×

දෙගොඩහරි වයසේදී මව් පදවිය ලැබීමේ සු/දුඛාන්තය 

ජීවිතයේ දෙගොඩහරි වයසට ළඟා වූ පසුත් බ්‍රිජට් නීල්සන් දරුවකු ලබන්නට කල්පනා කිරීම ගැන බොහෝදෙනෙකු තුළ ඇත්තේ දැඩි මවිතයකි.


මාතෘත්වයේ අගය දන්නා ගැහැනුන් දරුවන් වැදීමෙන් සහ හැදීමෙන් වෙහෙසට පත්වන්නේ නැත. ඒ නිසා සමහර කතුන් තමන්ගේ වයස ගැනවත් නොසිතා මාතෘත්ව අභිනන්දනය ගැන සිතති. “වයස්ගත මව්වරුන්” නමැති නව ප්‍රවණතාවය ලෝකයේ ඇතැම් තැන්වලින් පිපී එන්නට පටන් ගෙන තිබෙන්නේ එනිසයි. ඒ තුළ මෙවර ආන්දෝලනාත්මක් ප්‍රවෘත්ති මවන්නියක වී සිටින්නේ ඩෙන්මාර්ක ජාතික නිළි බ්‍රිජට් නීල්සන් ය. පනස් පස් හැවිරිදි වියේ පසුවන බ්‍රිජට් පසුගිය ජුනි මාසයේදී දියණියක ප්‍රසූත කළාය. විවාහ පහක් තුළදී බ්‍රිජට්  ලද පස්වන දරුවාත්, බ්‍රිජට්ගේ එකම එක දියණියත් ඒ බිළිඳියයි.

ජීවිතයේ දෙගොඩහරි වයසට ළඟා වූ පසුත් බ්‍රිජට් නීල්සන් දරුවකු ලබන්නට කල්පනා කිරීම ගැන බොහෝදෙනෙකු තුළ ඇත්තේ දැඩි මවිතයකි.

“… මගේ මේ තීරණය ගැන සමහර ගැහැණු හිතන්නේ අපොයි දෙය්යනේ කියලා. මමත් වයස වැඩි කෙනෙක් තමයි. ඒත් මම අහන ප්‍රශ්නය, පිරිමි කී දෙනෙක් ඔවුන්ගේ පළමු දරුවා ලබනවද, වයස අවුරුදු හැට ගණන්වලදී, හැත්තෑ ගණන්වලදී. ඒක ඒ ගොල්ලන්ට ගැටළුවක් නොවෙයි. …. මේක මගේ ජීවිතය. මමත් මගේ සැමියත් අතර ශක්තිමත් සම්බන්ධයක් තියෙනවා. …” යැයි කියා ඈ පීපල්ස් සඟරාවට පවසා තිබිණ.

බ්‍රිජට් නීල්ස්, මාටියා ඩෙස් සමඟ විවාහ වුණේ 2006 වසරේදී ය. එවක ඈ තිස් නව හැවිරිදි වියෙහි පසු වූවාය. වයස අවුරුදු හතළිහ පමණ වනවිට සිය ඩිම්භ, ඩිම්භ තැන්පත් කරන බැංකුවක තබා සංරක්ෂණය කරන්නට බ්‍රිජට් පියවර ගත්තේ අනාගතයේ දිනෙක දරුවකු ලබන බලාපොරොත්තුව ඇතිවයි.

ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාව, වයස අවුරුදු පනස් හතර වනවිට බ්‍රිජට්ගෙන් සෑහෙන දුරකට ගිලිහී ගොස් තිබිණ. එකල ඈ සතු ඒ හැකියාව 3%ත් 4%ත් අතර මට්ටමක පැවැතියේ ය. ඩිම්භ බැංකුවේ තැන්පත් කර තිබුණු ඩිම්භ ප්‍රයෝජනයට ගන්නට කල් එළඹෙන්නේ එහිදී ය.

බ්‍රිජට් සම්බන්ධයෙන් නල දරුවන් ලබාගැනීමේ තාක්ෂණය භාවිතයට ගත හැකි බැව් ඒ අනුව වෛද්‍යවරු තීරණය කළහ.

වයස අවුරුදු හතළිහට වැඩි කතුන් මාතෘත්වයට පත්වීම 1990 වසරේ සිට මේ දක්වා කාලය තුළදී දෙගුණයකින් පමණ වැඩි වී ඇත. වයස අවුරුදු පනහ ඉක්මවුවත් දරුවන් වැදීමෙන් ඈත් නොවන්නට කැමැති ගැහැනුන් සංඛ්‍යාවත් මේ වනවිට ඉහළ ගොස් තිබේ. කෙසේ වුවත් මේ කාටත් දරුවන් ලැබීම ගැන බලාපොරොත්තුවක් තබන්නට වැඩි ඉඩක් තිබෙන්නේ තරුණ වයසේදී සිය ඩිම්භ ශීතජනක තාක්ෂණය භාවිතයෙන් සංරක්ෂණය කර ඇත්නම්  පමණි. ඒ කාර්යය සපුරා නැති මාගමුන්ට සිදු වන්නේ ඩිම්භ ප්‍රතිදානය කරන වෙනත් ගැහැණියකගේ පිහිට පැතීමට ය.

කොහොම වුණත් වැඩිමහලු වයස්වල පසුවන කාන්තාවන් ගැබ් ගත් පසු දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම සහ පියයුරු පිළිකා ඇතිවීම වැනි තත්ත්වවලට ගොදුරු වන්නට ඉඩ තිබේ. වැඩිමහලු වයසක පසුවන කතක්, ඒ වනවිට තමන්ගේ සිරුරේ පවතින ඩිම්භ භාවිතයෙන් දරුවකු ලබන්නට ගියහොත් ජානමය අසාමාන්‍යතා සහිත දරුවකු ඇතිවීමේ  අවදානමකට ද මුහුණ දියයුතුයි.

වැඩිමහලු වයසේ සිටින මවක් සිය දරුවා මව් කිරිවලින් පෝෂණය කිරීමේදී ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වන්නේ නැත. එසේ වුවත් දරු ප්‍රසූතියෙන් පසුව ඈ ආර්තවාභයට ළඟා වන්නට ඉඩ තිබේ. ආර්තවාභයේදී ඇතිවන ශාරීරික සහ මානසික ගැටළු මවට දරා ගන්නට සිදුවන්නේ අතදරුවා සමඟ වෙහෙසෙමිනි. එය සෑහෙන අසීරු කටයුත්තක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

https://www.bbc.com/news/health-44966341

https://www.telegraph.co.uk/news/2018/06/24/actress-brigitte-nielsen-gives-birth-fifth-child-first-daughter/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි