මෙම කඩඉම වාර්තා වන්නේ බ්‍රසීලය, ඉන්දියාව සහ ප්‍රංශය වැනි රටවල තවමත් පවතින දැඩි අර්බුදකාරී තත්වයන් සහ එන්නත්කරණයේ පසුබෑම් අතරතුර ය.
ජෝන් හොප්කින්ස් සරසවියේ නිල දත්තවලට අනුව මේ අනුව, කෝවිඩ් වසංගතයෙන් ලොවට අහිමි වූ මානව සම්පත යුක්රේනයේ ක්යිව් අගනුවර හෝ වෙනිසියුලාවේ කැරකස් නුවර ජීවත් වන මුළු ජනගහනයට සමාන ය. එසේත් නැතිනම් පෘතුගාලයේ ලිස්බන් නුවර ජනශුන්‍ය වූවාට සමාන ය.
චිකාගෝ හි මුළු ජනගහනය පවා මිලියන 2.7 කි. ඩැලාස් හා ෆිලඩෙල්ෆියා යන ජනපද දෙක එක් කළත් මුළු ජනගහනය මිලියන 3 කට ආසන්න වනු ඇත.
තවද මෙහිදී මතක තබාගත යුත්තක් ඇත. එනම්, මෙම ගෝලීය වසංගතයෙන් දිවි අහිමි වූ සත්‍ය සංඛ්‍යාව මෙයට වඩා බෙහෙවින් අධික වීමට ද ඉඩ ඇති බවයි. එයට හේතුව, ලෝකයේ ඇතැම් රාජ්‍ය නිල දත්ත ලබාදීමේදී සත්‍ය මරණ සංඛ්‍යාවම ලබාදෙන්නේද යන්න ගැන බරපතළ සැකයක් පවතින නිසා ය. මෙය, 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් පළාතෙන් වසංගතය ඔඩු දුවන්නට පටන් ගත් අවධියේ පටන්ම සිදුවූ දෙයකි.
මරණ මිලියන 2 සීමාව ලෝකය පසු කළේ 2021 ජනවාරි මාසය තුළ වීම ද විශේෂත්වයකි. ඒ අනුව මේ වසරේ මුල් මාස 4 තුළ මිලියනයක් දෙනා වසංගතයෙන් මරුමුවට පත්ව තිබේ. ලොව පුරා යම් මට්ටමකින් එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන අතරවාරයේ වාර්තා වන මෙම කඩඉම අතිශයින්ම බරපතළ ය.
ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය මේ වන විට කෝවිඩ් වසංගතය සාර්ථක ලෙස මර්දනය කරමින් සිටින ලෝක නායකයන් බවට පත් වෙමින් තිබේ. මේ වන විට මෙම දෙරටෙහිම කටයුතු යම්තාක් දුරකට සාමාන්‍ය අතට හැරෙමින් ඇත.
ලොව පුරා සිදුවන ගෝලීය මරණ සංඛ්‍යාව මේ වන විට 12,000 ක් බවට පත්ව තිබේ. නව රෝගීන් වාර්තා වීම ද වැඩි වෙමින් තිබෙන්නේ දිනකට නව ආසාදිතයන් ලක්ෂ 7 ක් වශයෙනි.
බ්‍රසීලය මේ වන විට පවතින්නේ ඉතාම දුෂ්කර තත්වයක ය. දෛනික මරණ සංඛ්‍යාව 3000 කි. මේ අනුව ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.
ලොව පුරා රෝහල් මෙවැනි වසංගතයක් පිළිගැනීමට සූදානමින් සිටියේ නැත. මේ වන විට රෝහල්වල සම්පත් සීඝ්‍රයෙන් සිඳී යමින් ඇත.
මෙම කෝවිඩ් වසංගතය ‘හෙම්බිරිස්සාවකට වඩා ටිකක් දරුණු‘ යැයි බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ කීවේය. ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් තිස්සේ තනි වැක්සිනයක් ඉල්ලා සිටින්නේ, විශාල වැක්සින් ප්‍රමාණයක් අවශ්‍ය රටකට හදිසි තත්වයක් පාලනය කිරීමට පවා වැක්සිනයක් නොමැති වාතාවරණයක් ඇති කරමිනි.
2021 පෙබරවාරි මාසයේ පටන් ඉන්දියාවේ කෝවිඩ් වසංගතය පෙර නොවූ විරූ ලෙස හිස ඔසවන්නට පටන් ගෙන තිබෙන්නේ බලධාරීන් ව පවා යම් පුදුමයකට පත් කරමිනි. ඒ වන විට ඉන්දියාව එන්නත්කරණය ආරම්භ කර සති කිහිපයක් ද ගත වී තිබිණි. ගතවූ සතියේ ඉන්දියාවෙන් දිනකට නව ආසාදන 180,000 ක් පවා වාර්තා විය. ඒ අනුව ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 13.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නවදිල්ලියේ ආසාදිතයන් 13,000 ක් දිනකට වාර්තා වන විට (එහි ජනගහනය මිලියන 29 කි) ඔවුන් වෙනුවෙන් ශ්වසන ආධාරක යන්ත්‍ර හෙවත් වෙන්ටිලේටර්ස් පුරප්පාඩු වී තිබුණේ 178 ක් පමණක් බව ද වාර්තා විය.
ඉන්දියාව ජගත් සංවිධානයේ ද අනුග්‍රහය යටතේ දුප්පත් රටවලට ලබාදීම සඳහා COVAX එන්නත නිපදවන රටයි. මේ වන විට ඉන්දියාව COVAX එන්නත් මාත්‍රා මිලියන 40 ක් රටවල් 100 කට වැඩි ප්‍රමාණයකට ලබා දී තිබේ. නමුත් එය සමාන වන්නේ දළ වශයෙන් ලෝක ජනගහනයෙන් 0.25%කට පමණි.
මේ අතර පසුගිය සතියේ පටන් ඉන්දියාව COVAX අපනයනය කිරීම තාවකාලික ලෙස නතර කළේ රට තුළ වෛරසය පැතිර යාම පාලනය වන තෙක් සිටිය යුතු බව කියමිනි.
ගෝලීයව මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 700 ක් ලබා දී ඇති අතර, එයින් 87%ක්ම සංසරණය වී තිබෙන්නේ ධනවත් රටවල් අතර ය. ඒ අනුව ධනවත් රටවල සෑම සිව් දෙනෙකුගෙන්ම එක් අයෙකු එන්නත් ලබාගෙන තිබෙන බව කිව හැකිය. දුප්පත් රටවල මේ අනුපාතය 500කට 1ක් බවටවත් තවම පත් වී නැත.
මේ අතර පසුගිය දිනවල ඇමරිකා එක්සත් ජනපදය සහ ඇතැම් යුරෝපීය රටවල් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිෂ්පාදනය කරන කෝවිඩ්-19 එන්නත ලබාගැනීම අත්හිටවූයේ අතිශයින් දුර්ලභ, නමුත් භයානක රුධිර කැටි එයින් ඇති වන බව සොයාගැනීමත් සමග ය. මේ අතර ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිෂ්පාදනයක් වන AstraZeneca එන්නත බෙදාහැරීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබේ.
මේ අතර, දුප්පත් රටවලට එන්නත්කරණයේදී චීනයේ සහ රුසියාවේ පිහිට පැතීමට සිදුව ඇති ආකාරය ද දැකගත හැකිය. මෙම එන්නත්වලින් ලැබෙන්නේ ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රා සෙනෙකා එන්නත්වලින් ලැබෙනවාට වඩා අඩු ආරක්ෂාවක් බවට ඇතැම් විද්‍යාඥයෝ තවමත් සැක පළ කරති.
පසුගිය සතියේ චීනයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය, සිය එන්නතේ ආරක්ෂාව සාපේක්ෂව අඩු බව පිළිගත්තේය. ඔවුන් කීවේ, එන්නතේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කිරීම සඳහා එන්නත් මිශ්‍ර කිරීම ගැන සලකා බලමින් සිටින බවය.
මරණ 560,000 ක් වාර්තා වන ඇමරිකාව, ගෝලීය මරණ වලින් 1/6කට වග කියයි. විරැකියාවද තවදුරටත් ඉහළ යමින් තිබේ. පසුගිය සතියේ ඇමරිකානුවෝ 576,000 ක් දෙනා විරැකියා දීමනා සඳහා ඉල්ලුම් කළහ. නමුත් බයිඩන් පාලනයත් සමග බොහෝ වෙනස්කම් ඇති වෙමින් තිබේ. මිචිගන් ඇතුළු ජනපද ගණනාවකම තත්වය ප්‍රශස්ත වෙමින් ඇත. දෛනික මරණ සංඛ්‍යාව 700 දක්වා අඩු කර ගැනීමට ඔවුන් සමත්ව සිටියි. ජනවාරි මැද සතියේ, එනම් බයිඩන් පාලනය ඇරඹෙන සමයේ ඇමරිකාවේ දෛනික මරණ සංඛ්‍යාව 3,400 ක උපරිමයකට ළඟා වී තිබිණි.
Cover Photo: The Economic Times