×

”සුපිරි දරුවෝ” ( ඔබට ඔබේ දරුවන්ව සුපිරි තත්ත්වයට පත්කළ හැකිද?)

නැත්නම් අධි බුද්ධිමය හැකියාවන්ගෙන් යුක්ත කුඩා දරුවන් බිහිවීම ස්වභාවධර්මයේ ආශ්චර්යයක්ද?


තෙහැවිරිදි වියට එළඹෙත්ම න්ගුයෙන් න්ගොක් ටෘමන් සන්ට දැකගත හැකි වූයේ ඔහුගේ මවත් පියාත් මෙකොන්සෙල්ටාහි පිහිටා තිබූ පවුලේ ගෘහස්ත ක්‍රීඩාංගනයේ චෙස් ක්‍රීඩා කරමින් සිටින ආකාරයයි. ඕනෑම දෙමව්පියන් කරන ආකාරයට ඔවුහු ද තම දරුවා හට චෙස් ක්‍රීඩා කිරීම පිණිස ඇරයුම් කර සිටියහ. ඔවුන් බලාපොරොත්තු වූයේ තම පුතු, චෙස් ලෑල්ල කැබිලිවලට කැඩෙන්නට පොළොවේ ගසා, ප්ලාස්ටික් බිෂොප්ව තේ බදුනේ ඔබා, සුදු පැහැති චෙස් රජුගේ මුහුණ සීනි බඳුන තුළ ගිල්වනු ඇත කියාය. එහෙත් ඔහුගේ දෙමව්පියන් පුදුමයට පත් කරමින් ඔහු චෙස් ලෑල්ල ක්‍රීඩා භාණ්ඩයකැයි සිතුවේ නැත. බාලි ප්ලයිවුඩ් කැබැල්ලකින් සාදා තිබූ චෙස් ලෑල්ල ක්‍රීඩාවට උචිත ආකාරයට සකස් කරන ආකාරයවත් ඔහු දැන සිටියේ නැත. එහෙත් තම මාපියන් දිගින් දිගටම ක්‍රීඩාවේ නිරත වන ආකාරය ඔහු ඉතා ආශාවෙන් බලා සිටියේය. ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළේය. කුඩා දරුවා ඉක්මනින්ම ක්‍රීඩාවේ සංකීර්ණ නීති උගත්තේය. මාසයකට පසු ඔහු චෙස් ක්‍රීඩාවෙන් තම මාපියන්ව පැරදවීය. සිව් හැවිරිදි වියේදී දෙමාපියෝ ඔහුව දරුවන්ගේ ජාතික ශූරතා තරගාවලියට ඉදිරිපත් කළහ. හත් හැවිරිදි වියේදී සන් ජාතික ළමා ශූරයා බවට පත්විය. දැන් දොළොස් හැවිරිදි ඔහු වියට්නාමයේ ළාබාලම චෙස් ශූරයා පමණක් නොව ග්‍රෑන්ඩ් මාස්ටර්වරයෙක් ද වේ.

සන්ගේ දෙමව්පියන්, චෙස් ගුරුවරුන් ඇතුළු පිරිස ඔහු නිසා අද මාසිකව ලබන මුදල ඩොලර් 100 ද ඉක්මවයි. දරුවාගේ පියා, සන් සතු විශ්මිත හැකියාව විස්තර කරන්නේ මේ ආකාරයටය. “මේක ඔහුට ඇතුළාන්තයෙන්ම ලැබුණු ත්‍යාගයක්’’ එය සත්‍යයකි. ඔබට කිසිවිටෙක තෙහැවිරිදි දරුවෙකුව චෙස් ක්‍රීඩාවට පුහුණු කළ නොහැක. සන්ට නම් තමන් කරන්නේ කෙතරම් භාරදුර කාර්යයක්ද යන්න පිළිබඳව කිසිදු ආත්ම මානයක් නොමැත. චෙස් ක්‍රීඩාවේ සංකීර්ණ තාර්කික ඉගෙන ගැනීම මේ දොළොස් හැවිරිදි කුඩා දරුවාට බබල්ගම් එකක් හැපීම තරම් ස්වාභාවික, සරල පහසු දෙයකි. “මම චෙස් බෝඩ් එක දිහා නිකමට බලනවා විතරයි. ඉන් පස්සෙ කරන්න ඕනෙ දේ ඉබේම මට හිතෙනවා.’’ ඔහු ටයිම් වාර්තාකරුවා ප්‍රශ්නයක් අතර සිව්වෙනි ඇදීමත් අවසන් කර එලෙස පැසුවේය. “ඒක මගෙ හිතට දැනෙනවා’’.

මෙම වයසේ දරුවන්ටචෙස් ශූරයෙකු වීමට තරම් ශූර බුද්ධියක් ලැබුණේ කෙසේද යන්න විද්‍යාඥයන්ගේ නැණැසට තවමත් අපැහැදිලි කාරණයකි. ඉතිහාසය පුරාම මෙවැනි දරුවන් කොතෙකුත් සිට ඇත. ඔවුන්ව සැලකෙන්නේ ‘පුදුම සහගත අපූර්ව වස්තූන් ලෙසටය’.

ලෝකයේ ළාබාලම උපාධිධාරියා ලෙසින් සැලකෙන ඇමරිකානු ජාතික මයිකල් කීර්නි තම සුවිශේෂ දක්ෂතා දක්වන්නට පටන් ගත්තේ මාස හයේදීය.

1902 දී ලෝකයේ එදා මෙදාතුර බිහි වූ අතිදක්ෂ දරුවෙකු වන විලියම් ජේම්ස් සීඩ්ස් හෝමර්ගේ ඉලියඩ් කාව්‍යය ග්‍රීක බසින් කියවූයේ හතර හැවිරිදි වියේදීය.

වොල්ෂ්ගැනිග් අමඩියස් මොසාර්ට් තම පළමු ස්වයං ස්වර ප්‍රස්ථාරය නිර්මාණය කළේ 1761 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 5 ක් විය.

වයලින් විශාරද යෙහුඩි මෙනුහින් 1923 දී සැන්ප්‍රැන්සිස්කෝහි දී ඉතා ඉහළ මට්ටමක තිබූ තම පළමු වයලින් වාදනය ඉදිරිපත් කරන විට ඔහු සත් හැවිරිදි වියේ පසු විය.

ඉතාලි ජාතික ගණිතඥවරියක, අධ්‍යාපනඥයෙකු සහ භාෂා විශාරදයෙකු වූ මාරියා ගේටනා ඇග්නිසි තම උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උසස් නිබන්ධනය ලියුවේ දහ හැවිරිදි වියේදී 1907 වර්ෂයේදීය.

ප්‍රංශ ගණිතඥයෙකු, විද්‍යාඥයෙකු හා චින්තකයෙකු වන බ්ලේබ් පැස්කල් ග්‍රීක ගණිතඥ ඉයුක්ලීඩ් විසින් අසම්පූර්ණ ලෙස සොයාගෙන තිබූ ප්‍රමේයය සම්පූර්ණ කළේ 1935 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු දොළොසක් විය. බ්‍රිතාන්‍ය ගණිතඥ රූත් ලෝරන්ස් 1982 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වූයේ එම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට සමත් වූ ළාබාලම ශිෂ්‍යාව වශයෙනි. එවිට ඈ දොළොස් හැවිරිදි වියෙහි පසු වූවාය.

1894 දී දහතුන් හැවිරිදි පැබ්ලෝ පිකාසෝ ලාකොරුනාහිදී වෙළෙඳසලක ඉදිරි කවුළුව මත තබා ප්‍රදර්ශනය කළේය.

1970 දී ඔලිම්පික් ඉතිහාසයේ අද්විතීය වාර්තාවක් සමරමින් ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා රෝමානු ජිම්නාස්ටික් ශූරියක වන තාඩීයා කොමොනෛසි ලකුණු දහෙන් දහයම ලබාගන්නා විට ඇගේ වයස අවුරුදු 14 කි.

විද්‍යාඥයෝ මෙම සුපිරි දරුවන්ගේ සංස්කෘතික සහ ජීව විද්‍යාත්මක පසුබිම් සොයන්නට පෙළඹී සිටිති. ඔවුන් කළ අලුත්ම පර්යේෂණයකින් පිළිබිඹු වන්නේ ඔවුන් මේතාක් අපේක්ෂා කළේ කුමක්ද යන්නයි. මෙම පර්යේෂණයෙන් හෙළිදරව් වී ඇත්තේ කුමක්ද? සුපිරි දරුවන්ගේ මොළ ක්‍රියා කරන්නේ අනෙකුත් සාමාන්‍ය දරුවන්ගේ මස්තිෂ්ක ක්‍රියාකාරිත්වයට වඩා වෙනස් ආකාරයකට බවයි. කෙසේ නමුත් වැදගත්ම ප්‍රශ්නය තවමත් දෙමව්පියන්ගේත් විද්‍යාඥයන්ගේත් සිත්වලත් ඉතිරි වී තිබේ. “සුපිරි දරුවන් අහඹු ලෙස උපදිනවාද? එසේත් නැත්නම් සුපිරි දරුවන් තැනිය හැකිද?’’ එය ජානවල හාස්කමකින් ඇතිවන ජානමය ත්‍යාගයක්ද? එසේත් නැත්නම් මෙම තත්ත්වය ඇතිවන්නේ දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු බාහිර පරිසරයේ බලපෑම් තුළින්ද? අවසාන ප්‍රශ්නයට පිළිතුර සොයාගත හැකි ඉතා හොඳ ක්‍රමයක් තිබේ. එය නම් ලෝකයේ විවිධ ප්‍රදේශවල වාසය කරන සුපරි දරුවන්ගේ ජීවන රටා සහ පවුල් පරිසරය සැසඳීමයි.ඉන්දියාවේ කුඩා පරිගණක විශේෂඥවරයාගේ පටන් ජපානයේ අතිදක්ෂ පියානෝ වාදිකාවගේ ජීවන රටාව අධ්‍යයනය කිරීම සත්‍ය වශයෙන්ම අපට කළ හැකිය. ඔවුන්ගේ අසාමාන්‍ය ජීවිතවල පසුබිම් සාක්ෂි සෙවීම සත්‍ය වශයෙන්ම අපට කළ හැක.

එහිදී මෙම කරුණ ඉතා හොඳින් පැහැදිලි වේ. එය නම්, ඔවුන් සතු අසාමාන්‍ය හැකියාවලට ඔවුන්ගේ ජීවන රටා හෝ ඔවුන් වාසය කරන පළාත බලපෑම් ඇති නොකරනා බවයි. මේ අතර එදාමෙදා බිහිවූ සුපිරි මොළවලින් වැඩි කොටසක්ම බිහි වී ඇත්තේ ආසියාවෙන් වීම ද විශේෂ ලක්ෂණයකි. අතීතයේ පෙනෙන්නට තිබුණේ අඩු අධ්‍යාපනික සුදුසුකම් සහ අඩු සම්පත්වලින් යුක්ත ආසියාකරයේ දරුවන්ගේ සහජ දක්ෂතා පවා කාලයේ වැලි තලාවට හසුව වියැකී යනු ඇත කියායි. එහෙත් ආසියාකරයේ මධ්‍යම පන්තිකයන් අතරින් සුපිරි දරුවන් බුරුතු පිටින් බිහිවන්නට පටන්ගෙන තිබේ. 1997 දී කළ සමීක්ෂණයකින් හෙළිදරව් වූයේ තායිවානයේ ජාතික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනා රසායන විද්‍යා හා භෞතික විද්‍යා සිසුන් අතරින් බහුතරයක් නියෝජනය කරන්නේ ආසියාකරයේ සාමාන්‍ය ආර්ථික හා සමාජීය මට්ටමක් තිබුණ මධ්‍යම පන්තිය විසින් බවයි. මෙම විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හතරෙන් තුනක්ම නියමිත වයසට වඩා අඩු වයසක් ඇති දරු දැරියෝ වූහ. වර්තමානයේ නිව්යෝර්ක් නගරයේ ලෝප්‍රකට ජලියාර්ඩ් සංගීත විද්‍යාලයේ දරු දැරියන්ගෙන් වැඩි කොටසක් ද ආසියාතික දරුවෝ වෙති. ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතා දුර්වල මට්ටමක පැවතුණත් එය ඔවුන්ට ප්‍රශ්නයක්ව තිබුණේ නැත. ඒ වෙනුවට ඔවුහු තම මව් භාෂා වන ජපන්, චීන හෝ කොරියානු භාෂා භාවිත කළහ.

කෙසේ නමුත් සත්‍යය නම්, ලෝකයේ ඕනෑම රටක, ඕනෑම පාසලක ඕනෑම පන්ති කාමරයක ඉගෙනුම ලබනා දරු දැරියන්ගෙන් බහුතරය සුපිරි දරුවන් නොවන බවයි. දෙහැවිරිදි වියේදී පමණ සුපිරි දක්ෂතා දක්වන්නට පටන් ගන්නා දරුවන්ව හඳුනා ගැනීමේ වැඩි වගකීම ඒ අනුව දෙමව්පියන් පිට පැවරෙයි. “මම නිතරම එවැනි දරුවන්ගේ දෙමව්පියන්ට කියන්නෙ…’’ මනෝ විද්‍යාඥයෙකු මෙන්ම ‘ගිෆ්ටඩ් චිලිරන් මිත්ස් ඇන්ඩ් රියලටීස්’ නමැති ග්‍රන්ථයේ කතුවරයා ද වන එලන් විනර්ය. “ඔබ එවැනි දරුවෙකුගේ දෙමව්පියන් නම්, ඔබේ දරුවා, විශේෂ කෙනෙක් බව මතක තබා ගත යුතු බවයි.’’

දහ හැවිරිදි අබ්ගලි සින්, සිංගප්පූරුවේ ජනප්‍රියතම කුඩා පියානෝ වාදිකාවකි. සින්, පොත්පත් කියවීම ආරම්භ කළේ දෙහැවිරිදි වියේදීය. ඉන්පසු ගතව ඇති තෙවසරක කාලය තුළ ඇය පියානෝ විශේෂඥවරියක බවට පත්වූවාය. නිව් සවුත් වේල්සයේ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලැබූ ජාත්‍යන්තර පියානෝ තරගයකින් ඇය පළමු සියදෙනා අතරට පැමිණියාය. ඇය සියුමැලිය එහෙත් පියානෝව වාදනය කරන විට ඇගෙන් දිස්වනුයේ පුදුමය උපදවන සුලු පරිණත බවකි. මෙම සිංගප්පූරු දැරිය ජාතික සංගීත ඩිප්ලෝමාව ද ඉහළින්ම සමත් වූවාය. සින්ගේ පියානෝ ශෛලියේ අද්විතීය බවක් දැකගත හැකියි. ඇය වරකට දරාගත හැකි, ඉගෙනගත හැකි පරාසය ඉතා පුළුල් එකකි. එනිසා ඇයට පියනෝ යතුරු පුවරුවේ අද්විතීය ආකාරයට අලුත් ශෛලීන්ට ඇඟිලි දිවවීමට ඇත්තේ පුදුමාකාර ආශාවකි. වයස අවුරුදු පහේදී පළමු පියානෝ පාඩම ඉගෙන ගනිද්දි ඇය කෙරෙන් මෙම විශේෂ ලක්ෂණය දැකගත හැකි විය. “බොහෝ කුඩා දරුවන් පියානෝව ඉදිරියේ පැය ගණනක් වාඩි වී සිටීමටත් අකැමැතියි’’ ඇගේ පියානෝ ගුරුවරයා වන බෙන්ජමින් ලොහ් පවසයි. “නමුත් අබිගාලි එයට වඩා වෙනස්’’ ඇය සාමාන්‍යයෙන්සතියකට පැය 25 ක් පමණ තම පුහුණුවීම්වල යෙදෙන්නීය. “ඇය පියානෝව වාදනය කිරීමට අතිශයින්ම කැමැතියි. ඒ වගේම ඇය ඉගෙන ගන්නේ අසාමාන්‍ය අධිවේගයකින්.’’ ඇගේ මෙම හැකියාව, ඇගේම නිවුන් සොහොයුරු වන ජොසියාහ්ට ද වඩා බෙහෙවින් ඉදිරියෙන් ඇති එකකි. ඔහු තම සොහොයුරියට ආදරය කළත් ඇගේ පියානෝ වාදන හැකියාව බෙදා ගැනීමට අකැමැතිය. “ඇය හැම විටකම එකම ස්වර ඛණ්ඩය නැවත නැවතත්, නැවත නැවතත් වාදනය කරනවා. හරිම හිසරදයක්.’’ ඔහු චෝදනා කරයි.

අබිගාලිට මෙම පෙළඹවීම ලැබුණේ කොයින්ද? වෛද්‍ය පර්යේෂකයින්ට ද මොවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඇති අසාමාන්‍යතාව වටහා ගැනීමට තවමත් තැත් කරමින් සිටිති. ඔවුන් සොයා ගැනීමට තැත් කරන්නේ මොළයේ නියුරෝන පරිපථ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවය. ස්නායු විශේෂඥයින් පසුගිය දශකය තුළ මොළයේ ශ්වේත ද්‍රව්‍යය පිළිබඳව බොහෝ කරුණු සොයාගෙන ඇත්තාහ. එය එම අංශයේ හදිසියේ ඇති වූ පිබිදීමකි. වෛද්‍ය විශේෂඥයන් මෙම තොරතුරු සොයා ගැනීමට භාවිත කළේ fMRI ස්කෑන් ක්‍රමය වැනි ඉතා නූතන තාක්ෂණික උපක්‍රමයන්ය. (වම්හක අනුනාද පරිලෝකන ක්‍රියාකාරිත්වය) මෙහිදී සිදු කෙරෙන්නේ මොළයේ එක් එක් කොටස්වලට ලැබෙන රුධිර සැපයුම විවිධ මානසික ක්‍රියාවලදී මිනුම් කිරීමයි. මේ වන විට පෘථිවියේ දකුණු අර්ධ ගෝලයේ ඇති එකම fMRI ස්කෑන් යන්ත්‍රය ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන්හි පමණි. ඇමරිකානු මනෝ වෛද්‍ය මයිකල් ඔ බොයිලේ සුපිරි ගණිතඥ දරුවන්ගෙ මොළය චුම්භක අනුනාද ක්‍රමය පරීක්ෂා කරන්නේ මෙ fMRI ස්කෑනර් යන්ත්‍රය ආධාරයෙනි.

මෙම ක්ෂේත්‍රයේවඩාත් ආන්දෝලනාත්මක සොයාගැනීම් කිහිපයක් ඔහු විසින් කර තිබේ. ඒ අනුව අංක කෙරෙහි (ගණිතය කෙරෙහි) සුපිරි තාරකාවක් දක්වන දරුවන්ගේ මස්තිෂ්කවල දකුණු අර්ධ ගෝලයෙ පරිවෘත්තීය ශීඝ්‍රතාවය සාමාන්‍ය දරුවන්ගේ මොළයේ එම අර්ධ ගෝලයේම පරිවෘත්තීය ශීඝ්‍රතාවයට වඩා අධිකය. ඔහු එවැනි දරුවන්ගේ මස්තිෂ්කවල පූර්ව කණ්ඩිකාවේ නියුරෝන තන්තු ඉතා අධික ලෙස සාන්ද්‍රණය වී ඇති බවද සොයාගෙන තිබේ. සාමාන්‍ය දරුවන් සාමාන්‍ය ආකාරයට යම් කටයුත්තකට නිරත වී සිටින විට මෙම පූර්ව ඛණ්ඩිකා මෙතරම් ක්‍රියාශීලී වන්නේ නැත. මෙල්බෝන් විශ්වවිද්‍යාලයේ මෝර්ගන් මධ්‍යස්ථානයේ දැනට සේවයේ නියුතු ඔ බොයිලේ පවසන්නේ මෙම දෙපිරිසගේ වෙනස්කම් ඉතා හොඳින් පැහැදිලි බවයි.

තවද මෙවැනි සුපිරි දරුවන් සම්පූර්ණ මොළයෙන් ජීවත් වන අය යැයි තමා සිතන බවද ඔහු පවසයි. සම්පූර්ණ මොළය යන්නෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද? මොළය ප්‍රධාන වශයෙන් වම් හා දකුණු ලෙස මස්තිෂ්ක අර්ධ ගෝල දෙකක එකතුවකි. මෙ දරුවන් යම් ක්‍රියාවක යෙදී ඇති විට ඔවුන්ගේ මොළයේ එම පාර්ශ්වයන් දෙකම එක ලෙසින් අධික ක්‍රියාකාරී වෙයි. ඒ නිසා එම ක්‍රියාවට අදාළව නිර්මාණශීලීත්වය හා තර්කන හැකියාව ආදිය සංකලනය කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. එහි විශ්මයජනක ප්‍රතිඵලය වන්නේ ඔවුන් විශ්මයජනක ලෙස තමන් කරන කාර්යයට ඇබ්බැහි වී, ක්ෂණික පරිණත බවත් ලබාගැනීමයි. එනම් ඔවුන්ගේ මානසික ශක්තිය අනෙක් දරුවන්ට වඩා ඉතා බලවත්ය. ඔවුන්ගේ මොළයන් සාමාන්‍ය දරුවන්ගේ මස්තිෂ්කවලට වඩා ව්‍යුහයෙන් වෙනස් වන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට ඒවා ව්‍යුහිකව සමානය. නමුත් සිතිවිලි ඉපදීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ ඇති සුවිශේෂීතාවය නිසා ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සුවිශේෂී වේ. මෙය ජීව විද්‍යාවේදී අප සිද්ධාන්තයක් ලෙසින් උගන්නා ව්‍යුහ – කෘත්‍ය අනුපූරකතාවය හෙවත් යම්කිසි ඉන්ද්‍රියක ව්‍යුහය සැකසී ඇත්තේ එය විකරණය වී ඇති කාර්යය ඉටු කරන්නටය යන සිද්ධාන්තයට අභියෝග කරයි.

නමුත් සුපිරි දරුවන්, සුපිරි ජාන නිසා උපදින්නේ විය නොහැකිද? එසේත් නැතිනම් ඕනෑම දරුවෙකුගේ මානසික ශක්තිය ඉතා ඉහළ තලයකට ගෙන ඒමෙන් ඔහුව සුපිරි දරුවෙකු බවට පත්කළ හැකිද?

නිශ්චිතවම ‘ඔව්’ යැයි කිව නොහැකි එම ප්‍රශ්නවලට විද්‍යාඥයින් ලබාදෙන පිළිතුර වන්නේ විය හැකියි. යන්නයි. තවද කෙනෙකුගේ අමු බුද්ධිය (Rawintelligence) මැනීමට යොදාගන්නෙ IQ පරීක්ෂාව නොවැදගත් එකක් බවද ඔවුහු පවසති. එයට හේතුව සාමාන්‍ය දරුවන් සම්බන්ධයෙන් එය වලංගු නොවීමයි. එනම් සාමාන්‍ය දරුවන්ගේ බුද්ධියත් ඔවුන්ගේ IQ පරීක්ෂණ ලකුණුත් අතර එතරම් සම්බන්ධතාවයක් දැකිය නොහැක. එනම් සුපිරි දරුවන් සඳහා පමණක් IQ පරීක්ෂණ වලංගු වීම නිවැරදි බවකි. නමුත් කිසියම් විශේෂිත එක් හැකියාවක් ඇති දරුවන් සුපිරි දරුවන් හෙවත් සුබග දරුවන්ටත් වඩා පහත් මට්ටමක සිටිය හැකියි නොවේද? IQ පරීක්ෂණවල අසාර්ථක බව මෙයින් හෙළි වේ.

සුපිරි දරුවන්ගේ ලෝකය

මනෝ විද්‍යාඥ විනර්ගේ පර්යේෂණවලින් හෙළිදරව් වන ආකාරයට මෙබඳු සුපිරි හෙවත් සුබග දරුවන් කුඩා කල හැදී වැඩී ඇත්තේ ‘උත්තේජිත පරිසර’ වලය. උදාහරණයක් වශයෙන් දෙමව්පියන් ඔවුන්ගේ කාමරය හා විසිත්ත කාමරය පවා පොත්පත්වලින් පුරවා තිබිණි. එවැනි දරුවෝ ඉතා අඩු වයසින්ම පොත් කියවීමට හුරු වෙති. ලෝකය පිළිබඳව බොහෝ දේ කුඩා කලදීම සිතේ ධාරණය කරගනිති. එයින් නොනැවතී දැනුම සොයා යාමට ඇබ්බැහි වෙති. මෙම දෙමව්පියෝ ඉතා කුඩා කල පටන්ම තම දරුවන්ව සන්දර්ශන, කෞතුකාගාර ආදිය නැරඹීමට ගෙන ගිය අය වූහ. එම දෙමව්පියෝ ඉතා ඉහළ මට්ටමක ස්වාධීනත්වයක් තම දරුවන්ගෙන් අපේක්ෂා කළ අය වූහ. ඔවුහු තම දරුවන්ට අසවල් දෙය අසවල් ආකාරයට කළ යුතු යැයි අණ කළේ නැත. එවිට දරුවෝ කුඩා කල පටන්ම නිර්මාණශීලීව ස්වාධීනව සිතා බලා තම කටයුතු මෙහෙයවා ගත්හ. වසර කිහිපයක ඇවෑමෙන් ඔවුහු තම දක්ෂතා තමන් විසින්ම හඳුනා ගත්හ. ඒවා වැඩි දියුණු කරගැනීමට ඔවුන් දෙමව්පියන්ගෙන් පැතූ සහාය එලෙසින්ම ලැබෙන කල ඔවුහු සුබගයින් බවට පරිවර්තනය වූහ.

කෙසේ නමුත් දරුවෙක් සුපිරි දරුවෙකු බවට පත්වීමේ අවාසිදායක තත්ත්වයක් ඇති බවද මෙහිදී සිතට ගත යුතුය. උදාහරණයක් වශයෙන් පොත් පත් කියවීමට ඇබ්බැහි වූ සුපිරි දරුවෝ සම වයස් යහළු යෙහෙළියන් සමග එක්වී වල්පල් දෙඩීම ප්‍රතික්ෂේප කරති. මෙම දරුවන් වඩාත්ම සමීප ලෙස සම්බන්ධතා පවත්වන්නේ තම දෙමාපියන් ඇතුළු කිහිප දෙනෙකු සමග පමණි. එහෙත් ඔවුන් වැඩී වැඩිහිටියන් බවට පත්වූ කල සාමාන්‍ය සමාජ භූමිකා රඟපෑමට නොහැකිව අසරණ වීමට පුළුවන. උදාහරණයක් වශයෙන් පොත් පත් කියවීමට ඇබ්බැහි වූ ගණිතය, සාහිත්‍ය හෝ විද්‍යා අංගයන්ගෙන් සුබ තත්ත්වයට පත්වූ දැරියක්, වැඩිහිටි වූ පසු විවාහ වී දරුවන් ලැබීම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන. ඇය සතුව එම ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතු තිබේ. ඇය සාමාන්‍ය මවකගේ ගෘහනියකගේ ජීවිතයට ඔබ්බෙන් වූ යමක් අරමුණු කරගෙන සිටින්නියකි. ඒ නිසාම ඇයට සාමාන්‍ය ජීවිතය නොවැදගත් එකක් වෙයි.

මෙවැනිම ප්‍රශ්නකාරී තත්ත්වය සුපිරි දරුවන්ගේ සමීපතමයන් මිය ගිය පසුද ඔවුන්ට අත්වෙයි. උදාහරණයක් වශයෙන් සුබග දරුවන්ගේ මව පියා දෙදෙනාම මිය ගොස් ඔහු අනාථයකු බවට පත්වුවහොත් එම ඇතිවන මානසික කැළඹීම ඔහුගේ අධිමානසික ශක්තිය, බලය බොහෝ දුරකට බිඳ දමනවා ඇත.

තවද දෙමව්පියෝ, සුපිරි දරුවන්ගෙන් බොහෝ දේ පමණට වඩා බලාපොරොත්තු වීම ද බරපතල ප්‍රශ්නයකි. උදාහරණයක් වශයෙන් දහ අට හැවිරිදි වියේදී හාවඩ් විද්‍යාලයේ උපාධිධාරී ගණිතඥයෙකු බවට පත්වූ නෝර්බට් වෙයිනර්ගේ ගණිත සුළු කිරීමක් වැරදුණු විට ඔහුගේ පියා රුධිරය උණුසුම් වූවෙකු ලෙසින් ‘දඟලන්නට’ පටන් ගත්තේ සියල්ලන්වම අපහසුතාවයට පත් කරවමිනි. පාකිස්ථානයේ උපත ලද පියෙකුටත් මලයාසියානු මවකටත් දාව උපත ලද එංගලන්තයේ සූෆියා යුසොන් පාසල් අධ්‍යාපනය ලැබුවේ නිවසටම ගෙන්වා ඉගැන්වූ ගුරුවරුනගේ මාර්ගයෙනි. හේතුව ඇය සුපිරි දැරියක වීමයි. ශාන්ත හිල්ඩා විද්‍යාලයට සමාන්තර අධ්‍යාපනයක් නිවසේදී ලබාගත් ඇය, අවුරුදු 13 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. නමුත් තෙවැනි වසරේ ප්‍රධාන විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ඇය අතුරුදන් වූවාය. ඇගේ පියා බියට පත්වූයේ තම දියණියගේ සුපිරි බුද්ධිය සොරා ගැනීමට අවශ්‍ය කර තිබූ යමෙකු විසින් ඇය පැහැරගෙන තිබේ කියාය. එහෙත් එයට දින කිහිපයකට පසු ඇගෙන් පියාට විද්‍යුත් තැපෑලෙන් (E mail) ලිපියක් ලැබිණි. එයින් ඇය  කියා තිබුණේ ඔවුන් දෙදෙනා තමන්ගේ ජීවිතය ‘ජීවමාන අපායක්’ බවට හැරවූ බවයි. වසර පහළොවක් මුළුල්ලේ ඇයව සුපිරි දරුවෙකු බවට පත් කිරීමට ඔවුන් ගත් වෑයම් ඇයට රිදවා තිබිණි. යළි කිසි දිනෙක තම පියා විසින් තමාව ‘මෙහෙයවනු හා යොමු කරවනු’ දැකීමට අවශ්‍ය නැතැයි ඈ ලියා තිබිණි. එය ඇගේ උපාධියේ අවසාන වසර විය. නමුත් ඈ යළිත් කිසිම දිනෙක විශ්වවිද්‍යාලයට පය නොගැසුවාය.

මේ අතර ඇතැම් දෙමව්පියන් පවසන්නේ වෙනස් ආකාරයක කතාවකි. ඉන්දියාවේ දකුණුදිග ප්‍රාන්තයේ තමිල්නාඩුවේ සිටින වරලත් ගණකාධිකාරවරයෙකු වන ආර්. සුබ්‍රමනියම්ගේ කතාව අසන්න. ඔහු පවසන්නේ තම සුපිරි දරුවා විසින් තමන්ව උත්තේජනය කළ බවත්, ඔවුන් තම දරුවා සුපිරියෙකු කිරීමට අමතර වෙහෙසක් නොගත් බවත්ය. සුබ්‍රමනියම්ගේ පුතා දොළොස් හැවිරිදි චන්ද්‍රසේකර තම පවුලේ පරිගණකයේ ප්‍රධාන සැකසුම් ඒකකය පිළිබඳව ප්‍රශ්න විමසමින් පරිගණකය මෙහෙවන්නට පටන් ගත්තේ ඔහු සය හැවිරිදි සිටියදීය. “මම බියපත් වුණේ ඔහුට විදුලි සැර වැදෙයි කියලයි’’ පියා එලෙසින්ම තම මතකය අවදි කරයි. නමුත් ඉතා ඉක්මනින්ම ඒ වෙනුවට පුතා පරිගණක වැඩසටහන්කරණයට පෙළඹුණේය. “ඔහු මාව පුදුමයට පත් කරමින් මෘදුකාංග ගවේෂණය කළා. ඉතා ඉක්මනින් ඔහු ඕනෑම ස්ථානයක යා හැකි ෂෝට් කට් බොහෝ ගාණක් නිර්මාණය කළා’’ සුබ්‍රමනියම් පවසයි. ඉන්පසු මොහු තම පුතුගේ දැඩි ඉල්ලීමෙන් ගැලවිය නොහැකි තැන පරිගණක ගුරුවරයෙකු නිවසට ගෙන්වාගෙන ඔහුට පරිගණක අධ්‍යාපනය ලබා දුන්නේය. ඔශු කළේ එපමණකි. අද ඔහුගේ පුත් චන්ද්‍රෙස්කර්, ලෝකයේ ළාබාලතම පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයාය. “මට යම් විශේෂ දෙයක් ලබාගන්න පුළුවන් වුණා නම් ඒක දෙවියන්ගේ කැමැත්ත’’ චන්ද්‍රසේකර සිනහවෙමින් පවසයි.

අභියෝග ඉතා කැමැත්තෙන් භාරගැනීම සුපිරි දරුවන් තුළ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයකි. නිදසුනක් වශයෙන් දහහත් හැවිරිදි ඇමරිකානුවෙකු ලෝකයේ පළමු මයික්‍රෝසොෆ්ට් සමාගමේ සහතික ලද මෘදුකාංග ඉංජිනේරුවා බවට පත්ව ඇති බව පුවත්පතකින් කියවූ වෙලේ සිට ඔහුගේ සිහිනය වූයේ එම වාර්තාව කඩා බිඳ දැමීමය. මාස දහයක් විභාගය සඳහා සූදානම් වූ ඔහු එම MCSE විභාගය දස හැවිරිදි වියේ දී ඉහළින්ම සමත් විය. දැන් දොළොස් හැවිරිදි ඔහු මදුරාසියේ ඇනා විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකි. “මම ක්‍රිකට්වලටත් පාපන්දුවලටත් කැමැතියි’’ ඔහු පවසයි. ඊළඟ වසරේ ඔහු ඉන්දියාවේ පරිගණක අන්තර්ජාලයට සම්බන්ධ විශේෂඥයෙකු ලෙස සේවයට බැඳීමට අදහස් කරයි.

 ”සුපිරි බව සදාකාලිකද? ” මෙම ලිපියේ දෙවන කොටසින් බලාපොරෝත්තු වන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි