×

ගැහැණු පිරිමි වෙනසක් නැති ලෝකයේ අංක 1 රටෙන් ශ්‍රී ලංකාවට පාඩමක්!

පිට පිට 9 වැනි වර්ෂයටත් ලෝකයේ ස්ත්‍රී පුරුෂ භේදය අඩුම රට බවට පත්වීමේ ගෞරවය දිනා සිටින්නේ අයිස්ලන්තයයි. පළාත් පාලන මැතිවරණයේ 25% ස්ත්‍රී කෝටා ක්‍රමය ගැන ‘ලොකු සද්ද‘ දැමූ රටකට අයිස්ලන්තයෙන් උගත හැකි පාඩම් මොනවාද?


අයිස්ලන්තය ‘හිම සහ ගිනි‘ දේශයයි. මේ විරුදාවලිය එයට යෙදෙන්නේ එහි හිම පරිසරය තරමටම ගිනි කඳු ද බහුල නිසා ය. එහි විශාලත්වය ඇමරිකාවේ ඔහායෝ ජනපදයට සමාන ය. අයිස්ලන්තයේ කැලෑවක් ඇත්තේම නැත. මදුරුවන් ද නැත. රටට හමුදාවක් ද නැත. කිසිම අධිරාජ්‍යයක් විසින් යටත් කරගෙන නැති නිසා, එයට යටත් විජිත ඉතිහාසයක් ද නැත. ජනගහනය තුන්ලක්ෂ පණස් දහසක් (350,000) වැනි අල්පයකි. මිනීමැරුම් වාර්තා වන්නේ වසරකට 18 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. එනිසා මිනීමැරුම් නැති රටක් ලෙසත් ඇතැම්විට හඳුන්වයි. වසරෙන් වැඩි කාලයක් හිරු එළිය නොදකින මේ රටේ, හිරු එළිය වැටෙන කාලවලදීත් එය දවසකට පැය 5 කට සීමා වෙයි.

ඉහළ මානව දර්ශකවල ලක්ෂණ ලෙස සැලකිය හැකි තවත් සාධක ගණනාවක් අයිස්ලන්ත ජීවිතයේදී හමු වේ. මේ රටේ ගර්භනී නිවාඩුව මාස 9 කි. මෙම නිවාඩුව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හිමි ය. වැටුප් පරිමාණවල ගැහැණු – පිරිමි වෙනස ඇත්තේ ඉතාම මද වශයෙනි. රටට නිදහස් අධ්‍යාපනය හිමි අතර, තනි තනි වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවය ද ලබාගැනීමට හැකියාව ඇත. මේ සියල්ලටමත් වඩා, ලෝක ආර්ථික සංසදයේ දත්තවලට අනුව පිට පිට වසර 9 ක් ම රටේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය (ජෙන්ඩර් ඊක්වලිටි) 100% ක් නිසා එය ලෝකයේ එම සාධකය අතින් පළමු තැනට පත්වෙයි. (Global Gender Gap Index) අද වන විට අයිස්ලන්තය සැලකෙන්නේ ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවයේ ලෝක නායකයා‘ වශයෙනි.

මේ නිසා ලෝක ආර්ථික සංසදය අවධාරණය කරන ආකාරයට ‘ගැහැණියක වී ඉපදීමට ලෝකයේ හොඳම රට‘ වන්නේ ද අයිස්ලන්තය යි. අයිස්ලන්තයේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වැටුප්වල ඉතා සුළු වෙනසක් ඇති බව ඉහත කීවෙමු. මේ වෙනස, ඉදිරි වසර 5 තුළ 0 දක්වා ගෙන ඒමට, එනම් රටේ කිනම් ක්ෂේත්‍රයක වුවද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වැටුප් සර්ව සම කිරීමට අයිස්ලන්තය බලාපොරොත්තු වෙයි.

Facts from Fiction

Facts from Fiction

මේ ලෝකයේ කිසිදු අයිතිවාසිකමක් බන්දේසි මත තබා ලෙහෙසියෙන් ලැබෙන්නේ නැත. අයිස්ලන්තය අද මේ සිටින තත්වයට පත්වූයේ අරගල රාශියක් මැදිනි.

ලෝකයේ පැරණිතම පාර්ලිමේන්තුව වශයෙන් සැලකෙන අයිස්ලන්ත පාර්ලිමේන්තුව ක්‍රි.ව. 930 දී පිහිටුවා ගත්තකි. නමුත් තනි මොනොලිතික දෙවියෙකු වෙනුවට දෙවියන් සහ දේවතාවියන් විසින් ක්‍රි.ව.1000 දී පමණ අයිස්ලන්තයේ ආගමික සංස්කෘතිය වසා ගත් බව පෙනේ. මේ හා සමාන්තරව ස්ත්‍රීන් තවදුරටත් දෙවියන් වහන්සේ නියෝජනය කරමින් මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට නුසුදුසු ය යන මතයක් ද ගොඩනැගිණි. 1914 සහ 1915 වසරවලදී අයිස්ලන්ත ස්ත්‍රීන් ට ප්‍රොතෙස්තන්ත පූජකවරියන් වීමට අවස්ථාව ලැබිණි. ඒ හා සමානව ඡන්ද බලය සහ අයිස්ලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ ලැබිණි. ඒ අනුව ලෝකයේ පැරණිතම පාර්ලිමේන්තුව පිහිටුවා ගත් රටේ, එයින් වසර 1000 ක් යන තෙක්ම කාන්තාවන්ට පාර්ලිමේන්තුවට යාමට අවසර ලැබී නැත. අයිස්ලන්තයේ ප්‍රථම බිෂොප්වරිය බිහිවූයේ ද 2012 වසරේදී ය.

මේ අතර 1975 වසරේදී අයිස්ලන්තයේ රැකියාවේ නියුතු කාන්තාවන්ගේ වැටුප, රැකියාවේ නියුතු පුරුෂයන්ගේ වැටුපට වඩා 60% ක් අඩු අගයක් විය. ඒ වන විට අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ සිටියේ ස්ත්‍රී නියෝජිතයන් 3 දෙනෙක් පමණි. අවසානයේ කාන්තා ශ්‍රමිකයන්ගෙන් 90% ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවයට විරුද්ධව උද්ඝෝෂණය කළහ. එහි ප්‍රතිඵලය වූයේ ‘කාන්තා සන්ධානය‘ (Women’s Alliance) නමැති ව්‍යාපාරය බිහිවීමයි. දේශපාලන දේහයට බලපෑම් කිරීමට හැකිවීම පහසු වීම සඳහා ඔවුහු එම නමින් යුතු දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඔවුන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාවේදීම අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 5% සිට 15% දක්වා ඉහළ ගියේය. 2016 වන විට අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 48% ක් විය.

පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, 1915 වසරේ පටන් 1983 වසර දක්වාම අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තා සාමාජිකයන් සිටියේ 2%-5% අතර ප්‍රමාණයක් පමණි.

1999 වසර වන තෙක්ම පෙර කී කාන්තා සන්ධානය අයිස්ලන්තය තුළ කාන්තා නියෝජනය වෙනුවෙන් අති මහත් වැඩ කොටසක් කළේය. ‘‘ගෑණු ප්‍රශ්න‘ යැයි සමාජයට පෙනුණු ප්‍රශ්න කන්දරාවක් අයිස්ලන්ත පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් කිරීමට මෙම කාන්තා බලවේගය සමත් විය. දේශපාලන න්‍යායපත්‍ර තුළට ‘ගෑණු ප්‍රශ්න‘ නොවැරදීම අඩංගු කළ යුතු යුගයක් ක්‍රමයෙන් රට තුළ ඇති විය.

මෙයට සාපේක්ෂව ලංකාවේ කාන්තා නියෝජනය පිළිබඳ කරුණු කිහිපයක් සලකා බලමු.

ලංකාවට 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු 1931 ජූනි 13 වැනිදා පැවැත්වූ ප්‍රථම මහ මැතිවරණයට කිසිදු කාන්තාවක් ඉදිරිපත් වූයේ නැත. නාම යෝජනා භාර දී තිබූ කාන්තාවන් කිහිප දෙනා ද ඡන්දයට දින කිහිපයකට පෙර සිය නාම යෝජනා ඉල්ලා අස් කර ගත්හ. ඒ පිළිබඳ මාර්තු 05 සන්ඩේ ඔබ්සවර් කතුවැකිය මෙසේ සඳහන් කරයි.

“ලංකාවේ දේශපාලනයෙහි යෙදෙන ස්ත්‍රීන් කටට ගෙන හැපිය නොහැකි තරම් කෑම ප්‍රමාණයක් එකවරම ගිලීමට උත්සාහ කරන අය බව පෙනේ. ලලනාවන් කිහිප දෙනෙක් තම ලොකුකම පෙන්වීමට නාම යෝජනා ඉදිරිපත් කළ නමුත් ආසන පොරයේ ගිනියම හා උණුසුම ඔවුන‍්ගේ ශරීරවලට එතරම් සුවදායක නුවූවා සේ ය.”

අනතුරුව 1931 නොවැම්බර් මාසයේ එවකට කථානායක ෆ්‍රැන්සිස් මොළමුරේ මහතාගේ බිරිඳ වූ ඇඩ්ලින් මොළමුරේ මැතිනිය මහජන මන්ත්‍රණ සභාවට පත්වීමෙන් පසුව ඉදිරියට ගලා යන ලංකාවේ කථාන්දරයේ ලෝකයේ පළමු අගමැතිනිය බිහිවීම ද, විවාහක රූ රැජිනක් කොළඹ ප්‍රථම පුරපතිනිය වීම ද ලියැවී තිබේ. මේ අතර 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වෙස්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තුව ලංකාවට දායාද වීමෙන් පසු එදා මෙදාතුර ගෙවී ගොස් ඇති වසර 70 ක කාලය තුළ ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වර්ධනය වී තිබෙන්නේ 2.8%කින් පමණි. මේ අතර 2018 පෙබරවාරි මාසයේ පළාත් පාලන ඡන්දයේදී කාන්තා නියෝජනය 25%කට ඉහළ නැංවීමේ යෝජනාව තවමත් මහ පොළොවේ පැළ වී නැත්තේ සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන රටක් දේශපාලනයේ කාන්තා නියෝජනය අවම රටක් ලෙස ලෝක වාර්තා අතරට එක්ව සිටියදී ය. එසේම පෙර කී ලෝක ආර්ථික සංසදයේ ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 144 ක් අතරින් ලංකාව ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස අතින් දැන් සිටින්නේ 109 වැනි තැන ය.

ඉතින්, අයිස්ලන්තයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය කතාන්දරය ලෝකයේ සෙසු රටවලට කියා දෙන පාඩම කුමක්ද? ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ලබාැනීම සඳහා සාමූහික වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. එයට මානව හිමිකම් ක්‍රියාකාරිනියන් අතර සාමූහිකත්වය, දේශපාලන කැමැත්ත සහ නීති, කෝටා ක්‍රම සහ gender budgeting වැනි මෙවලම් ද අවශ්‍ය ය. එවැනි බලවේගයක් ඉපදීමට නම් එය සංස්කෘතික, දේශපාලනික, ආගමික, සමාජයීය, අධ්‍යාපනික සහ ආර්ථික ධාරාවන්ගෙන් බලගැන්විය යුතුය. ස්ත්‍රියගේ අයිතිවාසිකම් ආරක්ෂා නොකරන, ඇයට ආරක්ෂාව නොසලසන පද්ධතික් තුළ ගැහැණියකගේ ජීවිතය, රුසියානු රූලට් දාදු ක්‍රීඩාවක් මෙනැයි කියමනක් තිබේ. ඉඳහිට ස්ත්‍රියක් ලෝකයේ හිණිපෙත්තට ගියවිට, පිරිමින් පරදවා රටේ නමක් තැබූ විට ඒ රට කාන්තාවන්ට නිසි තැන දෙන රටක් බවට බෞතීස්ම ලබන්නේ නැත. මේ නිසා අයිස්ලන්තය මුළු ලෝකයටම කියා දී තිබෙන්නේ වටිනා පාඩමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි