×

ඔහු නැතිව ඔහුගේම මනාලිය වූ ඇය…

‘‘නොවැම්බර් 11 වැනි ඉරිද දවසෙ ඔයා ලස්සන මනාලියක් වෙන්නම ඕනෙ..“ - ලයන් එයා ගුවන් අනතුරින් සදහටම සමුගැනීමට පෙර ඔහු පැවසූ එවදන් ඇයට කිසිදා අමතක කළ හැකි වුණේ නැත.


ජීවිත 189 ම බිලි ගනිමින් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ලයන් එයා යානය කඩා වැටුණු පසු, අවසානයේ ඇයට ඉතිරි වුණේ ඔහුගේ මතකය සහ සුන්දර ඡායාරූප පෙළක් පමණි.

නමුත් ඇය ඔහුගේ සිහිනයට පියාපත් දුන්නාය. ඔහුගේ සිතැඟි පරිදිම, ඔහු සැලසුම් කළ පරිදිම ඔහු දකින්නට ආසාවෙන්ම සිටි මනාලිය බවට පත්වූවාය.

මේ නෙතගට කඳුලක් එක් කරන ඒ අසාමාන්‍ය ආදර කතාවයි.

ඉන්දුනීසියාවේ ජකර්තා අසලදී ගුවන් ගත කළ විගසම Lion Air Flight 610 යානය කඩා වැටුණේය. ඒ යානයේ සිටි රියෝ නන්ද ප්‍රතාමා (Rio Nanda Pratama) ගේ ජීවිත සිහිනය ද ඒ සමගම බොඳ වී ගියේය. ඔහු සිටියේ තව නොබෝ දිනකින් ඇය සමග අතිනත ගන්නට ය. ඇය ඔහු දැන සිටි මෙලොව සුන්දරම තරුණිය වූවාය.

ගතවූ ඉරිදා දිනය හරිනම් ඔවුන්ගේ මංගල දිනයයි. සයියාරි නමැති ඇය, තරුණියක වශයෙන් පෙරුම්පුරමින් සිටියේ ඔහු සමග එදා සිය මංගල ඡායාරූපයට පෙනී සිටින්නට ය. එය කිසි කලෙක ඉටු නොවන පැතුමක් බව ඇය දැන සිටියාය.

ඉතින් ඇය ජකර්තා නුවරට සම්මන්ත්‍රණයක් සඳහා යාමට පෙර ඔහුගේ දෑතින්ම තෝරාදුන් සුදු පාට මංගල ගවොමෙන් සැරසුණාය. තනිවම මංගල ඡායාරූපයට පෙනී සිටියාය. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයට එම ඡායාරූප ඇය එක් කළේ මෙවදන් ද සමගිනි. ‘‘මට දැනෙන දුක විස්තර කරන්න බැරි වුණත්, ඔබ වෙනුවෙන් නගන්නට මද සිනාවක් තවම මා ළඟ තිබෙනවා..“

තරුණ වෛද්‍යවරයෙකු වූ ඔහු, ඇගේ ප්‍රථම ප්‍රේමයයි…. පාසල් වියේ පටන් පුරා 13 වසරක් ජීවිතය උමතුවෙන් මෙන් මැවූ සිහිනයයි….. ඇයට මියෙන තුරුම අත්හළ නොහැකි මහා මානසික බැඳීමයි.

එදා වෙන් වන්නට පෙර ඔහු, වියෝවේ පෙර ලකුණු දැනුණු නිසාදෝ කර තිබුණේ දෑස් රතුවන විහිළුවකි.

‘‘ඔයා එදාට සුදු අඳින්න ඕනෙ… සුදුපාට කෙබායා එකක් (සම්ප්‍රදායික බ්ලවුසයකි) අඳින්න ඕනෙ. ඒ විතරක් නෙවෙයි, නැවුම් සුදු රෝස පොකුරක් අතේ තියාගන්න ඕනෙ.. මම ආවෙ නැතත් ෆොටෝ ෂූට් එක කරන්න ඕනෙ..!!“

ඇය දිරියෙන් යුතුව ඡායාරූපවලට මුහුණ දුන්නාය. එය ඡායාරූප ශිල්පීන් පවා මවිත කරවන අන්දමේ අසාමාන්‍ය ධෛර්යයක් විය. ආලය වෙනුවෙන් ඈ කඳුල හංගාගෙන සිටියාය.

ලයන් එයා යානයට සිදුවූයේ කුමක්දැයි අද වනතුරුත් සොයාගෙන නැත. අනුමාන කෙරෙන්නේ යානයේ වේගමාපකයේ දෝෂයක් තිබෙන්නට ඇති බවයි. මේ අතර යානයේ ගුවන් නියමු කුටියේ වොයිස් රෙකෝඩරය අද දක්වා ද හමු වී නැත. එය ගැඹුරු මඩ තුළ සැඟවී ඇතැයි සැක කරයි. නමුත් සිය ජීවන සගයාගේ ඉරණම ගැන සයියාරි තුළ දෙගිඩියාවක් නැත. ඔහු කිසිදිනෙක නැවත නොඑන බව ඇය ඉර හඳ සේ දන්නීය. එය සදාකාලික සත්‍යයක් බව ද ඇය දන්නීය. ඒ සදාකාලිකත්වය ඇය සිය පෙමෙන් මුද්‍රා තබන්නීය. දැන් ඔවුන්ගේ ප්‍රේමය සදාතනික ය.

සැබෑ ප්‍රේමය මරණයෙන් වුව කෙළවර නොවන බව ඇයට උගන්වා තැබූ ආදරවන්තයා ඔහු ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි