×

හේ ”අකිරා කුරසෝවා” නම් විය.

කුරසෝවා පමණක් නොව ජපන් සිනමාවද ප‍්‍රථම වරට අන්තර්ජාතික සිනමා උළෙලකින් ඉහළම සම්මානයක් දිනා ගනු ලැබුවේ කුරසෝවාගේ රෂෝමොන් වෙනුවෙනි


ජපන් සිනමාව ගැන සිතන විට ජපනුන් නොවුනද නිතැතින්ම අප කාගේත් සිහියට එන එකම නම ”අකිරා කුරසෝවා” , ඔහු ඒ තරමටම ජපානය මෙන්ම ලෝකයද දිනාගත් සිනමා කරුවෙකි.

සුප්‍රකට ජපන් නවකථා රචක අකුතගාවා රියොනුසුකේ ගේ සුප්‍රකට නව කථාව රෂෝමන්… චිත්‍රපටයකට නැගූ මේ අග්‍රගන්‍ය සිනමා කරුවාගේ කුඩා අවධිය ගෙවෙන්නේද ජපානයේ ටෝකියෝ නුවරයි.

කුඩා කල සිටම චිත්‍රකලාවේ අතිදක්ෂයෙක් වූ අකිරා කුරසෝවා ගේ චිත්‍රවල තිබුණේ සිතුවමට එහා ගිය කථාවක් බව ඔහුගේ ‍දෙමවුපියන් තේරුම් ගත්තෝය. ඒ නිසාම ඔහුගේ අධ්‍යාපනය චිත්‍ර අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීය. පියා ඔහුව චිත්‍ර ඉගෙනීම සඳහාම වෙනම චිත්‍ර පාසලකට යවන්නට වග බලා ගක්තේ ඔහුගේ මේ චිත්‍ර ඇඳීමේ ඉමහත් ආශාව නිසාමය.
චිත්‍රවලට මෙන්ම සිනමාවටද ප්‍රිය කළ පියෙකු ඔහුට සිටියේය. ඔහුගේ පියා සේවය කළේ ජපන් හමුදා පාසැලේ අධ්‍යක්ෂවරයෙක් ලෙසයි. ඒ නිසාම කලා කරුවෙකු වීමට උපරිම සුදුසුකම් සහිත පවුල් පසුබිමක් ඔහුට තිබූ අතර ඊට අවශ්‍ය මුදල්ද ඔහුට ලැබුණි.

අකිරා කුරසෝවා ඉපදෙන්නේ 1910 වසරේ මාර්තු 23 වනදා දවසකය. ජපානයේ අග නුවර උපන් නිසාම ඔහුට තමන්ට අවශ්‍ය අධ්‍යාපනය සිතූ සේ ලබන්නට ඉඩකඩ විවර විය.

පාසැල් අධයාපනයට අමතරව ඉතා ඕනෑකමින් චිත්‍රශිල්පය හැදෑරූ අකීරා කුරසෝවා පසුකාලයක හොඳ චිත්‍ර ශිල්පායෙක් වනු ඇතැයි ඔහුට උදවු කළ ඔහුගේ පියා මේම සොහොයුරාද කිහිප විටක්ම උදම් ඇනීය. පාසැල් අධ්‍යාපනයද නිසි ලෙස සිදු කළ අකිරා ගේ විනෝදාංශ අතර චිත්‍ර කලාවට අමතරව ප්‍රබන්ධ කියැවීමද අනිවාර්යයක්විය.

ප්‍රබන්ධ කියවීමත් චිත්‍ර ඇඳීමත් ඔහුට අවසානයේ උරුම කළේ ඔහු කුඩා කලදී සිහිනෙන්වත් නොසිතූ විෂයක් කෙරෙහිය.. චිත්‍ර අඳින විට ඔහු සෑම විටම කමන් කියවූ පොත පතෙහි ආ චරිත සිහියට නගා ගත්තේය. රුසියානු සාහීත්‍යයේ පෙරගමන් කරුවන් වූ තෝල්ස්තෝයි මෙන්ම දොස්තයෙවුස්කි ඔහුගේ සිත් ගත් ලේඛකයන් විය. ඒ නිසාම ඔවුන්ගේ ග්‍රන්ථ තුළ තිබූ චරිත ඔහුගේ සිතුවම් මඟින් සිනමා පට මෙන් ඔහුගේ මනසේ සක්මන් කරන්නට විය . අකිරාව සිනමාවට තල්ලු කර දමන්නේ ඔහුගේ මනසේ හෝල්මන් කළ මෙම සෙලවෙන පිංතුරයට අර්ථයක් සපයන්නට ඔහු උත්සුක විය.

1936 වසරේ ජපානයේ පී. සී. එප් චිත්‍රාගාරයේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයට යන ඔහු කටයුතු කලේ එවකට ජපන් සිනමාවේ පුරෝගාමියෙක් වූ කජීරෝ යමා මො‍ටෝ ගේ ඇසුරේය.

එම ඇසුර සිය ප්‍රථම සිනමා පටය නිර්මාණය කරන්නට අකිරාව ඉක්මන් කලේය . ඒ අනුව ඔහු සන්ෂිරෝ සුගාටා නමින් සිය ප්‍රථම සනමා පටය නිර්මාණය කරන්නේ 1943 වසරේදීය.
පළමු චිත්‍ර පටයෙන්ම ඔහුව උත්කෘෂ්ට සිනමා වේදියෙක් ලෙස පිළිගන්නට ජපන් ජාතිකයන් උත්සුක වූහ.

ඒ හුස්මටම ඔහු වසරක් යන්නටත් පෙර සිය දෙවන සිනමා පටය 1944 දී නිර්මාණය කරන්නේ The most beautiful නමිනි.

ඉන් නොනැවතී 1946 දීත් No Regrets for youth ලෙස චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ එවකට පැවති යුද්ධයේ අත්දැකීම් මුල් කර ගනිමිනි.

අකුතගාවා රියොනුසුකේ ගේ රෂේමාන් ඔහුගේ සිනමා පටයක් බවට පත්වන්නේ 1950 වසරේදීය. එය ඔහුගේ සිනමා ජීවිතයේ අග්‍රගන්‍ය සන්ධිස්තානයක් වූයේ ය. රෂෝමාන් චිත්‍රපටය ඔහුව ජාත්‍යන්තරයට ගෙන ගියේය. 1951 දී ඔහු වැනීසියේ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරනු ලැබීය. එම වසරේ ම ඔහු නිර්මාණාත්මක විශිෂ්ට සිනමා කෘතිය සඳහා වන ග‍්‍රෑන්ඩ් පි‍්‍රක්ස් (Grand Prix ) සම්මානය දිනා ගනු ලැබුවේ රෂෝමොන් චිත‍්‍රපටයයි. කුරසෝවා පමණක් නොව ජපන් සිනමාවද ප‍්‍රථම වරට අන්තර්ජාතික සිනමා උළෙලකින් ඉහළම සම්මානයක් දිනා ගනු ලැබුවේ කුරසාවාගේ රෂෝමොන් වෙනුවෙනි.

කුරසෝවාගේ ජීවිතය ක්‍රමයෙන් වෙනස් වන්නට විය . ඔහු සශ්‍රීක මිනිසෙකු බවට පත්වෙමින් සිටියේය .එක දිගට ක සිනමාපට අතරේ මී ළඟ නිර්මාණය වූ Seventh Samurai ඔහුව තව දුරටත් අන්තරුජාතික වශයෙන් ඔසවා තැබීය.

ජපන් සංස්කෘතිය මෙන්ම පාරම්පරික සටන් කලාවද, මානව ගුණයන් මෙන්ම ජපානයට ආවේණික වූ මිනිස් ගුණාංගයන්ද ඔහුගේ සිනමා පට තුළ මැනවින් කැපී පෙනෙන්ට විය. ජපන් සාම්ප්‍රදායික කලා නිර්මාන වන ”නෝ” කබුකි” ජපන් නාට්‍ය සම්ප්‍රදායන් සිය සිනමා නිර්මාණ තුළ ඉස්මතු කරන්නටත් කුරසෝවා නොපසුබට විය.

අකිර කුරසෝවා හුදු ජපන් සිනමා කරුවෙක් පමණක් නොවූයේය. කාලාන්තරයක් යන තෙක්ම ඉන්දීය සිනමාව මෙන්ම ජාත්‍යන්තර සිනමාවේ නියැළෙන්නන්ද අකීරා කුරසෝවාගේ නිර්මාණ තුළින් පෝෂණය වූවා යැයි කීම නිවැරදිය.

ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය සම්ප්‍රදායේ පෙරගමන් කරු වූ එදිරිවීර සරත්චන්ද්‍රයන්ද අකීර කුරසෝවාගේ නිර්මාණාභාෂයෙන් පොහොසත් වූවෙකි.

ලෝකයට මඟපෙන්වන්නකු වූ අකිර කුරසෝවාද ජාත්‍යන්තර කලාත්මක අංගයන්ගෙන් තමන්ව පෙහෝසත් කර ගන්නට අමතක නොකලේය. සිය නිර්මාණ වලට ජාත්‍යන්තර පසුබිමක් ලබා දදීමටද උත්සහා කළ ඔශු රුසියානු සාහිත්‍ය කර යොමු වන්නේ ඉතා කැමැත්තෙනි දොස්කෙයෙවුස්කිගේ කෘති මෙන්ම විලියම් ෂෙක්ෂ්පියර්ගේ හා මැක්සිමී ගෝරකිගේ නිර්මානද ඔහුගේ සිනමා නිර්මාණ සඳහා පාදක වූ යේය.

ශේක්ස්පියර්ගේ මැකිබත් ඇසුරින් Throne of blood සිනමාපටය කළ ඔහු ගෝර්කි ඇසුරින් The lower dept නිර්මාණය කරන්නේය. මේ අයුරින් සිය ජීවිත කාලය පුරා සිනමා නිර්මාණ 31කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයන් හමුවට ගෙනා ඔහු ඒ සෑම එකකින්ම නොවුණත් බහුතරයක් තුළින් සිනමාව පෝෂණයට අවශ්‍ය පියවරයන් ගනු ලැබීය.

ඒ නිසාම අකීර කුරසෝවා යනු ජපානයේ පමණක් නොව ආසියානු සිනමා සම්ප්‍රදායේ හැරවුම් ලක්ෂයයි. කුරසෝවා ආසියානු සිනමාවට රැගෙන ආ ආලොකය තවමත් සිනමාවේ අඳුරු තැන් මකා දමන්නේය. 1998 වසරේ සැප්තැම්බර් 6 වෙනිදාවක තමා උපන් භූමියේ තමා උපන් ප්‍රදේශයේදීම ලෝක සිනමාවට පමණක් නොව සමස්ත ලෝකයටම ආයුබෝවන් කියූ කුරසෝවා අදද ලොව බොහෝ සිනමා ලෝලීන්ගේ හදවත් තුළ ජීවමානය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි