මේ කාලය වන විට ඔහුගේ කුඩා ස්වාමියා වූ තෝමස් පාසල් ගොස් සිටි අතර ලිවීම ඉගෙන ගෙන සිටියෙන් කොපි පොත් ගණනාවක් පුරා ලියා තිබිණි. ඒවා ගෙදර ගෙන ආ අතර අසල්වාසීන් කිහිපදෙනෙකුට පෙන්වීමෙන් පසුව පැත්තකට දමා තිබිණි. සෑම සඳුදින දහවලකදීම ෆ්‍රෙඞ්රික් ගේ ස්වාමි දුව විල්ක් වීදියේ රැස්වීම් හළ වෙත යන්නේ ඔහුට නිවස බලාගැනීම පවරමිනි. මේ කාලය ෆ්‍රෙඞ්රික් වැය කළේ තෝමස් ගේ කොපිපොත්වල ඉඩ තිබූ තැන්වල තෝමස් විසින් ලියන ලද දේවල් නැවත ලිවීම සඳහා ය. මාස්ටර් තෝමස් ගේ අත්අකුරුවලට සමාන ව ලිවිය හැකි වෙන තෙක්ම ඔහු මෙසේ කළේය.
මේ අනුව වසර ගණනක දීර්ඝ සහ වෙහෙසකර පරිශ්‍රමයකින් පසුව ලියන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම සම්බන්ධයෙන් ඔහු සාර්ථක විය.
බැල්ටිමෝරය ට ඔහු යවා කෙටි කලකින් ඔහුගේ පැරණි ස්වාමියාගේ සියලු පැවත එන්නෝ මිය ගියහ. ඒ නිසා ඔහුව වහාම ආපසු යවන ලද්දේ සෙසු දේපළ සමග තක්සේරුකිරීම සඳහා ය. මෙහිදී වරක් වහල් භාවය අප්‍රිය කරන ඔහුගේ හැඟීම් නැවත වරක් ඉහළ නගින්නට පටන් ගත්තේය.
ඔහු බැල්ටිමෝරයෙන් පිට වූයේ දුකින් පිරුණු තරුණ හදවතක් සහ ඕනෑම දෙයක් වහා වටහාගැනීමේ හැකියාවෙන් යුත් ආත්මයක් කැටුව ය.
සිය පැරණි ස්වාමියාගේ නිවසේදී මහලු සහ බාල, විවාහක සහ තනිකඩ සියලු ගැහැනු සහ පිරිමි අශ්වයන්, බැටලුවන් සහ ඌරන් සමග එකට කාණ්ඩගත කෙරිණි. අශ්වයෝ සහ පිරිමි ද, එළදෙනුන් සහ කාන්තාවන් ද, ඌරෝ සහ ළමෝ ද යන මේ සියල්ලන් ම එකට පෙළ ගස්වා එකම පටු පරීක්ෂණයකට ලක් කෙරිණි.
කොණ්ඩය රිදී පාට වූ වියපත් වූවන්ද ළමිස්සියන් ද විවාහක කාන්තාවන් ද එකම ග්‍රාම්‍ය පරීක්ෂණයකට ලක් කෙරිණි. මේ මොහොතේ, වහලා සහ වහල් ස්වාමියා යන දෙදෙනා ම කෙරෙහි වහල්භාවය විසින් ඇති කර තිබෙන බිහිසුණු ප්‍රතිඵල ඔහුට අන් කවරදාටත් වඩා හොඳින් පෙනිණි.
මිල නියම කිරීමෙන් පසුව බෙදා වෙන්කිරීම ඇරඹිණි. ඔවුන්ගේ ජීවිතවල ඉරණම තීරණය වන්නට නියමිත ව තිබිණි. ඔවුන් ට තවදුරටත් තෝරාගැනීමක් නොවීය. වෙන්වීමේ වේදනාව හැරණුවිට ඇන්ඩෘ වහල් ස්වාමියා ගේ දෑත් අතරට මැදිවීමේ ඝෝර බිය ද විය. ඔවුන් සියලු දෙනාම දැන සිටි පරිදි ඔහු වඩාත් ම කෲර නීචයෙකු ද, සල්ලාලයෙකු ද විය. කළමනාකාරිත්වයක් නොමැති සැහැසිකම නිසා ද අනාචාරය සහ දුරාචාරය නිසා ද ඒ වන විටත් ඔහු සිය පියාගේ ධනයෙන් වැඩි කොටසක් නාස්ති කර ගෙන සිටියේය. ඔහු තමන්ගේ ස්වාමියා වුවහොත් තමන් ව වැඩි කලක් නොගොස් ම ජෝර්ජියාවේ වහල් වෙළෙන්දන් ට විකුණා දැමිය හැකි බව සියලු වහල්ලු දැන සිටියහ. එය ඔවුන් ට මුහුණ දිය හැකි ඝෝර ම හා බියජනක ම තත්වය විය.
මේ සම්බන්ධයෙන් ෆ්‍රෙඞ්රික් සිය සහෝදර වහලුන් ට වඩා අතිශයින්ම චිත්ත පීඩා වින්දේය. කාරුණික ව සැලකීම යනු කුමක්දැයි ඔහු දැනගෙන තිබිණි. බැල්ටිමෝරයේදී ඔහුඉකසපහර කා තිබුණේ කිහිප වරක් පමණි. මේ නිසා කාරුණික ස්වාමියෙකු සහ ස්වාමි දියණියක සම්බන්ධයෙන් ඔහුට වඩා පුරසාරම් කිව හැකි වහලුන් සිටියේ නම් ඒ කිහිපදෙනෙක් පමණි. නමුත් නව වහල් ස්වාමියා යටතට පැමිණ දින කිහිපයක් ඇතුළත, එම වහල් ස්වාමියා සිය සිතෙහි වූ ලේ තැවරුණු ස්වභාවය සඳහා උදාහරණයක් සපයමින් ෆ්‍රෙඞ්රික් ගේ කුඩා සහෝදරයාගේ බොටුවෙන් අල්ලා, පොළොවේ ගසා සිය බූට් සපත්තුව පොඩි එකාගේ හිස මුදුනට තබා තෙරපූ විට ඔහුගේ නාසයෙන් සහ කන්වලින් ලේ ගලායන්නට පටන්ගත්තේ සිය ඉරණම ගැන ෆ්‍රෙඞ්රික් හට මනා දැනුමක් ලබාදෙමිනි. මේ සැහැසි ක්‍රියාවෙන් පසු ෆ්‍රෙඞ්රික් වෙත හැරුණු ඔහු පැවසුවේ ෆ්‍රෙඞ්රික් සිය භුක්තිය ට සවි වූ පසු ඔහුට සලකන්නේ ද මේ ආකාරයෙන්ම බවයි.
ඇමරිකානු වහලෙකුගේ කතාවක් – පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..