×

බයිඩන්ගේ සාමයේ පරෙවියා රැගෙන එම්මානුවෙල් මැක්‍රොන් චීනයට

යුක්රේන යුද්ධය අවසන් කිරීමට චීනයේ සහයෝගය ලබා ගැනීමට සංචාරයට පෙර මැක්‍රොන් සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දුරකථන ඇමතුමකින් එකඟ වූ බව වාර්තා වේ.


ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද(06)දිනයේ චීනය බලා පිටත් වීමට නියමිත අතර එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සමඟ ප්‍රධාන විධායක නිලධාරීන් 50කට වැඩි නියෝජිත පිරිසක් චීනය බලා යනු ඇති අතර එහිදී දෙරටේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීම අපේක්ෂ කෙරේ.

එමෙන්ම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණක් වන්නේ යුක්රේන යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමයි. එල්සි මාලිගය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ යුක්රේන යුද්ධය අවසන් කිරීමට චීනයේ සහයෝගය ලබා ගැනීමට සංචාරයට පෙර මැක්‍රොන් සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දුරකථන ඇමතුමකින් එකඟ වූ බවයි. ඒ අනුව මෙම සංචාරය හරහා යුක්රේන යුද්ධය නිමා කිරීඹට හා කලාපයේ තිරසාර සාමය ගොඩනැගීමට සහභාගී වීමට චීනය සමඟ සම්බන්ධ වීම අපේක්ෂා කෙරේ.

චීණය හා රුසියාව දශකයකට ආසන්න කාලයක සිට ගජ මිතුරව් වන අතර පසුගිය මාර්තු මාසයේදී ෂී ගේ මොස්කව්හි රාජ්‍ය සංචාරය අතරතුරදී දෙදෙනා චීන-රුසියානු උපායමාර්ගික හවුල්කාරිත්වයකට අත්සන් කරනු ලැබීය.
නොවැම්බරයේ පැවති G20 සමුලුවේදී, මැක්‍රොන් චීනයට යුද්ධයේ වඩා වැඩි මැදිහත්වමක් කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට ප්‍රතිචාර වශයෙන් චීනය විසින් කරුණු 12ක් අඩංගු සාම සැළැස්මක් ඉදිරිපත් කරන ලදි.

යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ප්‍රකාශ කර තිබුණේ පුටින්ගේ යුද්ධය සමඟ චීනය අඛණ්ඩව අන්තර් ක්‍රියා කරන්නේ කෙසේද යන්න යුරෝපා සංගම්-චීන සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි