×

නොමියෙන රෝස කුසුම – 2 කොටස 

ජනතාවගේ කුමරිිය‘ සහ ‘ආදරණීය රෝස කුසුම‘ වූ ඩයනා කුමරියගේ ජීවිතයේ අවසන් වසර දෙක පිළිබඳ සත්‍ය කතාව


රෝයල් බ්‍රොම්ටන් රෝහලේ නේවාසික හෘත් ශෛල්‍ය වෛද්‍යවරයා වූ හස්නාත් ඛාන් බරපතළ මිනිසෙකු විය. පාකිස්ථානයේ උපන්නෙකු වූ ඔහු, ජනප්‍රිය ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ දුරස්ථ ඥාතියෙකි. ඔහුට අනුව ජීවත් වීම යනු වැඩ කිරීමයි. එතරම් විශාල නොවූ වැටුපකට ඔහු සතියකට පැය අනූවක් වැඩ කළේය. දැඩි උත්සාහයෙන් හා කැපවීමෙන්, රෝගී ජීවිත වෙනුවෙන්ම සිය ජීවිතය කැප කර සිටි ඔහු, තනි නිදන කාමරයකින් සමන්විත සිය කුඩා මහල් නිවස වෙත ගියේ නිවාඩු දිනයක නිදාගැනීම සඳහා පමණි.

එදින රාත්‍රියේ කුමක් හෝ හේතුවක් නිසා, කෙන්සිංටන් මාළිගයේ හුදෙකලා ව සැතපී සිටි සිටි ඩයනා කුමරියගේ මුවග මන්දස්මිතයක් තැවරී තිබුණේය. එපමණක් නොව, ඒ මන්දස්මිතය විසින් ඇයව පසුදින උදෑසනම නැවතත් රෝයල් බ්‍රොම්ටන් රෝහල වෙත කැඳවාගෙන යාම ද සිදුවිය.

මිතුරියගේ සැමියා වන ජෝසප් දැඩි සත්කාර ඒකකයේ තවමත් නතර කර තිබෙන බවත්, දැඩි සත්කාර ඒකකය පිහිටා තිබෙන්නේ පළමු මහලේ කෙළවර බවත් ඇය හොඳින්ම දැන සිටියාය. ඇය අචේතනිකව මෙන් ඇවිද යමින් සිටියේ විදුලි සෝපානය වෙත ය. ඇය වෙන යම් කෙනෙකු සොයන්නීද?

විදුලි සෝපානයේ දොර හැරුණේය. කුමරියගේ දෑස විසල් විය. එහි සිටියේ කඩවසම් පාකිස්ථාන හෘත් ශෛල්‍ය වෛද්‍ය හස්නාත් ඛාන් ය. ඔවුන්ගේ නෙත් සතර එකට හමුවී, අගුලු වැටී නතර විය. “ඔබ … ඔබ පහළට යනවද?” මොහොතකට පසු වෛද්‍ය හස්නාත් ඇයට ඇතුළට එන්නට ඉඩ දෙමින් ඇසුවේය.

“ඔව්.. ස්තූතියි… මම මේ.. ජෝසප් බලන්න ආවා..” කුමරිය පැකිළෙමින් එසේ කියමින් සෝපානය තුළට පියවර තැබුවාය. “ඔහුට දැන් ගොඩක් හොඳයි..”

නමුත් වෛද්‍යවරයාගේ නළල රැළි වී තිබේ. “ඒත් මිස්ට ටොෆලෝ ඉන්නෙ ඒ තට්ටුවෙ නෙවෙයිනෙ..”ඔහුට කියවුණේය.

“ඔව්… ඔව්.. මේකයි වුණේ, මට පාර වැරදුණා.” ඊළඟ ඇසිල්ලේ ඇය මෙසේ ද කීවාය. “ඇත්තටම මට පාර වැරදුණා නෙවෙයි, මම නිකං ඇවිදලා බැලුවා. හොස්පිට්ල්ස්වල ඇවිදල බලන්න මම ආසයි..”

විදුලි සෝපානයේ දොර විවර විය. “ඇත්තටම කැමතියිද?” වෛද්‍ය හස්නාත් ඇසුවේ මද පුදුමයකිනි. ඔහුට රෝහල්වල ඇවිද බලන්නට ආසා කරන රාජකීය යුවතියක් සිය ජීවිතයේ කිසිකලෙකත් මුණ ගැසී නොතිබිණි.

“ඔව්… ලෙඞ්ඩුන්ගෙ සුවදුක් බලන්න, මට පුලුවන් දෙයක් කරන්න මම හරිම කැමතියි.”

වෛද්‍ය හස්නාත්ගේ මුවේ විසල් සිනාවක් ඇඳුණේය. “මම ඔබට හොස්පිට්ල් එක පෙන්නන්නම්… වෙන වෙලාවක..” ඔහු කීවේය.

“මම ඒකට හරිම කැමතියි..”

හස්නාත් ඇගේ මුව මඬල දෙස මොහොතක් බලා සිටියේය.

“මම දන්නෙ නෑ ඔබව කොහොමද සම්බන්ධ කර ගන්නෙ කියලා… මම කියන්නෙ කතා කරන්නෙ…?”

“ගොඩක් අයට වගේ මටත් තියෙනවා මොබයිල් එකක්” යැයි කියද්දී කුමරියගේ දෑසෙහි මද දිලිසීමක් විය. “ඇත්තටම ගොඩක් අයට වගේ නෙවෙයි, මට තියෙනවා මොබයිල් හතරක්..”

“එක නොම්බරයක් ඇති..” හස්නාත් සිනාසෙමින් කීවේය.

ඈ පැපරාසීන් හා ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියෙන් සිය පුද්ගලිකත්වය රැකගනු පිණිස සෑම මාස හයකටම වරක් සිය ජංගම දුරකථන අංක වෙනස් කරන බව ඒ මොහොතේ වෛද්‍ය හස්නාත් ඛාන් දැන සිටියේ නැත.

“උදෑසන එකොළහට උතුම් කැන්ටබරි හි ආදිපාදවරයා හමුවීම, දහවල් 1ට…” වින්ඞ්සර් මාළිගයේ නියෝජිතයෙක් ද කුමරියගේ බට්ලර්වරයා ද වන  පැටි්‍රක් ඇයට මීළඟ දිනයේ පැවරී තිබෙන රාජකාරි ලැයිස්තුව කියවමින් සිටියේය. ඒ සමගම දොර විවෘත වෙනු ඇසෙන විට කුමරිය, “පෝල්” යනුවෙන් හඬගා සිය ප්‍රමුඛතාවය වෙනස් කළාය. පිටුපස හැරී බැලූ පැටි්‍රක් නොසතුටින් යුතුව ලැයිස්තුව තවදුරටත් කියවන්නට විය. “දහවල් 1 ට ක්ලයි ජේම්ස් සමග දිවා භෝජනය. සවස 3 ට බ්‍රෝඞ්මුවර් හි වෛද්‍යවරුන් සමග කෙටි සාකච්ඡාව කෙන්සිංටන්හිදී..” ඒ වන විට විශ්වාසවන්ත සේවක පෝල්, කුමරිය විසින් ඇණවුම් කර තිබූ පොතක් ඇය වෙත ගෙන එමින් සිටියේය. එය අනෙකක් නොව, ග්‍රේස් ඇනටොමි නමැති වෛද්‍ය ග්‍රන්ථයයි. “ස්තූතියි, පෝල්” කුමරිය මහත් සතුටින් කීවාය. “තව එක දෙයක් උත්තමාවිය..” පැට්‍රික් දැඩි සිතින් පෝල් දෙස බලත්ම පෝල් ඉවත් වී ගියේය. “කටකතාවක් තිබෙනවා ඔබතුමිය බීබීසී එකත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කළා කියලා.”
“ඔව්.. ඒ ගැන වද වෙන්න එපා  පැට්‍රික් .. හැම දෙයක්ම හරි යයි..” ඇය සිතින් සූදානම් වෙමින් සිටියේ වෛද්‍ය හස්නාත්ගෙන් ලැබී තිබූ දුරකථන ඇමතුම අනුව පසුදින උදෑසනම රෝයල් බ්‍රොම්ටන් රෝහල නැරඹීමට යාමට ය. එයටත් වඩා, සිය සිත්ගත් වෛද්‍යවරයාව තවත් වරක් හමුවෙන්නටය. කුමරියගේ අතැඟිලි, පොතේ හෘත් චිකිත්සාව සඳහා වෙන් වූ පිටුවක නතරවිය. හැම දෙයක්ම හරියාවි කියා සිත කියන්නේ ඇයි..?

“මේ තියෙන්නෙ පුද්ගලික කාමර 10 ක් සහිත ශ්‍රීමත් රෙජිනල්ඞ් විල්සන් වාට්ටුව.. මේ පැත්තෙ හෘත් සායනය.” පසුදින උදෑසනම වෛද්‍ය හස්නාත් ඇයට රෝහල පෙන්වීමේ කටයුතුවල නිරත වී සිටියේය. හෙදියෝද උපස්ථායිකාවෝද පෙළ ගැසී කුමාරිකාව බලන්නට පැමිණ සිටියහ. ඔවුහු මිමිණූහ.“ලේඩි ඩයනා…” ඇයට ලැබෙන මේ පිළිගැනීම නිසා වෛද්‍ය හස්නාත් කුලෑටි කමකින් හා අපහසුතාවකින් පෙළෙමින් සිටියේය. ඔහු කුමරිය මෙන් ප්‍රසිද්ධියට ලැදි හෝ එය දරාගත හැකි මිනිසෙක් නොවේ.

“ඔබේ තාත්තා වෛද්‍යවරයෙක්ද?” කුමරිය හස්නාත්ගෙන් ඇසුවාය.

“නෑ.. තාත්තා පවුලේ ව්‍යාපාරයක් කරනවා. වීදුරු බෝතල් බිස්නස් එකක්. ඒත් මගෙ එක මාමා කෙනෙක් හාට් සර්ජන්ට් කෙනෙක්”
“ඉතින් ඔබ ඔහු ව ආදර්ශයට ගත්තා?”

“මම කාවවත් ආදර්ශයට ගන්නෙ නෑ..” වෛද්‍ය හස්නාත් විගස කීය. “ඒත්, ඔව් මම පිළිගන්නවා, මගේ මාමා මට මේ පාරෙ එන්න මග පෙන්නුවා.. සමහරවෙලාවට පවුල් වලින් අපට ලොකු උදව්වක් ලැබෙනවා.’

‘ඒ වගේම පවුල් වෙලාවකට හරිම වදයක් වෙනවා.” කුමරිය පහත් ස්වරයෙන් කීවාය.

“සමහරවෙලාවට මම ඒ පැත්තෙන් ඔබට වඩා වාසනාවන්ත ඇති..”
“මම දන්නෙ නෑ…”
“මේක තමයි හාට් ඔපරේෂන් කරන තැන..” වෛද්‍ය හස්නාත් ඇයව ශල්‍යාගාරය වෙත කැඳවාගෙන ගියේය.

“ඔපරේෂන් එකකට කොයි තරම් වෙලා යනවද?”

“සමහර වෙලාවට පැය අටක් නවයක්..”

“දෙවියනි, කොහොමද එහෙම වැඩ කරන්නෙ..”

“ඔබ තුළ තියෙන, කාලයට අර්ථයක් නැති තැනකට ඒ වගේ වෙලාවට ඔබ ළඟා වෙනවා. ඔබ ඔපරේෂන් එක කරනවා නෙවෙයි, ඔපරේෂන් එක විසින් ඔබව ක්‍රියාත්මක කරවනවා.”

“ඒ හැඟීමට මම හරිම කැමතියි” කුමරිය කීවාය.

“ඒත් අන්තිමට ඔපරේෂන් එක අවසන් වෙනවා. එතකොට යථාර්ථය ටිකක් කටුකයි. ඔබට හරිම වෙහෙසයි”

ඉන්පසු හස්නාත් ඇයව කැඳවාගෙන ගියේ හදිසි අවස්ථාවකදී කැඳවීමට නියමිත වෛද්‍යවරුන් නේවාසිකව සිටින කාමරයක් වෙත ය. ඉතා කුඩා එකක් වූ එහි කදිම පිළිවෙළක් දක්නට තිබේ. කුමරිය ඇතුලු වූ විගස වෛද්‍ය හස්නාත් විදුලි පහන දැල්වීය. “ඔහ්.. මෙතැනද ඉන්නෙ..?”

“හ්ම්..”

“කන්නෙ මොනවද?”

“පහළ මාලයෙ කැන්ටිමක් තියෙනවා. ගොඩක් රෑ වෙද්දි නම් වහනවා” හස්නාත් කීය.

“ඉතින් ඔබට පුලුවන් නෙ, එහෙම දවසට මාත් එක්ක රෑ කෑම ගන්න..” කුමරිය එසේ කිව්වා නොව අනිච්ඡානුගව එසේ කියවුණා වැන්න. වෛද්‍ය හස්නාත් ඈ දෙස මොහොතක් බලා සිට ඉන් පසු මහහඬින් සිනාසෙන්නට විය. “මම ඇත්තටම කියන්නෙ.” යැයි කුමරිය කියන විට ඔහුගේ සිනහව අතුරුදන් විය. ඔහු පුදුමයෙන් බලා සිටියේය. “මාළිගයෙ හැමෝම මහ රෑ වෙනකල් අවදියෙන් ඉන්නෙ.”

තෙවන කොටසින් හමුවෙමු.

පළමු කොටස –

නොමියෙන රෝස කුසුම – 1 කොටස



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි