×

පතිකුලයට යැයි සිතාගෙන – නිරෝධායනයට බයිසිකලයෙන් ගිය මනාලයා

ඉන්දියානු මනාලයෙක් ලොක්ඩවුන් එක මැද හැතැක්ම 500 ක් පාපැදියෙන් ගියේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා ය. නමුත් අවසානයේ ඔහුට යන්නට සිදුවූයේ පතිකුලයට නොව නිරෝධායනයට ය.


සෝනු කුමාර් චව්හාන් නමැති මේ 24 හැවිරිදි තරුණයා කම්හල් සේවකයෙක් වූ අතර, අවසන් මොහොතේ පොලිසිය ඔහුව අල්ලාගෙන රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගාල් කළේය.

අප්‍රේල් 15 වැනිදා වෙඩිම ගැනීමට නියමිත ව තිබුණත් මෝදිගේ ලොක්ඩවුන් තත්වය නිසා තමන් සේවය කරන පංජාබ් ප්‍රාන්තයේ කොටු වී සිටියේය. ඔහුගේ මනාලිය සිටියේත්, වෙඩිම ගැනීමට නියමිතව තිබුණේත් පංජාබයේ සිට කිලෝමීටර 800 ක් හෙවත් හැතැක්ම 500 ක් දුරින් පිහිටා තිබූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහරාජාග්ගුන්ජි ගමේ ය.

ඔහුට සිටියේ නල්ලමලේ මිතුරන් කල්ලියකි. ‘බඳින්න යන මිනිහාටත් මැරෙන්න යන මිනිහාටත් මොකුත් කියන්න එපා‘ යැයි කතාවක් තිබේ. මන්ද, ඒ දෙදෙනාම මොනවා කීවත් නතර කරන්නට බැරි නිසා ය. ඔහු සහ ඔහුගේ ප්‍රාණසම මිතුරන්ගේ ඒකමතික අදහස වුණේ වෙඩිමට පයින් හෝ යා යුතු බව ය. ඔහුගේ හයියට මිතුරන් තිදෙනෙක් ද පාපැදි වීර චාරිකාවට එක් වූහ.

‘‘යාළුවොත් එක්ක කතා කළාම උන් එක පයින් කැමති වුණා. තුන් දෙනෙක් එක්ක මම පිටත් වුණා..‘‘ යැයි මනාලයා පසුව කීවේය.

නමුත් ගම පෙනි පෙනී උත්තර් ප්‍රදේශ් පොලිසියේ මුරපොළකදී පාපැදි හතර නතර කෙරිණි. ඒ වන විට දිවා රෑ සතියක් ඔවුන් පාපැදි පාගා තිබිණි. ඒ වන විට වෙඩිමට තිබුණේ තවත් දින 2 කි. හැතැක්ම තිබුණේ 19 ක් පමණි.

‘‘පොලිසියේ මහත්තුරු ඒ ටික යන්න දුන්න නම් මං අද මනාලයෙක්..‘‘ යැයි සෝනු කුමාර් කියන්නේය.

ඔහු තවමත් ඇතුළේය. රෝග ලක්ෂණ පහළ නොවුණහොත් සති 2 අවසන් වන්නේ අප්‍රේල් 27 වැනිදාට ය. නමුත් මැයි 3 වැනිදා දක්වාම මෝදිගේ ලොක්ඩවුන් නියෝගය බලපැවැත්වෙන්නේය.

ඉතින් අවසානයේ පති කුලයට යැයි සිතාගෙන මේ තරුණයා දිවා රෑ සතියක් බයිසිකලය පාගා තිබුණේ නිරෝධායන මධ්‍යස්ථානයකට යන්නට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි