×

ඉතියෝපියාව සහ එරිත්‍රියාව එක්සත් වෙයි ; ‘දෙකටම නැති යුද්ධය‘නිමා කරයි.

අප්‍රිකානු තුඩුවට සාමය ගෙන දෙමින්, විසි වසරකට අධික කාලයක් පැවති යුධමය වාතාවරණය නිමා කරමින් ඉතියෝපියාව සහ එරිත්‍රියාව එක්සත් වෙයි.


අප්‍රිකානු තුඩුවේ (Horn of Africa) පිහිටා තිබෙන රටවල් දෙකක් වන ඉතියෝපියාව සහ එරිත්‍රියාව, අප්‍රිකානු මහද්වීපයේ දීර්ඝතම කාලයක් යුධමය වාතාවරණයක් (Africa’s longest-running and most intractable military stand-off) පවත්වාගෙන ගිය රටවල් දෙක වශයෙන් සැලකේ.

මේ තත්වය නිමා කරමින් ඉතියෝපියාව සහ එරිත්‍රියාව පසුගිය ඉරිදා දිනයේ සාම සන්ධානයකට එළඹුණේය.

ඉතියෝපියාවේ නව අග්‍රාමාත්‍ය අබෙයි අහ්මද් (Abiy Ahmed) සහ එරිත්‍රියාවේ ජනාධිපිත අසායියාස් අෆ්වෙර්කි (Isaias Afwerki) එකිනෙකා හමුවූයේ දෙරට අතර දශක දෙකකට අධික කාලයක් පැවති පසමිතුරු ඉතිහාසය නිමාවට පත් කරමිනි. අසල්වැසි රාජ්‍ය දෙකේ රාජ්‍ය නායකයන් දශක දෙකකින් එකිනෙකා මුණ ගැසෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

‘‘මෙය සකල අප්‍රිකානු මහද්වීපය වෙතම අප්‍රිකානු තුඩුවෙන් නිකුත් වූ අපේක්ෂාවේ ආලෝකයක්‘ යැයි අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දෙරට නායකයන්ගේ සාම ප්‍රයත්නයට සුබ පැතුම් එක් කරමින් පැවසූහ.

නායකයන් දෙපළ අතර අත්සන් කළ සාම සන්ධානයට අනුව ඉතියෝපියාව සහ එරිත්‍රියාව,

  • තානාපති කාර්යාල ආරම්භ කිරීමට
  • වරාය සංවර්ධනය
  • දෙරට අතර ගුවන් ගමන් යළි ඇති කිරීම
  • දෙරට අතර දුරකථන සේවා නැවත ඇති කිරීමට

එකඟ වූහ.

2000 වසරේ පටන් ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර පැවතුණේ “no war, no peace” හෙවත් ‘යුද්ධයක් නැත – සාමයත් නැත‘ වැනි තත්වයකි. එයට හේතුව වූයේ, පුද්ගලයන් 80,000 කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් දෙරට අතර දේශසීමා අරගල සමග ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ය.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් කේන්ද්‍රය වශයෙන් සැලකුණු එරිත්‍රියාවේ බාද්මේ නගරය සාම නගරයක් බවට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ දේශසීමා කොමිසම උත්සාහ ගත් නමුත් ඉතියෝපියාව එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

සෝමාලියානු යුද්ධයට ද මෙම රටවල් 2 ඈඳී සිටියේය. එනම් එරිත්‍රියාව, සෝමාලියානු යුද්ධයේදී ඉස්ලාමීය සන්නද්ධ කල්ලිවලට උපකාර කළ බවට චෝදනා ලැබුවේය. මේ අතර, ඇමරිකාවේ මිත්‍රත්වය ලබන ඉතියෝපියාව සෝමාලියාවට සහයෝගය පළ කළේය.

ඉතියෝපියාවේ ජාතික ධජය Photo:Wikipedia

නව අගමැති අබෙයි අහ්මෙද් පසුගිය අප්‍රේල් මාසයේ බලයට පත්වූයේ ඉතියෝපියානු දේශපාලනයේ නව ප්‍රතිසංස්කරණ රැල්ලක් ඇති කිරීමට ප්‍රතිඥා දෙමිනි. මේ අනුව මෙම සාම සන්ධානය, ඔහු පුද්ගලිකව ලැබූ අති විශාල ජයග්‍රහණයක් ද වේ.

එරිත්‍රියාවේ ජාතික ධජය Photo: Wikipedia

ඔහු බලයට පත්වූ විගසම කළේ ඉතියෝපියාවේ බල පැවැත්වූ හදිසි නීතිය අහෝසි කිරීමයි. දේශපාලන සිරකරුවන් නිදහස් කළ ඔහු, ඉතියෝපියානු ආර්ථිකය විදේශ ආයෝජකයන් හට යම් ප්‍රමාණයකට විවෘත කිරීමේ සැලසුමක් ද ප්‍රකාශයට පත් කළේය. ඇතැම් දේශපාලන විචාරකයන් මෙය සමාන කරන්නේ, ශීතල යුද්ධය නිමා කරමින් සෝවියට් නායක මිහායල් ගොර්බචොව් විසින් සෝවියට් සංගමය වෙත හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ වෙත ය. කෙසේ නමුත් ගොර්බචොච්ගේ පාලන සමයේදී සිදුවූ පරිදි මෙහිදී රාජ්‍යය වියවුල් වීමක් සිදු නොවුන ඇතැයි ද විචාරකයෝ පෙන්වා දෙති.

මේ සියල්ල අතරින් එරිත්‍රියාව සමග සාමදාන වීමට ඔහු මුල් වූ ආකාරය රොයිටර්ස් පුවත්සේවය විසින් හඳුන්වා දෙන්නේ ‘‘අබෙයි අහ්මෙද්ගේ නිර්භයම/සාහසිකම ක්‍රියාව“ (“his boldest move”) යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි