×

‘‘කපන හැටි මම දන්නවා!“ – ඛෂෝගි ඝාතකයන්ගේ හඬ පටය

“I know how to cut”- ‘‘කපන හැටි මම දන්නවා‘‘ යැයි අමානුෂික ලෙස මරා දැමුණු සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතකයෙකු පැවසූ බව හඬ පටයක අන්තර්ගත යැයි තුර්කිය පවසයි.


මේ බව ප්‍රකාශ කරන්නේ තුර්කි ජනාධිපති තායිප් එර්දෝගන් විසිනි.

ජමාල් ඛෂෝගි ඝාතනයට අදාළ මෙම හඬපටය මේ වන විට තුර්කිය විසින් ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපියානු නිලධාරීන්ට ලබාදී තිබේ.

‘‘ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව.. මේ සියලු රටවලට මේ කතාව හොඳින් ඇසෙනවා. ‘‘මම කපන හැටි දන්නවා‘‘ යැයි එහිදී එක් පුද්ගලයෙක් පැහැදිලි හඬින් කියනවා. මේ පුද්ගලයා හමුදා සොල්දාදුවෙක්. මේ සියල්ල හඬපටවල අන්තර්ගතයි“ යැයි එර්දොගාන් ඉස්තාන්බුල් නුවරදී පැවසුවේය.

‘‘මට හුස්ම ගන්න බෑ“ යැයි ඛෂෝගි අවසන් වශයෙන් සිය ඝාතකයන්ට පැවසූ බව මේ අතර සීඑන්එන් පුවත් සේවය පවසයි. හඬ පටයේ සම්පූර්ණ පාඨය පරීක්ෂාවට ලක් කළ මූලාශ්‍රයකින් මේ බව ඔවුන් තහවුරු කරගෙන තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටා තිබෙන සෞදි කොන්සල් කාර්යාලය තුළට ජමාල් ඛෂෝගි ගියේ, ඔහුගේ විවාහයට අදාළ ලිපි ලේඛන භාරදීම සඳහා ය. සෞදියේ ඔටුන්න හිමි, 33 හැවිරිදි මොහොම්මද් බින් සල්මන් කුමරු මෙම ඝාතනය පිටුපස සිටින බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් දැඩි සේ චෝදනා නැගුවද මේ දක්වා එය සනාථ වී නැත. තවද ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ද සිදුකෙරී නැත.

කෙසේ නමුත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි කුමරුගේ හිතවතෙකු වන බැවින්, ඇමරිකානු සෙනෙට් සභාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙය ඉතා කලාතුරකින් සිදුවන්නකි.

මේ අතර තුර්කි නීතිපතිවරයා පවසා තිබෙන්නේ, ඛෂෝගි කොන්සල් කාර්යාලය තුළදී හුස්ම හිර කර මරා දැමූ බව සහ, පසුව ඔහුගේ සිරුර කඩකඩවලට කපා දැමුවේ යැයි සනාථ වී ඇති බව ය. ඔහුගේ එම සිරුරු කොටස් තවම හමුවී නැත. මේ අතර, මේ පිළිබඳ පළවන මතය වන්නේ එසේ ඛෂෝගි ගේ සිරුර කඩ කඩ වලට කපා දැමීමෙන් පසු ඇසිඩ්වල ගිල්වා දිය කර දමන්නට ඇති බවයි.

තුර්කිය මේ වන විට ඛෂෝගි ගේ මරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණක් ඉල්ලා තිබේ.

ඛෂෝගි ඝාතනය පිළිබඳ පෙර ලිපි සියල්ල මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි