×

ඇෆ්ගනිස්ථානයේ ‘අපරාජිත නිම්නය‘ තුළ තලෙයිබාන් දරුණු සටන්

ඇෆ්ගනිස්ථානයේ අපරාජිත නිම්නය යැයි නම් ලද පන්ජ්ෂීර් නිම්නය තුළ තලෙයිබාන් සටන්කාමීන් සහ තලෙයිබාන් විරෝධී සටන්කරුවන් අතර දරුණු සටන් හටගෙන ඇත.


කාබුල් නුවරට උතුරු දිගින් පිහිටා තිබෙන ගිරි දුර්ග බහුල මෙම පළාත, තලෙයිබානයට අල්ලා ගත නොහැකි වූ අවසන් බලකොටුව සේ සැලකේ.

ගතවූ සති කිහිපය තුළ තලෙයිබානය, නිම්නයේ National Resistance Front (NRF) හෙවත් තලෙයිබාන් විරෝධී කණ්ඩායම සමග ස්ථානීය සටන් සුළු ප්‍රමාණයක නිරත වෙමින් සිටි නමුත්, මේ වන විට ඒවා නිම්නය තුළ සිදුකරන දරුණු සටන් බවට පත් වෙමින් තිබේ.

අතිශය ප්‍රතිරෝධී බවක් දක්වන NRF සටන්කරුවන් දීර්ඝ කලක සිට මෙවැනි සටනක් සඳහා සූදානමින් පසුවූ අය ය.

එහි ප්‍රතිඵලයක් ලෙසට නිම්නයට පිවිසීමේ සටනේදී තලෙයිබාන් සටන්කාමීන් 40 දෙනෙක් මරුමුවට පත් ව තිබේ.

– Afghan anti-Taliban fighters patrol in Anaba District, Panjshir province, Afghanistan, on Sept. 1, 2021. (Photo by Arman/Xinhua) (Photo by Xinhua/Sipa USA)

ඇෆ්ගනිස්ථානයේ ගරිල්ලා යුද්ධවල අපිකේන්ද්‍රය ලෙසට පන්ජ්ෂීර් නිම්නය සැලකේ. එය බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගේ සිට සෝවියට් අධිරාජ්‍යය හා තලෙයිබාන් යන කිසිදු දෙස් – විදෙස් බලවේගයකට යටත් නොවී ස්වයං පාලන පළාතක් ලෙසට පැවතියේය.

ඉහත කී දෙස් විදෙස් බලවේගවලට එරෙහිව සටන් වදිමින් නිම්නය සියවස් ගණනක් පුරා රැක ගත්තේ ඔහුගේ පියා වන අහමද් ෂා මසූද් විසිනි.

කෙසේ නමුත් ඔවුන්ගේ වත්මන් නායකයා සහ අහමද් ෂා මසූද්ගේ පුත්‍රයා වන අහමද් මසූද්, ‘අන්ටෙස්ටඩ්‘ හෙවත් පරීක්ෂාවට ලක් නොවූ නායකයෙකු ලෙස සැලකේ.

මේ අතර තලෙයිබානයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන මුල්ලා අමීර් ඛාන් මුතාකි අවධාරණය කර තිබෙන්නේ පන්ජ්ෂීර් නිම්නය යටත් කර ගත යුත්තේ සාමකාමී ලෙස බව ය. ඇෆග්නිස්ථානයේ පළාත් 34 අතරින් තලෙයිබානයට නතු නොවූ එකම පළාත මෙයයි.

විදෙස් අධ්‍යාපනය ද ලත් හමුදා නායකයෙකු වන අහමද් මසූද්, CNN පුවත් සේවය සමග මෙසේ කියා ඇත.

‘‘සාකච්ඡාවල සීමාවක් තියෙනවා. තලෙයිබානය වෙනස් වෙලා නැහැ..‘‘

ඒ අනුව ඉදිරි දින-සති කිහිපය ඇතුළත ඇෆ්ගනිස්ථානයේ අපරාජිත නිම්නයේ ඉරණම ලියැවෙනු ඇත.

මීට පෙර ඇෆ්ගනිස්ථානයේ අපරාජිත නිම්නය යනුවෙන් අප විසින් මෙම පළාත පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් පළ කර ඇත.

පෙර ලිපිය

කාබුල් නුවරට පැයක දුරින් පිහිටා ඇති ‘‘ඇෆ්ගනිස්ථානයේ අපරාජිත නිම්නය‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි