×

මේ ඔවුන්ගේ මහපොළවයි.. ගොඩ්සිලා – කොන්ග් හරඹය මාර්තු මසදී!

එක් දෙයක් පැහැදිලිය. හොලිවුඩයේ දැවැන්තම පතාකයින් දෙදෙනා මෙසේ හරඹයේ යෙදෙනා විට - කූඹියකු තරම් කුඩා මිනිසා ට උන්හිටි තැන් අහිමි වනු ඇත.


මිනිසා සම්භවය වන්නට වසර මිලියන ගණනාවකට පෙර මහපොළවට හිමිකම් කීවේ ඔවුන් ය. හොලිවුඩයේ වඩාත්ම ආදරය දිනූ පතාක යෝධයින් දෙදෙනා හරඹයේ යෙදෙන්නට දැන් සූදානම් ය.

වෝර්නර් බ්‍රදර්ස් සමාගම විසින් මීට සුළු මොහොතකට පෙර ගොඩ්සිලා වර්සස් කොන්ග් නම් නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදා හැර තිබිණි.

ගොඩ්සිලා සහ කොන්ග් ගේ ද්වන්ධ සටන හොලිවුඩ් ප්‍රේක්ෂකයින් වසර ගණනාවක් මුළුල්ලේ අපේක්ෂාවෙන් සිටි අතර, දැන් ඊට කාලය එළඹ තිබේ. ගොඩ්සිලා වර්සස් කොන්ග් චිත්‍රපටය මෙම වසරේ මාර්තු මස 25 වන දින එළිදැක්වීමට නියමිත ය.

මෙම චිත්‍රපටය 2014 වර්ෂයේ නිකුත් වූ ගොඩ්සිලා චිත්‍රපටයටත්, 2019 වර්ෂයේ නිකුත්වූ ගොඩ්සිලා: කින්ග් ඔෆ් ද මොන්ස්ටර්ස් චිත්‍රපටයටත්, 2017 වර්ෂයේ නිකුත් වූ කොන්ග්: ස්කල් අයිලන්ඩ් චිත්‍රපටයටත් අනුප්‍රාප්තික චිත්‍රපටයක් වේ.

ගොඩ්සිලා වර්සස් කොන්ග් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඇඩම් වින්ගාර්ඩ් විසිනි.

මිලී බොබී බ්‍රවුන්, ඇලෙක්සැන්ඩර් ස්කාර්ස්ගාර්ඩ්, රෙබෙකා හෝල් සහ බ්‍රයන් ටයිරි හෙන්රි රංගනයෙන් දායකත්වය ලබා දෙති.

ජපාන කලාව හා සිනමාවෙන් පැවත ආ ගොජ්ජිරා නොහොත් ගොඩ්සිලා නම් පතාක යෝධයා ගේ වෘතාන්තය ඇසුරින් හොලිවුඩ් සිනමාව තුළ චිත්‍රපට බිහිවීම ආරම්භ වූයේ අද ඊයෙක නොවේ. ගොඩ්සිලා යනු මිනිස් න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් නිසා අවදි වූ මීට වසර මිලියන ගණනකට පෙර සාගරයේ ජීවත් වූ දැවැන්ත උරගයෙකි. ගොඩ්සිලා වෘතාන්තයට අනුව ගොඩ්සිලා මිනිස් සංහතියේ සතුරකු නොවන අතර, මහපොළවේ අහිමිවී ගිය නිවහන යළි ලබා ගැනීමේ අරගලයක යෙදෙන සත්වයෙකි.

ඇමරිකානු කලාව හා සිනමාවෙන් පැවත එන කොන්ග්, නැතහොත් කින්ග් කොන්ග් යනු ස්කල් අයිලන්ඩ් නම් මිනිස් ඝනාවාසයෙන් දුරස්ව ඈත සාගරයේ පිහිටා ඇති අභිරහස් දූපතක ජීවත් වන යෝධ ගොරිල්ලෙකි. මෙම දූපතේ වනචාරී මිනිසුන් ජීවත් වන අතර, ඔවුහු කොන්ග් දෙවි කෙනෙකු මෙන් අදහනු ලබති. කොන්ග් ද මිනිස් සංහතියේ සතුරකු නොවන අතර, ගොඩ්සිලා මෙන්ම මහපොළවේ අහිමි වී ගිය සිය නිවහන යළි ලබා ගැනීමේ අරගලයක යෙදෙන සත්වයෙකි.

රටවල් දෙකක එකිනෙකින් පරිබාහිරව නිමවූ මෙම කතාමාලාවන් දෙක සුසංයෝගයක් බවට පත් කිරීමට හොලිවුඩ් සිනමාව සිය පළමු ප්‍රයන්තය යෙදුවේ 2014 වර්ෂයේදී ය. ඒ 2014 වර්ෂයේ එළිදැක්වූ ගොඩ්සිලා චිත්‍රපටය හරහා ය. එය 2017 දී එළි දැක්වූ කොන්ග් – ස්කල් අයිලන්ඩ් චිත්‍රපටයෙන් වඩාත් තහවුරු කරන ලදී.

සුසංයෝග වූ කතාමාලාව තුළ මොනාෂ් නම් රහසිගත සංවිධානයක් විසින් මෙම යෝධ පතාකයින් පිළිබඳ පර්යේෂණ සිදුකරන අතර, මානව සංහතිය බිහිවීමට පෙර මහපොළවේ නිදහසේ සැරිසැරූ මෙම යෝධ සත්වයින් ඔවුන්ගේ විවිධ මෙහෙයුම් සඳහා යොදා ගැනීමේ ප්‍රයන්තයක යෙදෙයි. මොන්ස්ටර් යුනිවර්ස් නමින් හැඳින්වෙන මෙම මොනාෂ් සංවිධානය කේන්ද්‍රගත කරගත් කතාමාලාව තුළ ගොඩ්සිලා, කොන්ග් පමණක් නොව තවත් යෝධ පතාකයින් ගණනාවක් පිළිබඳ කරුණු හෙලිදරව් කරයි.

ඒ පිළිබඳ 2014, 2017 හා 2019 වර්ෂයන් වල නිකුත් වූ චිත්‍රපට නැරඹීමෙන් අවබෝධයක් ලබා ගත හැකිය.

ගොඩ්සිලා වර්සස් කොන්ග් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තුළ ගොඩ්සිලා සහ කොන්ග් නම් පතාක යෝධයින් දෙදෙනා ද්වන්ධ සටනක නිරත වන අයුරු දැක්වේ. න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා මත අග්නි ජාලා විදීමේ හැකියාව ලැබූ ගොඩ්සිලා කොන්ග් ට පහර දෙන අයුරුත්, ඊටම නොදෙවෙනිව කොන්ග් ප්‍රතිප්‍රහාර එල්ල කරන අයුරුත් ප්‍රචාරක පටයේ දැක්වේ.

එහෙත් මිනිස් සංහතියේ සතුරන් නොවූ මෙම අහිංසක සතුන් දෙදෙනා හරඹයක නිරත වන්නේ ඇයි? ඔවුන් එකිනෙකාට අභියෝගයක් ද?

ගොඩ්සිලා හඳුන්වන්නේ පතාකයින් අතර රජු යනුවෙනි. කොන්ග් ස්කල් දූපතේ වනචාරීන්ගේ දෙවියන් ය.

මහපොළවේ තනි අයිතිය භුක්ති විඳීමේ අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම පතාක යෝධයින් දෙදෙනා හරඹයක යෙදෙනවා ද?

එය මාර්තු මස 25 වන දිනෙන් පසුව දැන ගැනීමට හැකි වනු ඇත.

ගොඩ්සිලා හෝ කොන්ග් ගේ ඒකායන අරමුණ මිනිස් සංහතිය විනාශ කිරීම නොවේ. මහපොළවේ අහිමි වී ගිය නිවහන යළි ලබා ගැනීමයි.

එහෙත් එක් දෙයක් පැහැදිලිය. හොලිවුඩයේ දැවැන්තම පතාකයින් දෙදෙනා මෙසේ හරඹයේ යෙදෙනා විට – කූඹියකු තරම් කුඩා මිනිසා ට උන්හිටි තැන් අහිමි වනු ඇත.

එය මිනිස් ක්‍රියාකාරකම් මත සියවස් ගණනාවක් පුරා මහපොළවට සිදුකළ විනාශයට ස්වභාවධර්මය විසින් පිළිතුරු සැපයීමක් වැනිය.

ඡායාරූපය: Warner Brothers



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි