×

සොනෝරන් කතරේ පතොක් මල් මියුලැසිය

ක්‍රමයෙන් ගිම්හාන සුළඟ හමන්නට පටන් ගනියි. සියලු පතොක් ගස් අතරින් යෝධයෙකු සේ සැලකෙන යෝධ සගාරෝස් පතොක් ගස් ඒ සුළඟින් පූර්ණ වාසිය ලබාගැනීමට සූදානම් ය.


මොන්ගෝලියාවේ ගෝබි වැලි කතර ට දිය බිඳු ගෙන එන්නේ සයිබීරියාවේ සිට හමාඑන සීතල සුළඟයි. එපමණ වාසනාවක් නැති වියළි සහරාවට සීතලක් අත්දුටු කලක් නම් නැත. ඒ වෙනුවට එහිදී රුදුරු වැළි සුළඟේ එතුණු වැලි කැට සර්පයන් මෙන් සෙමෙන් සෙළවෙයි.

ලොව කර්කශ ම මහද්වීපයක් වන ඔස්ට්‍රේලියාවේ   දැඩි උනුහුමින් බැටකන කැන්ගරුවන් ගේ තත්වය ද එසේම ය. ලොව වියළිම තැන වන චිලී රාජ්‍යයට අයත් අටකාමා කතරේ වසන ඔටු පෙනුමක් නැති ගුනෙකෝස් ඔටුවෝ ද මේ බව දනිති. නමුත් මේ සියල්ලට ම වඩා ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා තිබෙන සොනෝරන් කාන්තාරය අපූර්ව තැනකි. එය අතිශයින් වියළි තැනක් නොවේ. වර්ෂාව යම් තරමකින් එයට පතිත වේ. නමුත් එය අනියත ය. ඒ පිළිබඳ පමණට වඩා බලාපොරොත්තු තබාගැනී නුවණට හුරු නැත. එය අවදානම් සහගත ය. එනිසා මෙහි වෙසෙන සත්වයෝ වැසි රහිත දිගු ග්‍රීස්මයක් සඳහා හැම විටෙක ම සූදානම් ශරීරයෙන් පසුවෙති.

ක්‍රමයෙන් ගිම්හාන සුළඟ හමන්නට පටන් ගනියි. සියලු පතොක් ගස් අතරින් යෝධයෙකු සේ සැලකෙන යෝධ සගාරෝස් පතොක් ගස් ඒ සුළඟින් පූර්ණ වාසිය ලබාගැනීමට සූදානම් ය. සගාරෝස්, සොනෝරන් කතරට ම ආවේණික යෝධයෙකි.

මෙම පතොක් ගස් සාමාන්‍යයෙන් විශාල ගසක් තරමට උස යයි. සාමාන්‍ය උස මීටර 20 ක් හෙවත් අඩි 70 කට අඩුවන්නේ කලාතුරකිනි. ඒවා වර්ෂාව හමුවේ මහතින් ද වැඬේ. මේ පතොක් යෝධයෙකුගේ ආයු කාලය ද අති මහත් ය. විටෙක අවුරුදු 150 ක පමණ කාලයක් එය ජීවත් වෙයි. ඇතැම් සගාරෝස් පතොක් ගසකින් අතු ලියැලීම ඇරඹෙන්නේ වසර 75 ක් පමණ ගිය තැන ය.

හිටිවන ම ගිම්හාන අකුණෙන් කාන්තාරය දෙදරුම් කයි. වැසි සමය ඇරඹෙයි. පතොක් ගස් ඇතුළු තුරුලතා වැසි දියෙන් පෙඟී යයි.

වර්ෂාවෙන් පසුව යෝධ සගාරෝස් පතොක් ගස්වලට විශාල කාර්ය භාරයක් පැවරෙයි. ඒවායේ දිගු සහ කුහරමය මුල් පද්ධතිය විසින් ජලය යහමින් උරාගැනේ. පතොක් කඳ මත පිහිටන සියුම් කටු පොකුරු ද දිග හැරෙන්නට පටන් ගනියි. පතොක් කඳන් දිගින් හා මහතින් වැඩෙයි. හොඳින් වැඩුණු පිරිපුන් සගාරෝස් පතොක් ගසක ට ජලය ටොන් පහක් දක්වා ප්‍රමාණයක් දරාගැනීම ට පුළුවන. වැසි රහිත ඉදිරි මාස කිහිපය සුවසේ ගත කිරීමට ඒ ජල කඳ හොඳටම ප්‍රමාණවත් ය.

මේ විසල් ශාකවල කඳන් තුළ බිල හෙවත් කුහර ද දැක ගත හැකිය. ඒවා වනාහී ජීලා කොට්ටෝරුවන්ගේ නිවස්නයන් ය. මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති මේ රුක් නිවැසියා දකුණු දිග ඇමරිකාවට ආවේණික කාන්තාර වාසියෙකි. කැලිෆෝනියා, සියරා නෙවඩා, ඇරිසෝනා සහ නව මෙක්සිකෝ හැර ලෝකයේ සෙසු තැනක දැකගත නොහැක.

යෝධ සගාරෝස් පතොක් ගස් වලින් ජීවය ට සරණක් ලබන එකම පිරිස පක්ෂීන් පමණක් නොවේ. ගිම්හානයේ සිව්වැනි සතිය ගෙවීයත්ම සගාරෝස් පතොක් ගස්වල සුන්දර සුදු මල් පිපෙන්නට ගනියි. ඒවා දහවල ට ද පිපී ඇතත් ඒවායේ නියම සුන්දරත්වය දිස්වනුයේ රාත්‍රියට ය. පතොක් අතු අග සුදු මල් පිපේ. නිශාචර අමුත්තන් රැසක් ඒවා ට ආකර්ෂණය වෙති. මේ පතොක් පුෂ්පයන් පරාගවලින් විකසිත ව මල් පැණියෙන් බර වූ විට දිගු නාසයැති- දිගු දිවක් ද ඇති වවුල් විශේෂයක් ද ඒවා වෙත ඇදී එති. උන් මෙක්සිකෝවේ ගිම්හාන උණුසුම දරාගත නොහැකිව පළායන වවුලන් ය. උහු රිසිසේ පතොක් මල් පැණියෙන් පෝෂණය ලබති. උන් මේ සිටින්නේ අතරමග ය. දකුණු දිග ඇමරිකාව උන්ගේ ගමනාන්තයයි. එහි යා යුත්තේ මේ සගාරා්ස් කාන්තාරය මැදිනි.

කාන්තාරය අති විශාල ය. එකවර තරණය කළ නොහැකි තරම ට විශාල ය. නමුත් මේ සංක්‍රමණ චාරිකාවේදී මේ මුළු දුර ම වරක ට තරණය කළ යුතුමය. ඒ සඳහා ඇවැසි ශක්තිය උන් ලබාගන්නේ මේ පතොක් මල් පැණි වලින් සප්පායම් වීමෙනි. ඒ අනුව සගාරෝස් පතොක් ගස්වල සංචය වන ජලය කාන්තාරයේ වෙසෙන්නන් ට පමණක් ප්‍රයෝජනවත් වනවා නොවේ. කාන්තාරය තරණය කරන්නන්ගේ ජීවිත ද ඒ මල් පැණි නොතිබුණු විටෙක වැනසී යනු ඇත.

සොනෝරන් කාන්තාරයේ මුද්‍රාව ලෙස සැලකෙන්නේ මේ යෝධ පතොක් ගස් ය. ඒවායේ හැඩය තීරණය කරනුයේ වර්ෂාවේ හිඟකම විසිනි. ඉන්පසු එළඹෙන ජූනි මස දී සුන්දර සුදු මල් මැළවී ගොස් ඒ වෙනුවට ඒවායින් යෝධ රතු පැහැ ඵල මැවේ. ඒ එක් ඵලයක් තුළ බීජ දෙදහසකට අධික ප්‍රමාණක් ද රසැති මාංශලමය පටකයක් ද තිබේ. එවිට කතර දිස්වනුයේ රත් පැහැ යගදාවන් අත දරාගෙන සිටින හරිත පැහැ යෝධයන් කණ්ඩායමක් ලෙසිනි.



#morearticles

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි