×

සොබාදහමේ වසරේ සිනහව : Comedy Wildlife Photo Awards 2021

2021 කොමඩි වනජීවී ඡායාරූප තරගයේ අවසන් වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.


මේ වසරේදී ලෝකයේ නන් දෙසින් ඡායාරූප 7000 කට වඩා තරගය සඳහා ලැබී තිබුණු අතර, එයින් 42 ක් අවසාන වටයට තෝරාගෙන තිබේ. මෙම තරගයෙන් ලැබෙන ආදායමෙන් 10%ක් සංවිධායකයන් විසින් Save Wild Orangutans නමැති ඔරංඔටන් සුරැකීමේ සංවිධානයට පරිත්‍යාග කිරීමට නියමිත ය.

පහත දැක්වෙන්නේ එහිදී මිනිස් ලෝකය තුළ වැඩි වශයෙන්ම සිනාව මතු කළ ඡායාරූප එකතුව අතරින් තෝරාගත් කිහිපයකි.

තරගයේ අවසන් ජයග්‍රාහකයන් නිවේදනය කරනු ඇත්තේ ඔක්තෝබර් 22 වැනිදාට ය. ජයග්‍රාහකයාට සතියක කෙන්යානු සෆාරි සවාරියක් සමග කුසලානයක් පිරි නැමේ.


පුංචි රැකූනයන් එකිනෙකාට රහස් කොඳුරමින් © Jan Piecha / Comedy Wildlife Photography Awards 2021.

සිනාසෙන ඇහැටුල්ලා

ඉන්දියානු ජාතික ක්‍රිෂිස්ගාර් ආදිත්‍ය ගේ කැමරා ඇසට හසුවූවකි. Vine snake හෙවත් ලංකාවේදී නම් ‘ඇහැටුල්ලා‘ හාදයෙක් සිනාසෙමින් සිටි අයුරුයි, මේ. ඇත්තම කතාව නම්, මිනිසෙකු ළං වන විට කලබල වන ඇහැටුල්ලෙකි මේ. උන් බොහෝ විට විෂ රහිත ය. © Aditya Kshirsagar / Comedy Wildlife Photography Awards 2021.

හැබෑ ලෝකයේ ඩේවිඩ් සහ ගොලායත්

ප්‍රෙයරි ඩෝග්ස් හෙවත් තැනිතලාවේ ජීවත් වන කුඩා මූෂිතයාව ඩැහැගන්නට බෝල්ඩ් ඊගල් හෙවත් තට්ට රාජාලියා දත කෑවත් එය හරි ගියේ නැත. නිර්භීත පොඩිත්තා, තට්ට රාජාලියා ට මෙසේ අභියෝග කර ඉන්පසු අසල වූ ගුලක් වෙත දිව ගියේය. කෙසේ නමුත් එය සැබවින්ම ඩේවිඩ් සහ ගොලායත් යෝධයා අතර ඇති වූ සටනක් බඳු විය. © Arthur Trevino / Comedy Wildlife Photography Awards 2021.

ඔන්ලයින් දැන් මදෑ.. ඉස්කෝලෙ පල!

පුංචි ඔටරයන් හෙවත් දියබලු පැටවුන් මුල් වතාවට ජලය වෙත ගෙන යාම ඔටර අම්මලාට ලෙහෙසි නැත. මේ, ජීවිතයේ පළමු පිහිනීමේ පන්තියට ඔටර පැටවා ගිය හැටි ය. © Chee Kee Teo / Comedy Wildlife Photography Awards 2021.

කාටද වැඩිපුර උස පනින්න පුළුවන්?

තායිවාන ඡායාරූප ශිල්පියෙකු වූ චූ හැන් ලින්ගේ ඉදිරිපත් කිරීමයි, මේ. © Chu Han Lin / Comedy Wildlife Photography Awards 2021.

සෞදි අරාබියේ ඇෑනුම්කාරයා

සෞදි අරාබි කඳුකරයේ පාරක් දිගේ යන ගමන් ගිමන් හැරීමට නතර වූ විට අලි කම්මැලි කමක් දැනුණු බැබූනයෙකි, මේ. හැමඩ්‍රියෙස් වර්ගයේ බැබූනයන් ලෙස මොවුන් ව හඳුන්වයි. © Clemence Guinard / Comedy Wildlife Photography Awards 2021.

වැසි දිනයේ පෙලිකනයා

2021 වසරේ මුල් භාගයේ දිනෙක ඇමරිකාවේ ලුයිසියානා ජනපදයේදී ඩෝන් විල්සන්ගේ ඇස ගැටුණු දුඹුරු පෙලිකන් පක්ෂියෙකි, මේ. වැසි වැටෙන විට එයට තෙමෙමින් නිදා ගන්නා උන්, වැස්ස නතර වූ විට නැවත මසුන් මැරීමට යන්නේ මෙසේ ඇඟ ගසා දමමිනි. ‘‘මිනිස්සු නම් කියනවා වසංගතයක් ඇවිත් කියලා. මං දන්නෙ නෑ මේක මොන ජාතියෙ අවුරුද්දක් වෙයිද කියලා.. කෝකටත් මාළුවෙක් අල්ලන් එන්න යන්න ඕනෙ!‘‘ © Dawn Wilson / Comedy Wildlife Photography Awards 2021.

ජිරාෆ්ගේ පිටේ යාම

උගන්ඩාවේදී වඳුරු රංචුවක් සෙල්ලම් කරමින් සිටින තැනකට ජිරාෆයෙක් බෙල්ල දැමූ විට මෙවැනි දේ සිදුවිය හැක. © Dirk-Jan Steehouwer / Comedy Wildlife Photography Awards 2021.

ඇයි මීට කලින් මාව දැකල නැද්ද?

ඉන්දියාවේ ගුරුමූර්ති ගුරුමූර්ති සිය Nikon D5300 70-300mm lens කැමරාවෙන් ඉන්දියානු බෝදිලියෙක් කාච ඇසට හසු කරගෙන තිබූ අපුරුවයි, මේ. © Gurumoorthy Gurumoorthy / Comedy Wildlife Photography Awards 2021.

ගස් බදාගැනීමේ අලුත්ම කලාව නාසය ඇතිල්ලීමයි

බෝර්නියෝ දූපත්වල වෙසෙන ප්‍රොබොස්සිස් වඳුරන්ට හොටක් තරම් දිග නාසයක් ඇත. මේ වඳුරු හාදයා ගසක් වැළඳගන්නවාද, නැතිනම් නාසය කසා ගත්තාද කියා අද වන තෙක් ඡායාරූප ශිල්පියා නම් දන්නේ නැත. © Jakub Hodan / Comedy Wildlife Photography Awards 2021.

ගිම්හානය ඉවරයි

‘‘මං හිතන්නේ ගිම්හානය ඉවරයි‘‘ පතිත තුරු පතක් හදිසියේ පැමිණ මුහුණ වසාගන්නා විට මේ පරෙවියා එසේ සිතන්නට ඇත. © John Speirs / Comedy Wildlife Photography Awards 2021.

හම්මෝ! තරහ ගන්නව කියල මෙහෙමත් තරහ ගන්නවද…?

චීනයේ යුනාන් පළාතේ වෙසෙන රන්වන් සේද වඳුරෙක් සිය කෝපය පළ කළ ආකාරයයි, මේ. මේ කෝපය නම්, අනෙක් අයට කෙසේ වෙතත් මේ හාදයාට ද අතිශය වේදනාකාරී එකක් වන්නට ඇත.! © Ken Jensen / Comedy Wildlife Photography Awards 2021.

හොඳින්ද බැලුවා!

සැම්බියාවේ දකුණු ලුවාන්ග්වා ජාතික වනෝද්‍යානයේ සිටි පිරිමි වෙල්වට් වඳුරෙකි, මේ. සමක අප්‍රිකාවේ වෙසෙන ඇතැම් වඳුරු විශේෂවල මෙසේ වෘෂණකෝෂ දීප්තිමත් නිල් පැහැයකින් යුතු ය. උන්ගේ ගැහැණු සතුන් එවිට වැඩි අවධානයකින් උන් දෙස බලනු ඇත. © Larry Petterborg / Comedy Wildlife Photography Awards 2021.

මේ ඔපෙරා වේලාවයි!

ඔස්ට්‍රේලියාවේ පර්ත් හි තැනිතලාවක සිටි මේ කැන්ගරුවා හරියට ‘the hills are alive, with the sound of music’ ගායනා කරනාවක් මෙනි. © Lea Scaddan / Comedy Wildlife Photography Awards 2021.

සොබාදහම යනු අප ය.

‘‘අපිට හිනාව කැන්දන මේ පුංචි සතුන් අපට කියන්නේ සොබාදහම ඔවුන්ගේ බවයි‘‘. ඒ, හංගේරියානු ඡායාරූප ශිල්පිනී කත්‍රිනා රෝලන්ඩ් ගේ වචන පෙළයි. ‘the hills are alive, with the sound of music’ in the field.” © Lea Scaddan / Comedy Wildlife Photography Awards 2021.

වරෙව් නටන්ට!

ඉන්දියාවේ තදෝබා ටයිගර් රක්ෂිතයේදී ලැංගූර් වර්ගයේ මේ වඳුරු රංචුව නිදහස බුක්ති වින්දේ මෙසේ ය. © Sarosh Lodhi / Comedy Wildlife Photography Awards 2021.

ජීවිතේ බරයි, අම්මේ – ජීවිතේ බරයි!

ඉන්දියාවේ ව්‍යාඝ්‍රයන් සඳහා සුප්‍රකට ජිම් කෝබෙට් ජාතික වනෝද්‍යානයේ ඡායාරූප ශිල්පී සිධාන්ත් අගර්වාල් සංචාරය කරමින් සිටියේ පාරෝ නමැති ව්‍යාඝ්‍ර ධේනුවක් නිරීක්ෂණය කරමිනි. මේ ඇගේ දියණියයි. පොළොවේ පය තබා ඉහළ ගසක අත්තක් අල්ලාගෙන සිටියත්, ඇත්තෙන්ම ඈ සිටින්නේ කොටයක් උසුළනවාක් වැනි හැඟීමකිනි. © Name / Comedy Wildlife Photography Awards 2021. © Siddhant Agrawal / Comedy Wildlife Photography Awards 2021.

මගේ ලෝකයට සාදරයෙන් පිළිගනිමි!

ස්වීඩනයේ ගොතෙන්බර්ග්හිදී ඇස ගැටුණු රතු බත්කූරා අපට ඇරයුම් කරන්නේ ඒ ක්ෂුද්‍ර ලෝකයට අපට ද පැමිණ බලන ලෙස ය. © Mattias Hammar / Comedy Wildlife Photography Awards 2021.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි