×

ශ්‍රී ලංකාවේ නාගරික මට්ටමේ කාබනික ආහාර සංකල්පය ප්‍රචලිත වීමේ ඉහල සම්භාවිතාවක්…!

කාබනික කෘෂිකර්මාන්තය යනු, මුලික වශයෙන් සංවර්ධිත රටවල් කේන්ද්‍ර කරගනිමින් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින, පසේ, පරිසර පද්ධතියේ හා මිනිසුන්ගේ සෞඛ්‍යවත් පැවැත්ම තිරසර කරන ක්‍රියාවලියකි.


ආහාර නිෂ්පාදනයේදී රසායනික ද්‍රව්‍යය භාවිතයේ සෞඛ්‍යට අහිතකර ප්‍රතිවිපාක ගැන මනා අවබෝධයක් ඇති දියුණු රටවල පාරිභෝගිකයින් නිසා එම රටවල කාබනික ආහාර සඳහා ඉල්ලුම වැඩි වෙමින් පවතී. දියුණු වෙමින් පවතින රටවල ආහාර සඳහා පවතින කුඩා හා ක්ෂුද්‍ර පරිමාණයේ වෙළඳපොළ වර්තමානයේ මෙම තත්වය වෙනස් වෙමින් කාබනික ආහාර වෙළඳපොළ පුළුල් වෙමින් පවතී.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ආචාර්ය පුෂ්පා මල්කාන්ති මහත්මිය සිය කණ්ඩායම සමඟ කරන ලද සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල ජනතාව සතුව පවතින ඉහළ අධ්‍යාපන මට්ටම නිසා කාබනික ආහාර පිලිබඳ ඔවුන් සතු දැනුවත්භාවය ද කැපී පෙනෙන මට්ටමක පවතී. එම නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ නාගරික මට්ටමේ පාරිභෝගිකයන් අතර කාබනික ආහාර සීග්‍රයෙන් ප්‍රචලිත වීමේ ප්‍රවනතාවයක් පවතී.

ඉහත පර්යේෂණය කාබනික ආහාර පිළිබඳ පාරිභෝගිකයන් තුළ පවතින ආකල්පය හා ඒවා මිලදීගැනීම පිලිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක (ගාල්ල, කොළඹ, රත්නපුර, ගම්පහ, නුවර, කුරුණෑගල) එක් දිස්ත්‍රික්කයකින් අහඹු ලෙස පාරිභෝගිකයින් 100ක් වන ලෙස මුළු පාරිභෝගිකයින් 600 ක් යොදාගෙන සිදු කරන ලද්දකි.

ආචාර්ය පුෂ්පා මල්කාන්ති මහත්මිය සිය පර්යේෂණයේ සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාව තුළ දැනට කාබනික ආහාර පමණක් අලෙවි කරන වෙළඳසැල් සුළු ප්‍රමාණයක් පමණක් ඇති අතර, බොහොමයක් වෙළඳසැල් කාබනික ආහාර සඳහා වෙන් වූ කලාපයක අනෙකුත් ආහාර වර්ග සමඟ අලෙවි කිරීම සිදු කරයි. එම පාරිභෝගික සමීක්ෂණයට අනුව, බොහොමයක් පාරිභෝගිකයින් වෙළඳසැල් පිලිබඳ තොරතුරු ලබාගන්නේ අන්තර්ජාලය මඟින් වන අතර, කාබනික ආහාර වෙළඳසැල්වල නාමපුවරු හා දැන්වීම් මඟින් ද තොරතුරු ලබාගනී. එමෙන්ම යහළුවන්, නෑදෑයන් වැනි පුද්ගලයින් හරහා ලබාගන්නා තොරතුරු විශාල වශයෙන් කාබනික ආහාර පාරිභෝගිකයන් අතර ප්‍රචලිත වීමට බලපා තිබේ. කෙසේවෙතත් සාම්ප්‍රධායික පුවත් පත්, රේඩියෝ, රුපවාහිනී මේ සඳහා එතරම් විශේෂ දායකත්වයක් නොමැති බව පෙනේ.

ශ්‍රී ලංකාව තුළ කාබනික ආහාර ප්‍රචලිත කිරීමේදී ගැටළු රාශියක් පවතී. ඉහත පර්යේෂණයෙන් හෙළි වූ පරිදි කාබනික නිෂ්පාදන වල පවතින ඉහල මිල, ප්‍රමාණවත් තරම් කාබනික ආහාර වෙළඳපොල තුළ නොතිබීම, අඛණ්ඩ සැපයුමක් නොතිබීම සහ සහතිකකරණය, ඇසුරුම්කරණය හා ප්‍රවර්ධනය වැනි ප්‍රමුඛතම අලෙවිකරණ උපායන් යොදා නොගැනීම කාබනික ආහාර සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන ගැටලු ලෙස ක්‍රියා කරයි.

එබැවින් ශ්‍රී ලංකාව තුළ කාබනික ආහාර වෙළඳාම දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා වෙළඳසැල් හිමියන් දැනුවත් කිරීම මඟින් කාබනික ආහාර වෙළඳසැල් තුළ සුලබ කිරීම සහ එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම, ඉතා හොද තත්වයේ ගුණාත්මක ආහාර අලෙවිය, අන්තර්ජාලය හරහා නවීන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පවත්වාගෙන යාම, නිවෙස් වලටම බෙදාහැරීම වැනි බෙදාහැරීමේ ක්‍රම භාවිත කිරීම, ආහාර වර්ග ලේබල් කිරීම හා සහතිකකරණය තුළින් අනුරේඛන ක්‍රම භාවිත කර පාරිභෝගිකයන් අතර විශ්වාසය වර්ධනය කිරීම, කාබනික ආහාර වර්ග පිළිබඳ, ඒවායේ සහතිකකරණය පිලිබඳ හා වෙළඳපොල පිලිබඳ තොරතුරු පාරිභෝගිකයන්ට ලබාදීමේ නවීන ක්‍රම භාවිතා කිරීම වැනි දේ කළ හැකිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වුවද කාබනික ආහාර වෙළඳාම තවමත් ප්‍රශස්ත මට්ටමක නොමැති අතර එය ආරම්භක අවස්ථාවේ පවතී. නමුත්, කාබනික ආහාර පිළිබඳ මනා දැනුමක් සහිත නාගරික මට්ටමේ පාරිභෝගිකයන් යනු, අනාගත කාබනික ආහාර නිෂ්පාදකයන්ට හා අලෙවිකරුවන්ට විශිෂ්ට අවස්ථාවක් වන අතර රජය ඇතුළු සියලුම පාර්ශවයන් විසින් ඔවුන් දිරි ගැන්වීම කළ යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි