නිකම්ම නිකම් ගැහැණු සත්වයෙකු වීමට වඩා ගැහැණියක වීම උදාර දෙයකි. වසර 40කට ආසන්න ඉතිහාසයක් ඇති කාන්තා විමුක්තිකාමීන්ට පින් සිදු වන්නට කාන්තාව මේ වන විට සතුට ලබාදෙන ලිංගික භාණ්ඩයක සිට අජටාකාශගාමිනියක, ගිනි නිවන්නියක, ව්‍යවස්ථා සම්පාදක සාමාජිකාවක හෝ ජන නායිකාවකගේ තත්වයට වැඩි දියුණු වී තිබේ. එහෙත් තවමත් කාන්තා සිරුර සැලකෙන්නේ හෝ යටත් පිරිසෙයින් පිරිමින් විසින් එය සලකනු ලබන්නේ හීනවන ශක්තියෙන් යුත්, දුර්වල, යටහත් පහත් හෝමෝන සූපයක් වශයෙනි. ඇරිස්ටෝටල්ගේ පටන් ෆ්‍රොයිඩ් දක්වාම ලිංග භේදය සැලකුණේ පුරුෂයන්ට මුල් තැන ලබාදීම පිණිස දෙවියන් විසින් සිදුකළ බුද්ධිමත් මැවීමක් ලෙස ය.
එහෙත් ජීව විද්‍යාව කාන්තා සිරුර දෙස බලන්නේ වෙනත් ඇසකිනි. එදෙස එසේ බලන එකම ඇස එය පමණක් වීමට ද බැරි නැත. කෙසේ නමුත් හැටේ සහ හැත්තෑව දශකයේ මනෝ විද්‍යාඥයන් සහ ඔවුන්ගෙන් පසුව අනූව දශකයේ සමාජ විද්‍යාඥයන් උත්සාහ ගන්නේ මිනිස් පරිණාම කතා පොතට ගණිකා වෘත්තියේ කතා පිටුව එක් වූ ආකාරය සොයා ගන්නට ය.
ඕනෑම ස්ථානයක ඉබාගාතේ ඇවිද යාමේ ප්‍රීතිය භුක්තිවිඳි පිරිමි දඩයක්කාරයන් ව එකතැනක රඳවා ගැනීම පේලියෝලිතික යුගයේ ස්ත්‍රීන්ට තිබූ ලොකුම අභියෝගය විය. ඒ සඳහා ඔවුන්ට දීමට සිදු වූ ‘ඉනාව‘ වූයේ ‘ලිංගික ආහාරය හෙවත් ‘කාන්තා සිරුර‘ යි. පාෂාණ යුගයට අයත් ගුහා චිත්‍රවලින් පෙන්නුම් කරන්නේ මැස්ටඩෝන් හස්තීන් පිටුපස හඹා ගොස් උන් ව දඩයම් කරන එක් දඩයක්කරුවකෙුගේ දරුවන් රැසකට ගෝත්‍රික ස්ත්‍රීන් කිහිප දෙනෙක් කිරි පොවමින් සිටින ආකාරය ය. ගුවන් යානාවක් පැදවීමට උත්සාහ කිරීම, එසේත් නැතිනම් තමන්ගේ ම සමාගමක් ඇරඹීමට උත්සාහ කිරීමට වඩා පුරුෂයා අබිමුඛව මුළුගැන්වී සිටීමට කාන්තාවන් පොළඹවන්නේ ඒ ජානගත අතීත හැසිරීමද?
කෙසේ නමුත් පුරුෂාධිපත්‍ය ගොහොරුවේ ගිලී ගොස් ඇති ස්ත්‍රීත්වයට එයින් ගොඩ ඒමට අනුබල දෙන ආකාරයේ පර්යේෂණ ප්‍රතිඵල රැසක් මේ වන විට හෙළිදරව් වී තිබේ. ඒ රහස් විසින් හෙළිදරව් කරන්නේ කාන්තා සිරුරේ සත්‍යයයි. පුරුෂයා උපතින්ම කලහකාරී නම්, සහජ ගතියක් ලෙසට තරුණ දෙයට ආශා කරයි නම්, වග විභාගයක් නැතිව වරදේ බැඳෙයි නම්, දරුවන් වදන යන්ත්‍ර ලෙස සැලකූ කාන්තා සිරුර මැදිවියට එළඹුණු පසුව සිදුවන ආර්තවහරණය (menapause) නිසා දරුවන් වැදීමට නැවතීමේ තිත තැබූ පසු අවලංගු කාසි බවට පත්වීම පුදුමයක්ද?
නිතරම කාන්තා විමුක්තිය යන වචනය දෙසවනට ගෙන එන්නේ ගොරහැඬි දෝංකාරයකි. එහෙත් එහි අදහස ද එතරමටම ගොරහැඬිද? ‘‘ඇත්ත… අපි වෙනස්..“ කාන්තාවෝ පවසති. එහෙත් එම වෙනස්කම් මොනවාද? එම වෙනස්කම් වහල්භාවයට පාර කපන ඒවාද? වැදගත් වන්නේ එයයි. පැහැදිලිවම පෙනෙන එක් කරුණක් තිබේ. කාන්තාවන් ‘වහලියන්‘ට අන්දවන්නේ ජාන නොවේ. සංස්කෘතිය හා සමාජයයි.
ඔබ දන්නවාද? ස්ත්‍රීන්, පුරුෂයන් තරම් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නේ නැත. කාන්තාවන්ට වඩා ‘ලොකු මොළයක්‘ පුරුෂයන්ට තිබෙන්නේය යන්න පදනම් විරහිත ය. සමවියේ ස්ත්‍රියක සහ පුරුෂයෙකු ගත් විට කාන්තා මොළයේ බර වඩාත් අඩු වීමට ඉඩ තිබේ. එහෙත් ගැහැණියට හැම විටම තිබෙන්නේ ඇගේ කුඩා සිරුරට උචිත බරෙන් යුත් මොළයකි. පුරුෂයන්ගේ සිරුරේ වැඩි හිමොග්ලොබින් ප්‍රමාණයක් තිබෙන විට ස්ත්‍රී සිරුරේ වැඩි ඉමියුනෝග්ලොබින් ප්‍රමාණයක් තිබේ. ශරීර ප්‍රතිශක්තිකරණය ඇති කිරීමට සමත් වන්නේ ඉමියුනෝග්ලොබින් ය. පුරුෂයන්ට කාන්තාවන්ට සාපේක්ෂව වේදනාව දරාගැනීමට හැකියාව ඇත්තේ ද අඩුවෙනි.
ප්‍රතිශත වශයෙන් සලකන විට පුරුෂයෝ ස්ත්‍රීන්ට වඩා 10% ක් වැඩි උසකින්ද, 20%ක් වැඩි බරකින්ද 30% ක් වැඩි ශක්තියකින් ද යුක්ත වෙති. එහෙත් වෙහෙස දරා ගැනීම හමුවේ පුරුෂ ශරීර සතු මෙම වැඩිතර බව, හුළං පිම්බූ බැලූනයකට වඩා වැඩි දෙයක් නොවේ. වෙහෙස මහන්සියට වැඩිම ප්‍රතිරෝධී බවක් දක්වන්නේ කාන්තා සිරුරයි. ඒ බව රැය පහන් වන තුරු අවදියෙන් සිට, නැවත රෑ වන තුරු ඇය නිරත වී සිටින නිමක් නැති කාලසටහන පිළිබඳ සිතීමෙන් ඔබට පහසුවෙන්ම අවබෝධ කර ගත හැකිය. 1964 වසර වන තෙක්ම කාන්තා මැරතන් ශූරියන් විසින් වාර්තා කරන ලද තරග කාලය පුරුෂයන්ට වඩා 32%කින් පිටුපසින් තිබුණ ද දැන් එම තත්ව වෙනස් වී ඇත. බොහෝ ක්‍රීඩා ඉසව්වල පිරිමි තරග වාර්තා, කාන්තා තරග වාර්තා සහ කාන්තා තරග වාර්තා අතර වැඩි වෙනසක් නැත.
ජීව විද්‍යාව, නූතන තාක්ෂණය හා එක්ව යමින් අප 10 වසර ජීව විද්‍යාව පොතෙන් ඉගෙන ගත් බොහෝ දෙයට අභියෝග කරමින් සිටියි. ටෙස්ටෙස්ටිරෝන් එම පෙළපොත්වල සඳහන් වන ආකාරයට පුරුෂ හෝමෝනයයි. ඊස්ට්‍රජන් ස්ත්‍රී හෝමෝනයයි. එහෙත් සත්‍යය වන්නේ මෙම හෝමෝන දෙකම ස්ත්‍රී පුරුෂ ශරීර වර්ග දෙකේම තිබෙනා බව ය. කාන්තා සිරුරේ වැඩි වශයෙන් ඇති ඊස්ට්‍රජන්, ක්‍රියාකාරී පටකවල සාමාන්‍යෙයන් දැකිය හැක. අඩුවෙන් ඊස්ට්‍රජන් හෝමෝන තිබීමේ හේතුව මත පුරුෂ අස්ථි ඔස්ටියෝපොරෝසිස් (අස්ථි වෛවර්ණය) වැනි රෝගාබාධවලට වැඩිපුර ගොදුරු විය හැකිය. මේ අතර කාන්තා සිරුර නිපදවනන ටෙස්ටෙස්ටිරෝන් හෝමෝනය විසින් ලිංගික ප්‍රබෝධජනක බව ඇති කරයි. ‘‘ටෙස්ටෙස්ටිරෝන් තිබෙන නිසා අපි උපතින්ම කලහකාරීයි‘ යැයි පුරුෂයෝ අභිමානයෙන් පවසති. එහෙත් ඒ බව තවම විද්‍යාත්මක පර්යේෂණවලින් නිසි පරිදි සනාථ වී නැත.
ජීව විද්‍යා පොත්වල සඳහන් වන, ඒ සමගම පහළ පන්තිවලදී විද්‍යා ගුරුවරුන් ප්‍රජනනය පාඩම මහත් මැලිකමකින් යුතුව උගන්වන විට භාවිතා කරන ජනප්‍රිය වාක්‍යයක් තිබේ. එය නම්, ‘කාන්තා සිරුර, පුරුෂ ප්‍රවේශය පිළිගැනීමට සැදී පැහැදී සිටිය යුතු බව‘ යි. නමුත් සත්‍ය වශයෙන්ම කාන්තා සිරුර එසේ සැදී පැහැදී සිටියිද? දරු උපතකට අවශ්‍ය වන අණ්ඩ සෛල හෙවත් ඩිම්භ සෛල ජනනය කරන අණ්ඩමාතෘ පටකය හෙවත් ජනක පටකය එසේ අණ්ඩමාතෘ සෛල ජනනය කරන්නේ ඇගේ කළල අවධියේම ය. මුළු ජීවිත කාලය පුරාම ආර්තවය සිදුවීමේදී මසකට එක බැගින් පිටවන ද්විතියික අණ්ඩ සෛල සියල්ලම ඇය උපදින විටම තීරණය වී හමාර ය. අපරිණත තත්වයේ පවතින ද්විතියික අණ්ඩ සෛලය පරිණත වීමේ උත්තේජනය ලබනුයේ ශුක්‍රාණු සෛලයක ප්‍රවේශයෙනි. එවිට එය පරිණත අණ්ඩයක් බවට පත් වෙයි. පරිණත අණ්ඩ සෛලය පැලෝපීය නාලය හරහා ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියමේ තැන්පත් වී කළල අධිරෝපණයක් සිදු වූ විට පමණක් ඇගේ ආර්තවය ඇණ හිටියි. එවිට ආර්තවය සමග පිටවෙන බිඳවැටෙන ගර්භාෂ පටකද, ඒ නිසා බිඳ වැටෙන රුධිර නාල විසින් නිකුත් වන රුධිර ධාරාව ද නවතියි. එසේ මාසික ඔසප් වීම නවතින්නේ ඇගේ කුස තුළ වැඩෙන කිරිකැටියාට උපරිම පෝෂණයක් ලබාදීම සඳහා ය. මේ අතර අපර පිටියුටරියෙන් නිපදවෙන ප්‍රොලැක්ටින් හෝමෝනය ඇගේ ක්ෂීර ග්‍රන්ථි සක්‍රිය කරන්නේ රුධිරය කිරි බවට හරවමිනි. මෙතරම් විස්කමක් පුරුෂ ජීවන චක්‍රයේ කිසිදු අවධියක සිදු නොවේ. ප්‍රශ්නය වන්නේ එසේ තිබිදීත් ස්ත්‍රීත්වය මෙතරම් අවතක්සේරු වී තිබීමයි. ස්ත්‍රීත්වය, දරුවන් වදන භූමිකාව දක්වාම ලඝු කිරීම, සැබවින්ම ඌරාගේ මාළු, උගේම පිට තබා කැපීමකි.
පහත දැක්වෙන්නේ නූතන වෛද්‍ය විද්‍යාව විසින් ලිංග භේදය අර්ථදක්වන නවතම ආකාරයන් ය.
කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුරුෂ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වඩා ඉතා විශිෂ්ට වූ මෙහෙයක් ඉටු කරයි. හේතුව පැහැදිලි නැති වුවද, ස්ත්‍රී ශරීරය වඩාත් හොඳින් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුය. එසේම විෂබීජ සහ ප්‍රතිදේහජනකවලට එයට හොඳ ප්‍රතිරෝධයක් දක්වයි. මේ තත්වය ගර්භනී සමයේ කළලයට හොඳ ආරක්ෂාවක් ද ලබාදෙයි. කෙසේ නමුත් වැඩිදුර පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ කාන්තාවක් වඩාත් හොඳින් රූමටික ආත්‍රයිටිස් සහ බහුගුණක ස්කෙලරොසිස් (පොතු කබර) වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන විවිධ අසාමාන්‍යතාවලින් වැඩි රැකවරණයක් ලබන බවයි. ඊස්ට්‍රජන් හෝමෝනය මෙහිදී රඟදක්වන භූමිකාව සම්බන්ධයෙන් මේ වනවිට පර්යේෂකයෝ දීර්ඝ වශයෙන් පර්යේෂණ පවත්වති.
ඉවසා දරාගත නොහැකි තරම් දරුණු පරාජයකට පුරුෂ හදවතකට රුධිරය ගෙන එන ධමනියක් අවහිර කිරීමට පුළුවන. නමුත් කාන්තාවන්ට හදවත් රෝග ඇතිවන්නේ බොහෝ විටම නිදන්ගත ශ්වසන ආබාධ ආදිය නිසා ය.
කාන්තාවකට සිය පළමු හෘදයාබාධය ඇතිවීමට ඉඩ ඇත්තේ පිරිමියාට එය ඇති වී වසර 10කට පසුව ය. කාන්තාවන් වැඩි කලක් ජීවත් වීම සඳහා ද මෙය රුකුලක් වී තිබේ. ඊස්ට්‍රජන් හෝමෝනය රුධිර නාලවල ප්‍රත්‍යාස්ථ බව එනම් ඇදෙනසුලු බව ඇති කිරීමට උපකාර කරන අතර අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන හෙවත් හිතකර කොලෙස්ටරෝල් වැඩි කරයි. එයින් කොලෙස්ටරෝල්, රුධිර බිත්තිවල තට්ටු වශයෙන් තැන්පත්වීම නිසා හටගන්නා ‘ඇතිරෝමා‘ තත්වය අඩුවී රුධිර නාල අවහිර වීමේ ප්‍රවණතාවය අඩු වෙයි. සරල බසින් කියනවා නම් හෘදයාබාධ අවදානම එයින් අඩු කරයි.
කාන්තාවන්ගේ හදවත් රෝග සඳහා රුධිර කැටි දිය කර හැරීම සාර්ථක ක්‍රමයක් නොවේ. ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි සඳහා යොමු වීමයි.
පසුගිය දශක පහ පුරා කරන ලද වෛද්‍ය පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මුත්‍රා මාර්ගයේ, ඩිම්භකෝෂ සහ ගැබ්ගෙළෙහි ඇතිවන පිළිකා තත්ව හෝමෝන ප්‍රතිකාර ක්‍රම මගින් සාර්ථක ලෙස පිටුදැකිය හැකි බවයි. ඇමරිකා එක්සත් ජනපද කාන්තාවන්ගේ මෙම පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් අඩංගු උපත් පාලන පෙති භාවිතය හේතුවෙන් 75%කින් අඩු වී ඇත්තේ 1850 දශකයේ පටන් ජනප්‍රිය වීමෙන් පසුව ය. මීට අමතරව මේදය අඩු ආහාර වේල් ගැනීම මගින් ද ගැබ් ගෙළ පිළිකා වළක්වා ගත හැකිය.
ප්‍රජනනේද්‍රිය පිළිකා පමණක් නොව වෙනත් බොහෝ පිළිකා වර්ගවලින් කාන්තාවන්ට සහජ රැකවරණයක් ලැබී තිබේ. පහත දැක්වෙන්නේ සාමාන්‍යෙයන් වාර්ෂිකව පිළිකා රෝගවලින් මිය යන ලෝක ජනගහනය ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදා වෙන් කළ විට ලැබෙන සංඛ්‍යා ලේඛනයයි.
කාන්තා පුරුෂ
පෙණහළු හා ළය පිළිකා 68,000 90,900
පියයුරු පිළිකා 43,000
පුරස්ථ ග්‍රන්ථික පිළිකා 37,000
ආන්ත්‍රික හා ගුද පිළිකා 28,000 27,800
අග්න්‍යාශයික පිළිකා 14,700 13,900
ඩිම්භකෝෂ පිළිකා 14,500
ක්‍රීඩිකාවන්ට දණහිසේ ආබාධ ඇති වීමට වැඩි ඉඩක් තිබේ. ඔවුන්ට මෙම තත්වය ඇති වන්නේ අස්ථී එකිනෙක සම්බන්ධ කරන අස්ථි බන්ධ හෙවත් බන්ධනීවල ඇතිවන අසාමාන්‍යතා නිසා ය. ස්ත්‍රීන්ගේ බන්ධනී, පුරුෂයන්ගේ බන්ධනීවලට සාපේක්ෂව දුර්වල ය.
කාන්තා සහ පුරුෂ මස්තිෂ්ක (මොළය), හෝමෝන සහ ස්නායු සම්ප්‍රේෂක (නියුරොට්‍රාන්ස්මිටර්ස්) වලට සංවේදී වන්නේ එකිනෙකට වෙනස් ආකාරයන්ට ය. කාන්තා සිරුරෙන්, සිතිවිලි ක්‍රමවත් ව හසුරවන සෙරටොනින් හෝමෝනය නිපදවන්නේ අඩුවෙනි. අනෙක් අතට ගැහැණු එම රුධිරගත සෙරටොනින් මට්ටමට ඉතාම සංවේදී අය වෙති. එනිසා ඔවුහු රුධිරගත සෙරටොනින් මට්ටම ට බලපෑම් ඇති කරන ප්‍රෝසැක් වැනි ඖෂධවලට පමණක් නොව නොර්ජින්ත්‍රයින් වැනි ස්නායු සම්ප්‍රේෂකවලට ද සංවේදී වෙති. මෙවැනි නියුරොට්‍රාන්ස්මිටර්ස් හෙවත් ස්නායු සම්ප්‍රේෂක, මානසික ආතතිය ඇති වන අවස්ථාවලදී ස්නායු අන්තවලිනුත්, අධිවෘක්ක බාහික ග්‍රන්ථිවලිනුත් ස්‍රාවය වෙයි.
කාන්තා සිරුරේ අති බහුල ඊස්ට්‍රජන් හෝමෝනය හේතුවෙන් ස්ත්‍රීන්ට ඇල්ෂයිමර් වැනි රෝගවලින් අමතර ආරක්ෂාවක් සැපයේ. ඒ අනුව ආර්තව අභාවය (මෙනපෝස්) හේතුවෙන් මෙම හෝමෝන ප්‍රතිශතය සිරුරේ අඩුවන විට ජීවිතය පසුකාලයේ කාන්තාව ඇල්ෂයිමර් සහ ඩිමෙන්ෂියා වැනි රෝග තත්වවලට වැඩි වශයෙන් ගොදුරු විය හැකිය.
ජීර්ණ පද්ධතියේ සැකැස්ම
එකම ආහාරයක් කාන්තාවක් සහ පුරුෂයෙක් විසින් ගත් විට ජීර්ණය වීමට වැඩිම කාලයක් ගත වන්නේ ස්ත්‍රිය විසින් ගත් ආහාරයට ය. එම තත්වය නිසා වාසි මෙන්ම අවාසි ද කාන්තාවට ලැබේ. ජීර්ණ පද්ධතියේ නිදන්ගත රෝගාබාධ තිබේ නම් ඒවා පුරුෂයෙකු මෙන් තුන් ගුණයක වේගයෙන් ඇයට සුව කර ගැනීමට පුළුවන. නමුත් ඇයට පුරුෂයන්ට මෙන් දෙගුණයක වේගයෙන් ආන්ත්‍රික ආබාධ හට ගනියි. මේ අතර මූලික අධ්‍යයන වලින් පෙන්වා දී ඇත්තේ ස්ත්‍රිය සහ පුරුෂයාගේ ඛේටය හෙවත් කෙළවල සංයුතියේ ද වෙනසක් ඇති බවයි.
අඳුරු රහස් සහ අසිරිමත් රහස් යනු පැහැදිලිවම ප්‍රභේද දෙකකි. මේ ප්‍රභේද දෙක අතරින් කාන්තා සිරුර සමන්විත වන්නේ පැහැදිලිවම, අසිරිමත් රහස් වලිනි.
ඡායාරූපය : http://content.time.com/time/covers/0,16641,19990308,00.html
මූලාශ්‍රය : ටයිම් සඟරාව