×

ෆේස්බුක් කොටස් මිල කඩා වැටෙයි. ඩොලර් බිලියන 119 ක පාඩුවක්

මාක් සකර්බර්ග් හට පුද්ගලික ධනය ද අහිමි වෙයි. ෆේස්බුක් සමාගම මේ යන්නේ ඉරණම් ගමනකද?


ෆේස්බුක් සමාගමේ වෙළඳපොළෙ වත්කම්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 119කට අධික ප්‍රමාණයක් එයට අහිමි වී තිබේ. මෙසේ සිදුවී තිබෙන්නේ ෆේස්බුක් විසින් ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ කේම්බ්‍රිජ් ඇනලටිකා සමාගම වෙත නීති විරෝධී අන්දමින් පරිශීලකයන්ගේ දත්ත ලබාදුන් බවට හෙළිවීමත් සමග පරිශීලකයන්ගේ සීඝ්‍ර අඩුවීමක් සිදු වූ නිසා ය. මෙම වත්කම් අහිමිවීම තුළ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බග්ගේ ධනයෙන් ද ඇමරිකානු ඩොලර් බිලියන 16.5 ක් අහිමි වනු ඇත.

සකර්බර්ග් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ 3 සිට 6 ට

මාක් සකර්බර්ග් ගේ ලේඛනගත වත්කම ඩොලර් බිලියන 86.5 ක් වූ අතර මෙම සිදුවීමත් සමග දැන් එය ඩොලර් බිලියන 70 දක්වා අඩු වී තිබේ. මාක් සකර්බර්ග්, ෆේස්බුක් සමාගමෙන් 17% ක කොටස් හිමිකමක් දරයි. මේ අනුව ලෝකයේ තුන්වැනියට ධනවත්ම මිනිසා ව සිටි මාක් සකර්බර්ග්, දැන් සිටින්නේ ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ 6 වන ස්ථානයේ ය.

The Independent

ෆේස්බුක් සමාගම මේ වන විට එහි ආයෝජකයන්ට මෙම ගැටළුව පිළිබඳ දැනුවත් කර තිබිණි. එහිදී හෙළිදරව් වූයේ යුරෝපයේ පරිශීලකයන් මිලියන 3 ක් ෆේස්බුක් අතහැර ගොස් ඇති බව ය. එනම් මේ වනවිට යුරෝපයේ ෆේස්බුක් පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 282 සිට 279 දක්වා අඩු වී තිබේ. මේ පුවතත් සමග පසුගිය බ්‍රහස්පතින්දා නිව්යෝක් කොටස් වෙළඳපොළේ ෆේස්බුක් සමාගමේ කොටස් මිල 19%කින් එකවරම පහළට වැටුණේය.

අහිමි වූ මුදලින් මැක්ඩොනල්ඩ්ස් සමාගම මිලදී ගන්න තිබුණා!

එනම් බදාදා දිනයේ ෆේස්බුක් සාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 630 ක් වූ අතර එය බ්‍රහස්පතින්දා දිනය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 510 දක්වා අඩුවිය. ඒ, කොටස් මිල ඩොලර් 176 දක්වා පහළ යාම නිසා ය. ෆේස්බුක් සමාගමට මේ නිසා අහිමි වූ වත්කම, සම්පූර්ණ මැක්ඩොනල්ඩ්ස් සමාගමේ ම වටිනාකමට සමාන ය.

ෆේස්බුක් සමාගම කොටස් වෙළඳපොළ තුළ  ඉතිහාසයේ මෙතරම් දැවැන්ත කඩාවැටීමකට කිසි දිනෙක ලක් වී නැත. මෙයට පෙර 2000 වර්ෂයේදී ඉන්ටෙල් සමාගමට ඩොලර් බිලියන 91 ක් එක් දිනයක් තුළ අහිමි වීමට ද වඩා මෙය අතිශය බැරෑරුම් තත්වයකි. මේ අනුව 2018 වසරේදී එක් දිනක් ඇතුළත සමාගම බිලියන 119 කින් පාඩු ලැබීම මේ අනුව තීරණාත්මක සාධකයක් වනු ඇත. ෆේස්බුක් සමාගමේ වත්මන් වෙළඳපොළ වටිනාකම, මෙම සිදුවීමට පෙර ඇමරිකානු ඩොලර් බිලියන 510 ක් විය. ඒ අනුව මෙය දළ වශයෙන් සමාගමෙන් 1/5 ක් එයට අහිමි වීමට සමාන ය.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සිදුවීමේදී ෆේස්බුක් සමාගම විසින් පරිශීලක ප්‍රොෆයිල්ස් මිලියන 87 ක දත්ත සදාචාර විරෝධී අන්දමින් ලබාදී තිබිණි. ලෝකයේ මහත් කැළඹීමක් ඇති කළ මෙම සිදුවීමෙන් අනතුරුව යුරෝපා සංගමයට ප්‍රබල දත්ත ආරක්ෂණ නීතියක් හඳුන්වා දීමට ද සිදුවිය. මේ අතර ගත වූ කාර්තුවේදී ෆේස්බුක් සමාගමේ වියදම් 50%කින් ඉහළ ගියේ, දත්ත ආරක්ෂණය සම්බන්ධ තාක්ෂණික උපක්‍රම වැඩිදියුණු කිරීම සඳහා මුදල් ආයෝජනය කිරීමට සිදුවීම නිසා ය.

මේ වසර අග වන විට තම සමාගම පුද්ගලයන් 20,000 ක් දෙනා ෆේස්බුක් අඩවියේ තත්වය පවත්වාගෙන යාම සඳහා බඳවා ගැනීමට අදහස් කරන බව සකර්බර්ග් කියා තිබේ. ‍

විනාඩි පහමාරෙන් ගෙවූ දඩයක්!

දත්ත ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම නිසා ෆේස්බුක් සමාගමට මේ මාසය මුලදී පවුම් 500,000 ක දඩයක් ද යුරෝපා සංගමය වෙතට ගෙවීමට නියම විය. කෙසේ නමුත් ෆේස්බුක් හි ආදායම අනුව ඔවුන්ට මේ දඩ මුදල ඉපැයීමට ගත වන්නේ විනාඩි පහමාරක් පමණයි!

ෆේස්බුක් සමාගමෙන් 17%ක කොටස් හිමි මාක් සකර්බර්ග් එම සමාගමෙන් නෙරපා හැරීමේ යෝජනාවක් ද මේ වන විට සාකච්ඡා වෙමින් තිබේ. 2017 වසරේදී ද ෆේස්බුක් හි ස්වාධීන ආයෝජකයන්ගෙන් 51% ක් යෝජනා කර තිබුණේ මාක් සකර්බර්ග් ව සමාගම් සභාපති තනතුරින් ඉවත් කළ යුතු බව ය.

කෙසේ නමුත් මෙය ප්‍රායෝගිකව සිදුකිරීමට අපහසු දෙයක් බවට පත්ව තිබෙන්නේ Class B කොටස් විශාල ප්‍රමාණයක හිමිකාරිත්වය ඔහු සතු නිසා ය. එනිසා සමාගමේ පාලන අධිකාරිය තුළ වැඩිම ඡන්ද බලයක් හිමි පුද්ගලයා වශයෙන් සකර්බර්ග් ගේ ස්ථානය සුරක්ෂිත ය. මිතුරන් දෙදෙනෙකු සමග එක්ව ෆේස්බුක් නිර්මාණය කළේ ද ඔහු විසින් වන නිසා ඔහුට එම ගෞරවය අහිමි නොකළ යුතු යැයි ද බොහෝ අය කියති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි