අපකීර්තියට පත් චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටයින්ට ස්ත්‍රී දූෂණය සහ ලිංගික අතවර සම්බන්ධ චෝදනා හේතුවෙන් වසර 23 ක සිර දඬුවමක් නියම කර තිබේ.
පසුගිය මාසයේදී නිව්යෝක් නුවර පැවති නඩු විභාගයකදී ඔහු වැරදිකරු විය. 67 හැවිරිදි ඔහු පසුගිය බදාදා යෙදී තිබූ උසාවි වාරයට මෙනී සිටියේ රෝද පුටුවක ආධරයෙනි. අවම වශයෙන් වසර පහක සිර දඬුවමක් පවා හාවිට “ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්” විය හැකි බව පවසමින් ඔහුගේ නීතිඥයින් තීන්දුව පිලිබදව අභිආයාචනා කර සිටියේය.
නමුත් නඩු පවරන්නන් තර්ක කළේ වෙයින්ස්ටයින් කාන්තාවන්ට සිදුකළ අතවර ඔවුන්ගේ ජීවිතාන්තය තෙක්ම බලපාන සේ ඔහුද තමා කළ වැරදි පිලිබදව ජීවිතාන්තය තෙක්ම පසුතැවිලි විය යුතු බවයි.
වෙයින්ස්ටයින් බදාදා පළමු වරට අධිකරණය අමතමින් කියා සිටියේ තමා කළ වැරදි පිලිබදව “දැඩි පසුතැවිල්ලක්” ඇති බවයි. 2017 ඔක්තෝබර් මාසයේ සිට වෙයින්ස්ටයින්ට එරෙහිව ස්ත්‍රී දූෂණ ඇතුළු ලිංගික විෂමාචාර චෝදනා කාන්තාවන් දුසිම් ගණනකින් ඉදිරිපත් වී තිබේ.
ඔහු දිගින් දිගටම වැරදි කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ වරදට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් පොරොන්දු වී තිබේ.
ලොස් ඇන්ජලීස් හි ස්ත්‍රී දූෂණ හා ලිංගික අතවර සම්බන්ධයෙන් වෙයින්ස්ටයින්ට තව දුරටත් අපරාධ චෝදනා එල්ල වී තිබේ.
දඬුවම් නියම වීමෙන් පැය කිහිපයකට පසු පපුවේ වේදනාවෙන් ඔහුව මැන්හැටන් හි බෙලීව් රෝහලට ගෙන ගිය බව ප්‍රකාශකයෙක් පැවසීය. පසුව ඔහුව හෘද සැත්කමකට භාජනය කර ඇත.
නිෂ්පාදන සහායක මීරියම් හේලිට එරෙහිව 2006 දී පළමු වරට සාපරාධී ලිංගික ක්‍රියාවක් සිදු කිරීම සහ 2013 දී නිළි ජෙසිකා මෑන් දූෂණය කිරීම සම්බන්ධයෙන් වෙයින්ස්ටයින් වැරදිකරු විය. කොල්ලකාරී ලිංගික අතවර පිළිබඳ බරපතළම චෝදනාවලින් නිව්යෝර්ක් ජූරි සභිකයන් ඔහුව නිදොස් කොට නිදහස් කරන ලදී.