×

‘පාන් පොල්ලක්‘ සහ පුංචි කෙල්ලක්!

තනි සිදුවීමක් මුල් කරගෙන රටේ ප්‍රතිපත්ති සාධනයේ වෙනසක් කරන්නට හදන එංගලන්තයෙන් අපට පාඩමක්


2016 ජූලි 17 වැනිදා අවුරුදු 15 ක පුංචි යුවතියක් නිවාඩුවට ප්‍රංශයෙ නීස් නගරයට ගුවනින් යන්න හිතාගෙන ලන්ඩනයේ හීතෘ ගුවන් තොටුපොළට ආවා. ගුවන්තොටුපොළේ තියෙන කෑම සාප්පුවකින් බගටි එකක් (පාන් පොල්ලක්) ඇය කෑමට ගත්තා. ඒක ඇතුළෙ සෙසමි සීඩ් තිබෙන බව ඇය දැනගෙන හිටියෙ නෑ. ඇයට සෙසමි සීඩ්ස් ආහාරයට ගත්තාම මරණාසන්න වෙන තරමේ ආසාත්මිකතාවක් ඇති වෙනවා. මේ බගටි එකේ, එහෙමත් නැතිනම් පාන් පොල්ලේ සෙසමි සීඩ්ස් තිබුණෙ මතුපිටත් නෙවෙයි, ඇතුළෙ. ඒ නිසා ඇය බගටි එක ඇතුළෙ තමන්ගෙ මාරයා හැංගිලා ඉන්න බව නිකමටවත් හිතුවෙ නෑ.

අන්තිමට ගුවන් යානය නීස් වෙත ළඟාවෙන්න තිබියදී ඇය මරණයට පත් වෙනවා. ඇගේ පියා ඇයට එපිපෙන් එනන්ත් දෙකක් ලබාදීලා ඇගේ ජීවිතය බේරගන්න උත්සාහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ.

නතාෂා එඩ්නන්-ලැපරෝස් කියන මේ පුංචි කෙල්ලගේ අකල් මරණය එංගලන්තයේ ලොකු ආන්දෝලනයක් ඇති කරනවා. කොහොමටත් ආසියාවෙ රටවල වගේ නෙවෙයි, යුරෝපයේ රටවල මනුස්ස ජීවිත හරි වටිනවා. ඒ නිසා මේ පුංචි කෙල්ල බගටි එකක් කෑම නිසා මියගියේ කොහොමද කියල දීර්ඝ වශයෙන් පරීක්ෂණයක් කෙරෙනවා. ඒ පරීක්ෂණයේ වර්ඩික්ට් එක, එහෙමත් නැතිනම් තීන්දුව මෙයට දවස් දෙකකට කලින් ප්‍රකාශයට පත් වුණා.

ඇය බගටි එක මිලදී ගෙන තිබුණෙ හීත්‍රෝ ගුවන් තොටුපොළේ 5 වැනි පර්යන්තයේ පිහිටලා තිබුණු Pret අවුට්ලට් එකෙන්. ඔවුන් මේ දැරියගේ මරණය ගැන කම්පාවට පත්වී කණගාටුව පළ කළා. නමුත් ඒක විතරක් සෑහෙනවාද?

සාමාන්‍යෙයන් සෙසමි සීඩ්ස් නිසා ආසාත්මිකතාවයක් ඇති වෙන්නෙ මිනිසුන් 100 කගෙන් එක් අයෙකුට. එතැනදි සමේ පළු ඇතිවීම, ඉදිමීම වගේ දේවල්වල ඉඳන් හුස්ම හිරවීම දක්වා බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ලංකාව වගේ රටක මේක සිද්ධ වුණා නම්, ‘ඒ දැරිවිගෙ කරුමෙ! ගෙනාපු ආයුෂ ඉවරයි‘ කියල අපේ අය හිත හදා ගන්නවා. ඒත් අර කලින් කිව්ව වගේ මේ ලෝකයේ සමහර රටවලට මනුස්ස ජීවිත හරිම වටිනවා. ඒ නිසා කිසිම වගකිවයුතු කෙනෙක් මේ සිදුවීම ‘අල්ලල දාන්න‘ කැමති වුණේ නෑ.

‘‘සිද්ධ වුණේ මොකක්ද, ඇයි මෙහෙම වුණේ කියල හරියටම හොයාගන්න ඕනෙ..“ හැම කෙනෙක්ම කිව්වෙ එහෙමයි.

අන්තිමට සිද්ධ වුණු දේ හරියටම හොයාගත්තා.

ෆුඩ් ලේබලින්වල, එහෙමත් නැතිනම්, අඩංගු දේවල් දක්වන ලැයිස්තුවේ සෙසමි සීඩ්ස් තිබෙන බව බගටි එකේ සඳහන් කරල තිබුණෙ නෑ…

ලේබලයේ එහෙම තිබුණ නම් පුංචි කෙල්ල ඒ බගටි එක කන්නෙ නෑ… එහෙම වුණා නම් ඇය අදටත් ජීවතුන් අතර..

මරණ පරීක්ෂණයෙදි ප්‍රෙට් සමාගම නොයෙක් දේ කිව්වා. ආසාත්මිකතාවය ගැන තමන් හැම විටම පරිස්සම් වෙන බවත්, ඒ ගැන ඕනෑම අවස්ථාවක සාප්පුවේ කළමනාකරුගෙන් විමසන්න පුළුවන් බවත්, තමන්ගෙ වෙබ් අඩවියේ ඒ ගැන කියා තිබෙන බවත් යනාදී දේවල්… තමන්ගෙ පාරිභෝගිකයන්ට ආහාර ගැන නිවැරදි තොරතුරු සපයන්න ‘සීරියස්‘ විදිහට මහන්සි වෙන බවත් ඒ සමාගම කිව්වා.

නමුත් ඒ කතා සෑහුණේ නෑ. ප්‍රමාණවත් පරිදි ෆුඩ් ලේබලින් කර නැති බව තීන්දුවෙන් කියවුණා.

මේ කතාවෙ හොඳම හරිය තියෙන්නෙ මීට පස්සෙ.

වන්දියක් අරන්, මේ දැරිවිට වෙච්ච අසාධාරණේට යුක්තියක් ඉෂ්ට කරනව වගේ පටු තැනකට මේ ප්‍රශ්නෙ තල්ලු වුණේ නෑ…

ඒ වෙනුවට, එංගලන්තයේ ෆුඩ් ලේබලින් ගැන තියෙන නීති-ප්‍රතිපත්ති වෙනස් කිරීම දක්වා මේ කතාව දුර දිග යනවා. එංගලන්තයේ පරිසර ලේකම් මයිකල් ගොව් මේ වෙද්දි මේ සිද්ධිය මුල්කරගෙන රටේ ප්‍රතිපත්තිවල වෙනසක් කරන්න සූදානම් වෙනවා.

අපේ රටවල මේ වගේ අවාසනාවන්ත සිදුවීම් කීයක් දවසට වාර්තා වෙනවද? විවිධ ගැටළු නිසා මනුස්ස ජීවිත කීයක් එක දවසකට නැති වෙනවද? ඒත් ඒ සිදුවීම්වලින් බහුතරයක් ‘තවත් එක සිදුවීමක්‘ විදිහට විතරක් අතීතයට එකතු වෙනවා. ඒ වගේ දේවල් යළි සිද්ධ නොවෙන තැනට මේ රට තල්ලු වෙන්න හිතන්නෙවත් නෑ. ඒවා තවත් එක හුදෙකලා සිදුවීමක් විදිහට ඉතිහාසයට එකතු වෙනවා. එච්චරයි. ඒ නිසා, මේ තනි සිදුවීම මුල් කරගෙන රටේ ප්‍රතිපත්ති සාධනයේ වෙනසක් කරන්න හදන එංගලන්තය, අපට ලොකු පාඩමක් කියා දෙනවා.

ඇත්තටම ඒ රටවල් ‘සිවිලයිස්‘ එහෙමත් නැතිනම් ‘ඇත්තටම ශිෂ්ට සම්පන්නයි‘ කියල කියන්නෙ ඒකයි. ඒ රටවල් දියුණුයි කියල කියන එකේ හැබෑ තේරුම ඒකයි.

මේ රටවල් නොදියුණුයි කියල කියන එකේ හැබෑ තේරුමත් ඒකයි.

අනේ අපි කවදාක… හිනැහෙමුද මේ රටේ..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි