×

බොනීගේ වාරය

අවසාන නිමේෂයේ දී පවා ජීවිතය අනර්ඝය. මම මරණය ද සුන්දර බව වටහා ගතිමි.


එයින් මට රිදුණි. ඒ බව ඉඳුරාම කිව හැක. සයනය මත වැතිර සිටි බොනී මහ හඬින් කෙඳිරි ගෑමට පටන් ගත්තාය. ඇගේ වේදනාව මට ද දැනිණි. හෙදියට කතා කළ මම විගසින් දිව ගොස් වෛද්‍යධාර ඉල්ලා සිටියෙමි. බොනීගේ මෝර්ෆින් සැපයුම නතර වී තිබූ අතර එය යළිත් තිබූ අතර එය යළිත් තිබූ ආකාරයටම සැකසීම අත්‍යවශ්‍ය විය. ඇගේ විවර වූ දෙනෙත් දීප්තියෙන් බැබළුණි. ඉන්පසු සියල්ල අවසන් විය. ඉතා අසීරුවෙන් කළ හුස්ම ගැනීම ද නැවතිණි.

ඇය පුරා විසිඅට වසරක් මගේ බිරිඳ ලෙසින් සිටියාය. තමන් මරණයට බිය නැතැයි ඇය පැවසුවාය. එහෙත් ඇය මිය යාමට බිය වූවාය. ඇය එසේ බිය වූයේ මරණය වේදනාවකැයි සිතා සිටි හෙයිනි. කෙසේ නමුත් මාස ගණනක් මුළුල්ලේ එකදිගට කළ වැල නොකැඩුණු ශල්‍යකර්ම කන්දරාවටත්, රේඩියෝ කිරණ පරීක්ෂාවන්ටත් බඳුන් වීමට ප්‍රථම ඇය කිසිවකට බිය නොවූවාය. නිමක් නැතිව ආසාදන රෝගවලටත්, සිහිමද ගතියටත්, කැතීටර දරා සිටීමට සිදුවීමටත් ප්‍රථම ඇය යකාටවත් බය නැති නියම යකඩ ගැහැනියක වූවාය. එහෙත් අවසානයේ මාරයා කල්වරා බලා සිටි 1995 නොවැම්බරය එළඹිණි. පිළිකාවක් ඇගේ මොළයට ද පැතිරී ඇත. ඉතින් ඈ බිය වූවාය.

බොනී සම්බන්ධයෙන් ඔරිගන්හි විශේෂඥයන් සියදිවි නසා ගැනීම පිළිබඳ රීති ක්‍රියාත්මක කරනු ඇතැයි මම බිය වීමි. දැන් දෙවසරක් ඉක්ම ගියපසු මටද මගේම වූ අබල දුබලතා රාශියක් මට තිබේ. කළ යුත්තේ කුමක්දැයි මම වික්ෂිප්ත වී ඇත්තෙමි.

බොනීට පියයුරු පිළිකා රෝගය වැළඳී තිබෙතැයි සොයාගත්තේ 1987 මැයි මාසයේ දී ය. තම බයොප්සි වාර්තාවේ ප්‍රතිඵලය සහිත දුරකථන ඇමතුමට ඇය ඇහුම්කන් දුන්නේ මුළුතැන්ගෙිය වැඩවල නිරත වී සිටින අතරතුරදීය. ‘පිළිකාව’ යන වචනය ඇසූ විගස ඇගේ දණහිස් දෙක වෙව්ලන්නට පටන් ගති.

1997 මැයි මාසයේ එක් දිනෙක වෛද්‍යවරයා මගේ බයොප්සි වාර්තාව පිරික්සමින් ප්‍රකාශ කළේ මට වසා පිළිකාවක් වැළඳී ඇති බවයි. එයට පසු දිනයේ මම සයනය මත වැතිරී සිටියෙමි. මා එලෙස වැතිර සිටියේ, කුමන ආකාරයකින් හෝ මගේ ඉරණම නියම කර තිබුණේ මිය යාම නම්, නැගී සිටීමෙන් ඇති ඵලය කුමක්දැයි මගේම යටි සිතින් විමසමිනි. එනිසා එසේ සිටීම එපා වනතෙක්ම මම සයනයේ වැතිරී සිටියෙමි. ජීවිතය ගෙවී යයි. කෙසේ ජීවිතය ගත කරම්දැයි ඔබ කෙලෙසකින් තැවුණ ද, ජීවිතය කෙලෙසකින් හෝ ගෙවී යයි.

මගේ බිරිඳගේ මරණය දැනුම් දුන් ඔන්කොලොජිවරයාව මම සොයා ගියෙමි. ඔහු සුදුමැලි, නීරස මා අධෛර්යමත් කරන මුහුණක් මවා ගත්තේය. ‘කමක් නැතැයි’ හඟවන සිනහවක් ඔහු දෙස මදක් වේලා බලා සිටි මම මුහුණේ ඇඳ ගතිමි. එහෙත් කිසිවක් සිදු නොවීය. වෛද්‍යවරයා මට ඒත්තු ගැන්වීමට තැත් කළේ මට වැළඳී ඇත්තේ හොජ් කින්ගේ නොවන වසා පිළිකාවකැයි කියාය. මම හාත්පස සිසාරා බැලුවෙමි. බිත්තිය සිදුරු කළ ජනේලය තුළින් හමා එන නැවුම් මද නළ අත්විඳිමි. මේ ඉතා සුළු, ඉතා නොවැදගත් කුඩා දේවල් පවා සදාකාලික නොවේ.

ඔන්කොලොජිවරුන්ට පැවරී ඇත්තේ ලෝකයේ ඇති අසීරුම කටයුත්තකි. ඔවුන් මිනිසුන්ට එත්තු ගත නොහැකි දේවල් ඒත්තු ගැන්විය යුතුය. විශේෂයෙන්ම රෝගීන්ට එසේ කිරීම ඔවුන්ට වෘත්තීමය වශයෙන් පැවරී ඇත. 1995 දෙසැම්බරයේ දී, මගේ බිරිඳ රෝගය සුව කළ හැකි එකකැයි මට පැවසුවේද මෙම වෛද්‍යවරයාමය. අපි අපට කළ හැකි දේ කළෙමු. මාස දෙකක්ම සුබවාදී ආකල්ප හිසින් දරාගෙන අපි බලා සිටියෙමු. තමන්ගේ මරණය ඉක්මන් කර, උපකාර කරන්නැයි ඇය වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටිය යුතුද? එසේත් නැත්නම් ඔහුම එය එසේ කිරීමට යෝජනා කර ඇත්ද?

ඇයට ප්‍රතිකාර කිරීම නැවැත්වූ මොහොතේ සිට ඇය මිය ගිය මොහොත දක්වා කාලය අතරතුර බොහෝ දේ සිදු විය. බොහෝ රසවත්, පුදුමසහගත දේ සිදු විය. මිය යාමට ප්‍රථමයෙන් තම මුනුබුරෙකුගේ මුහුණ දැක බලා ගැනීමට තරම් බොනී භාග්‍යවන්ත වූවාය. ඔහු උපත ලබද්දී ඇය සිටියේ තම රෝද පුටුවෙන් මාරුවෙමිනි. එම නත්තල් දිනයේ අපේ දරුවන් තිදෙන පැමිණ ඇය වෙනුවෙන් ගෙනැවිත් තිබුණ ත්‍යාග විවෘත කර සිටියහ. ඔවුන් සතුටින් සිටිනු දැකීමට ඇය නිතරම ප්‍රිය කළාය. ඔවුන් එම ත්‍යාග විවෘත කිරීමේ කාර්යය අවසන් කිරීමට ප්‍රථමයෙන් ඇය යළිත් සිහිවිසඥ තත්ත්වයකට පත්වූවාය.

මා සොයා අපේ නිවසට පැමිණි විශේෂ රෝහල් පණිවුඩකරුවෙකු මට දැනුම් දී සිටියේ ඉදිරි පැය විසිහතරක කාලයකට වඩා ඇය ජීවත් නොවනු ඇත කියාය. එහෙත් එම කියමන බොරු කිරීමට ඇයට උවමනා වී තිබුණා සේය. අපි වහා ඇයව ආරෝග්‍ය ශාලවේ වෙනත් වාට්ටුවකට ඇතුළත් කළෙමු. මරණයට පිටුපාන්නට තිබූ ඇවැසිකම නිසාම ඇගේ දෙනෙත් පැහැදිලි ලෙස විවර වී තිබිණි.

නව අවුරුද්දේ පළමු දිනයේ අපත් සමග අතීත වසර ගණනාවක්ම ගෙවා තිබූ බ්‍රසීල ශිෂ්‍ය ඇන්ඩ්‍රියා කමාර්ගෝ ඔරිගන්හි බලා පැමිණියේ තමන්ගේ ඇමරිකානු මව ව දැක බලා ගැනීමට තිබූ දැඩි ඇවැසියාව නිසාය. බොනීගේ දෑත්වලින් අල්ලා ගත් ඇන්ඩ්‍රියා ඒවා මෘදු ලෙස ස්පර්ශ කර, ඇගේ මුහුණ ද සිඹ ඈව ඇමතුවාය. දින කිහිපයකට පසු ප්‍රථම වතාවට ඇය දෙනෙත් විවර කර ඒවා ඇන්ඩ්‍රියා දෙසට නාභිගත කළාය. ඉන්පසු ඇය සිනහසුණාය. කතා බහ කළාය. ආහාර ස්වල්පයක් පවා ගත්තාය.

එම අවසාන රාත්‍රියේ මම බොනීගේ ඇඳෙහි පසෙකින් වාඩි වී සිටියෙමි. අපි අපේ පැරණි මතකයන්, සියවස් කාලයක් අතීතයට හිමි පැරණි මතකයන් හුවමාරු කර ගතිමු. දිගුකාලීන විවාහ ජීවිතවල බොහෝ විට දැකිය හැකි ආකාරයටම අප අතර ද අපමණ සිත් රිදවීම් වී තිබිණි. “හැමදේමට මට සමාවෙනවද?’’ මම ඇගෙන් අසා සිටියෙමි.

“එහෙම කිසිම දෙයක් කිරීම අවශ්‍ය නැහැ’’ ඇය පැවසුවාය. අපි ආදරයෙන් එකිනෙකා සමග කතාබහ කළෙමු. එය අප එක්වී කතාබහ කළ අවසන් අවස්ථාව විය.

අපේ අවසන් නිමේෂ කිහිපය විවාහ ජීවිතයේ කෙදිනකවත් අමතක නොවන ඉතා වටිනා සමරු මට උරුම කර දුන්නේය. නමුත් සියල්ලන්ම සත්‍ය වශයෙන්ම කෙතරම් දුගීද? අසරණද?

දැන් මගේ වාරය පැමිණ ඇත. ඉදිරි මාස හයක කාලය තුළ මා මිය යනු ඇතැයි වෛද්‍යවරු පැවසූහ. ආහ්… එය විටෙක වසර කිහිපයක් වසර දහයක් පවා වීමට පුළුවන.

දිනෙන් දින මම ද බොනී ගමන් කළ වේදනාකාරී මාවතට පිවිස සිටියෙමි. සියල්ලේම අවසානය අත ළඟටම පැමිණ තිබේ. එනමුත් මගේ සියලු පුද්ගල සම්බන්ධතා කඩා බිඳ දැමීමට මට නොසිතෙන්නේ මන්ද? මම මගෙන්ම විමසා ගතිමි. ජීවිතාරක්ෂක යන්ත්‍ර ඉවත් කරන්නැයි වෛද්‍යවරුන් අමතා පවසන්නට මට සිතේ. නමුත් රෝගයෙන්ම මා මිය යාම නමැති අනගි අත්දැකීම අත්විඳීමට මට අවශ්‍යය.

අහසේ ගිජුලිහිණියන් රවුම් ගැසීමට පටන් ගන්නා තෙක්ම මගේ ජීවිතය අවසානයක් නොදකිනු ඇතැයි මම කණස්සල්ලට පත් වී සිටියෙමි. එක් අතකින් මා විශේෂ කණස්සල්ලකට පත්විය යුතු නැත. සෑම වර්ෂයකම ඇමරිකා එක්සත් ජනපද වැසියන් මිලියන භාගයක්ම මිය යන්නේ පිළිකා රෝග කරණ කොටගෙනය.බොනීගේ අවසාන අවුරුදු කිහිපය තුළ ඇගේ රෝගය වෙනුවෙන් අප කළ වියදම ඩොලර් ලක්ෂයකට ආසන්න විය. 1997 දී ඇමරිකා එක්සත් ජනපද රෝගීන්ට එසේ වැය වූ මුළු මුදල බිලියන 107 ක් බවට ඇමරිකාවේ ජාතික පිළිකා ආයතනය දළ වශයෙන් ගණන් බැලීය. දෛවයට මෙතරම් අකාරුණික විය නොහැකි නම් කෙතරම් මුදලක් ඩොලර්වලින් වූවත් ඉතිරි වේද?

වෛද්‍යවරයා වෙතින් “ඔබේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි’’ යැයි අසන්නට ලැබීම අසතුටුදායක ආරංචියකි. එය ඔබේ දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් හෝ පොදු මහජනතාවගෙන් මරණය පිළිබඳ දුක ප්‍රකාශ වීමට ද වඩා වැඩි වේදනාවකි. එවැනි පීඩනයක් යටතේ අධික ලෙස බියපත් වන බොහෝ රෝගීන්ට සිතෙන්නේ තමන් පණපිටින් පිළිස්සෙන බවයි.

ජීවිතය…. එහි අවසන් නිමේෂය පවා අනර්ඝය. මරුවා සමග වැතිරී සිටිය දී ඔහු සමග සටන් වැද, ඔහුව පළවා හැර ජීවත් වීමට ඇති වන තරමේ ආශාවක්, ජීවත්ව සිටි කාලයේ කෙදිනකවත් අප තුළ ඇති නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි