රුසියාවේ ගෘෘ (GRU) යනුවෙන් හඳුන්වන හමුදා රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ජනරාල් ඉගෝර් කොරොබොව් වයස අවුරුදු 62 දී මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
2016 වසරේදී රුසියානු හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා බවට පත් වූ ජනරාල් කොරොබොව් දීර්ඝ කාලයක් ‘බරපතළ ලෙස‘ රෝගාතුර වී සිටි බව ද එහි තවදුරටත් සඳහන් වේ.
ජෙනරාල් කොරොබොව්, රුසියාවේ ඉහළම සම්මානය වන ‘රුසියානු වීරයා‘ පදක්කමෙන් ද පුද ලැබුවෙකි.
ඔහු ඇමරිකාවේ පරිගණක හැක් කිරීමේ සිදුවීමකට ද සම්බන්ධ බවට සැක කරමින් ඇමරිකාව 2016 දෙසැම්බරයේ ඔහුගේ නම, ඇමරිකාවට පැමිණීම තහනම් වන රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් කර තිබිණි.
බ්‍රිතාන්‍යෙය් ජීවත් වූ, අතීතයේ රුසියානු ඔත්තු කරුවෙකු ලෙස කටයුතු කළ සෙර්ගෙයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට වස දීම පිටුපස සිටින්නේ ගෘෘ සංවිධානය සහ කොරොබොව් බවට විශාල සැකයක් තිබේ.
සැලිස්බරි නුවරදී 2018 මාර්තු 4 වැනිදා රසායනික විෂ ප්‍රහාරයකට ලක් වූ ඔවුන් දෙදෙනා ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් සති කිහිපයක්ම රෝහල්ගත ව සිටි අතර, එංගලන්තය තුළ ක්‍රියාත්මක වන රුසියානු බුද්ධි අංශ මෙහෙයුම් පිළිබඳව ද මේ සිදුවීම නිසා කරුණු රාශියක් අනාවරණය විය. මෙම වසදීම සිදුකළ බවට හඳුනාගත් ඇලෙක්සැන්ඩර් මිෂ්කින් සහ ඇනතොලි ෂෙපිගා යන දෙදෙනාම ගෘෘ බුද්ධි අංශයේ සාමාජිකයන් ලෙස ද හඳුනාගෙන ඇත. රුසියාව මෙම ප්‍රහාරයේ වගකීම ගැනීම සහමුලින්ම ප්‍රතික්ෂේප කළ ද, බටහිර ලෝකය මේ සිදුවීමෙන් අනතුරුව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 150කට ආසන්න ප්‍රමාණයක් සිය රටවලින් පළවා හැරීමට කටයුතු කළේ, තර්ජනයේ බැරෑරුම්කම වටහා ගනිමිනි.
රුසියාව තුළ ප්‍රධාන ඔත්තු සේවා 3 ක් ක්‍රියාත්මක වේ. GRU ඒකකය, රුසියානු හමුදා බුද්ධි අංශය වශයෙන් අන්තර්ජාතික ලෙස විවිධ මෙහෙයුම්වල නියැළී සිටියි. මේ අතර ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙනි. මෙයට අමතරව විදේශ බුද්ධි අංශ සේවාව (SVR) යනුවෙන්, බ්‍රිතාන්‍යයේ MI6 සංවිධානයට සමාන බුද්ධි අංශ සේවාවක් ද ක්‍රියාත්මක ය. අවසානයේ සැලිස්බරි විෂ ප්‍රහාරය පිළිබඳ සියලු කරුණු අනාවරණය කර ගැනුණේ MI6 විසිනි.
සෝවියට් සංගමය පැවති සමයේත් පසුව රුසියානු හමුදා බුද්ධි අංශය තුළත් කොරොබොව්ගේ අතීතය, වසර 40කට වඩා පැරණිය. 80 දශකයේ මැද භාගයේ හමුදා බුද්ධි අංශයට බැඳුණු ඔහු, පසුව එහි ඉහළම නිලයට පත් වන්නේ ක්‍රමෝපායික මෙහෙයුම් සම්බන්ධයෙන් පළ කළ දස්කම් හේතුවෙනි.
නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදී අරගල කඩාකප්පල් කිරීම, ඇමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්වාදී උපක්‍රම දියත් කිරීම වැනි අන්තර්ජාතික වශයෙන් මහත් ආන්දෝලනයට ලක් වූ මෙහෙයුම් රැසක් කොරොබොව්ගේ මෙහෙයවීම යටතේ ඉටුකර තිබේ. 2014 වසරේදී ක්රිමියාව රුසියාවට ඈඳා ගැනීම සාර්ථක වීම පසුපස සිටියේ ද කොරොබොව් බව සැලකේ. 2015 වසරේදී ක්රිමියානු අර්ධද්වීපය ඈඳා ගැනීමට සුළු කාලකට පෙර පුටින් ද ගෘෘ සංවිධානය මෙයට දායක වූ බව පිළිගෙන තිබේ.
මේ අතර, චෙච්නියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ ද ඔවුන් විසින් විවිධ මෙහෙයුම් දියත් කර තිබේ. කෙසේ නමුත් මොන්ටනිග්රෝ රාජ්‍යය සම්බන්ධ බුද්ධි අංශ කුමන්ත්‍රණයක් සාර්ථක කර ගැනීමට කොරොබොවේ සමත් වූයේ නැත.
රුසියාවේ ප්රවෘත්ති වෙබ් අඩවියක් වන මෙඩූසා විසින් සඳහන් කරන ආකාරයට ගෘෘ හි නිලධාරීහු වසර 3 ක අති විශේෂ පුහුණුවක් ලබති. ගෘ සංවිධානයෙහි නිල ලාංඡනය වන්නේ ලෝකගෝලය පුරා අත්තටු විහිදාගෙන සිටින කළු පැහැති වවුලෙකි.
මේ අතර කොරොබොව්ගේ මරණය කෙසේ සිදුවීද යන්න ගැන ද අපැහැදිලිතාවයක් තිබේ. ඔහු ‘Wonderful person‘ යැයි ඔහුගේ මරණයෙන් පසු රුසියාව පවසා ඇතත්, විදෙස් වාර්තාවලට අනුව, අවසාන කාලයේ ඔහු සහ දෙපාර්තමේන්තුව අතර තිබී ඇත්තේ යහපත් සබඳතාවයක් නොවේ. විශේෂයෙන්ම සැලිස්බරි සිදුවීම අන්තර්ජාතික වශයෙන් රුසියාවට විශාල අපකීර්තියක් ගෙන ඒම සම්බන්ධයෙන් පුටින් පසුවී තිබෙන්නේ ඔහු පිළිබඳ අප්‍රසාදයෙනි. මේ අතර, ගෘෘ හි හිටපු ප්‍රධානියා වූ අයිගෝර් සෙර්ගන් ද මිය ගොස් තිබෙන්නේ හදිසියේම, එම ධුරය දරමින් සිටින අතරවාරයේදී ම ය.