෙහසක් අම්මාගේ ආදරය තරම් උණුසුම් නැති බව හඟිමින් නැවතත් අහර ඉල්ලමින් කෑ ගසති. මේ නිසා මේ කාලයට මේ වෙරළ තීරය එකම අමිහිරි කන්කරච්චලයකින් වැසී යන්නේ ද වෙයි.

පෙන්ග්වින්ලාට දෛවය විසින් කර තිබෙන ලොකු ම සරදම නම්, උන්ට පියාඹන්නට නොහැකි වීමයි. එනිසා, ආපසු එන පෙන්ග්වින්ලා අනිවාර්යයෙන් ම විවෘත වෙරළ තීරය පසුකර යා යුතු වන්නේ චණ්ඩාලයන් මැදින් පා ගමනෙනි.

එය අතිශයින් ම අවදානම් සහගත කාර්යයක් බව උහු හොඳින් ම දනිති. එය එසේ වනුයේ ඊට අමතරව වෙරළට පය තැබීමට පෙර ද පෙන්ග්වින්ලා තවත් දැවැන්ත මාරකයක් පසුකර යා යුතු වේ. එය නම්, මේ වන විට වෙරළේ නොව මුහුදු රැළි අතර රැකවල්ලා සිටින ලොම් බහුල ෆර් සීල් මත්ස්‍යයන් ය. එනිසා පෙන්ග්වින්ලාට වැල්ලේත් මරණයකි. රැල්ලේත් මරණයකි.

ෆර් සීල් මසුන් ද මේ වේලාවේ වෙරළට පැමිණ සිටින්නේ අභිජනනය සඳහා ය. උන් සාමාන්‍යයෙන් ක්‍රිල් නමැති ජලජ ශාක ආහාරයට ගෙන ජීවත් වන්නන් වුවත්, හොඳම වේලාවක් බලා පෙන්ග්වින් කෙනෙකුගේ ගෙල ඩැහැගැනීමට උහු ඊටත් වඩා පි‍්‍රය කරති. ෆර් සීල් අහිංසක නැත. වෙරළට පැමිණීමත් සමඟ උන්ට මේදය බහුල රසවත් පෙන්ග්වින් මස්වල ඉව වැටී තිබේ. එනිසා උහු අතිශයින් ම නොසන්සුන් වී “ආර්… ආර්…” යැයි හඬ තලමින් සිය අත්හැඳිවල වේගය ඉක්මන් කිරීමට දඟ දමති.

පෙන්ග්වින්ලා දන්නා ශිල්ප දමමින් මේ සීල් මසුන් වර්ග දෙකෙන් ම බේරිය යුතු ය. එවිට දිය රැලි තුළ පවා සටන් ය. සුදු පැහැ පෙණපිඬු නොනවත්වා ඇවිස්සෙයි. පෙන්ග්වින්ලා සීල් මසුන් මෙන් කිහිප ගුණයක් කුඩා බව ඇත්තකි. නමුත් උන් පරාජය පිළිගැනීමට අකමැති ය. දේහ ස්කන්ධය අතින් පිහාටු මෙන් සැහැල්ලු නමුත් උන්ගේ හොට, රේසර් තල මෙන් තියුණු ය. එසේම එකට එක කිරීමට ද පෙන්ග්වින්ලාට තිබෙනුයේ මනා සමත්කමකි. එනිසා ගර්…ආර්… ගාමින් ගොරවමින් කුරුමාණම් අල්ලන සෑම විටෙකම සීල් මත්ස්‍යයකුගේ ඇසක් පහසුවෙන්ම අහිමි වී යා හැකිය. එය සීල් මත්ස්‍යයෝ ද දනිති. එනිසා පෙන්ග්විනයකු ඩැහැ ගැනීමට තිබෙන හොඳ ම ක්‍රමය වන්නේ පිටුපසින් ගොස් සිතාගන්නට බැරි මොහොතක දඩයම කර ගැනීමයි.

රාවණ සුළංවලින් බැට කන මේ බිමේදී මේ සතුන් දෙදෙනා ම වග විභාග රහිත ය. නමුත් අහිමි වීමට වැඩිපුරම දේවල් තිබෙනුයේ කුඩා පෙන්ග්වින් හට ය. එනිසා දෙදෙනාම, රළු ගල් මතින් දිව යමින් එකිනෙකාට පහර දී ගනිමින් ගොරහැඬි රළු සටනක නිරත වෙති.

ෆර් සීල් මසුන්ගේ ග්‍රහණයට නතුවන පෙන්ග්වින්ලා තිදෙනකුගෙන් දෙදෙනෙකුම සටන් වැද අවසානයේ දිවි බේරා ගනිති. එවිට ගෙලෙහි රුධිරය සහ තුවාල සමඟ ෆර් සීල් පරාජය භාරගනියි. නමුත් පෙන්ග්වින් මේ සමඟ ම එලිෆන්ට් සීල් මසුන් සමඟ අවසන් සටනට ද මුහුණ දිය යුතුය. මේ වෙරළ චණ්ඩාල යැයි කීවේ එනිසා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි